කුරුලු ලෝකයේ ළඟම මිතුරා සන් කොන්‍යාර්

ජනවාරි 20, 2025

කඩේ විකුණන්න ඉන්න ලස්සන කුරුල්ලන් දැක්කම ආස හිතෙනවා. ඒ වගේම අසල්වැසියන්ගේ, යාළුවන්ගේ ගෙවල්වල කුරුල්ලන්ව ලස්සනට කූඩුවක දාගෙන ඉන්න කොට අපිටත් ගෙදර කුරුලු කූඩුවක් හදාගෙන අලුත් සතෙක් දෙන්නෙක් ආදරයට හදන්න හිතෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් කුරුල්ලන් හදනවා කියන්නෙත් එක්තරා විදිහක පරෙස්සමින් කළ යුතු කලාවක්. එහිදී ආධුනිකයෙක්ට සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න වෙනවා.

 

අද අපි කතා කරන්නේ ගිරවකුට සමාන සන් කොන්‍යාර් (Sun conure) කුරුලු වර්ගය ගැන. ඊශානදිග දකුණු අමෙරිකාව නිජබිම කරගත් මේ කුරුලු විශේෂය Aratinga solstitialis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. අඟල් 12ක් පමණ දිගින් වැඩෙන මේ පක්ෂියාගේ ශරීරය ගැන කතා කරද්දි හොට කළු පැහැතිය. ශරිරයේ උඩ කොටස රන්වන් සහ කහ පැහැති පිහාටු මිශ්‍රව ඇත. අතරින්පතර කොළ පැහැයද දැකිය හැකිය. මුහුණ සහ ඇඟේ යට කොටස තැඹිලි පැහැතිය. වලිගය තද කොළ පාට මිශ්‍ර නිල් පැහැයකි. ගැහැනු සතුන් සහ පිරිමි සතුන් බැලූ බැල්මට වෙන්කර හඳුනා ගත නොහැකියි. මොකද ඔවුන් පෙනුමින් එක හා සමානය. හොඳින් වැඩුණු පක්ෂියෙක් ග්‍රෑම් 110ක් දක්වා බරකින් යුක්ත වේ. මොවුන් නිදැල්ලේ සිටින විට වැඩිපුර රංචු වශයෙන් ජීවත් වීමට ප්‍රිය කරයි. සාමාන්‍යයෙන් නිදැල්ලේ සිටින විට මේ වර්ගයේ ගිරවුන් ආහාර ලෙස ඉදුණු පලතුරු, මල් වර්ග, බෙරි වර්ග, මල් බීජ සහ පොඩි කෘමීන් වර්ග ආහාරයට ගනීයි. නමුත් ගෙදරක මේ වර්ගයේ කුරුල්ලෙක් සුරතලයට ඇති කරන විට කුරුල්ලා කැලේදී ලබා ගන්නා සියලුම විටමින් වර්ග අපි විසින් ලබා දිය යුතුයි. අඹ, කෙසෙල්, ගස්ලබු වැනි ඉදුණු පලතුරු, සූරියකාන්ත ඇට වර්ගත්, කඩල, කවුපි, මුං ඇට වගේ ධාන්‍ය වර්ගත් බතල සහ වට්ටක්කා තම්බලා දෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන් දිනකට බිත්තරය බැගින් තම්බලා දෙන්නත් අමතක කරන්න එපා. ආයු කාලය වයස අවුරුදු 30කි. නමුත් ගෙදරක හදන කුරුල්ලන්ගේ ආයු කාලය වැඩි බවයි පර්යේ්ෂකයින් පෙන්වා දෙන්නේ. කැලයක ජීවත් වීමේදී සිදුවන අනතුරු නිසා බොහෝ කුරුල්ලන්ගේ ආයු කාලය කෙටි වේ. අවුරුදු දෙක පසුවන විට ප්‍රජනනයට සුදුසුය. වරකට බිත්තර 3-4ක් පමණ දමනු ලබයි.

 

මේ වර්ගයේ ගිරවෙක් සුරතලයට ඇති කරනවානම් මාසයක් පමණ වයසැති ගිරවෙක් ඇති කරන්න පටන් ගැනීම වඩාත් සුදුසුයි. මොකද වැඩුණු ගිරවෙක් නිවෙසට හුරුකර ගැනීම ඉතා අපහසුයි. චැට්රින්ලොරි වර්ගයට අයත් ගිරවුන් තරම් මොවුන් කතා කිරීමට දක්ෂ නැත. එහෙත් මොවුන්ට වචන කිහිපයක් පමණ කතා කිරීමට හැකියාව ඇත.

 

අතට හුරුකරගන්නා කුරුල්ලෙක්නම් දිගින් අඩි 3 සහ පළල අඩි 3ක් වන කූඩුවක් ප්‍රමාණවත්. මොකද නිතර එළියට ගැනීමට හැකියාව ඇති නිසා. අතට හුරු නැති කුරුල්ලෙක් නම් මීට වඩා විශාල ප්‍රමාණයේ කූඩුවක් අවශ්‍යයි. මොකද නැත්තම් කුරුල්ලා ආතතියට පත් වෙන්න තියෙන ඉඩ වැඩියි. කොහොම වුණත් මේ වර්ගයේ කුරුල්ලෙක් අතට හුරුකර ගන්නවා නම් වඩාත් සුදුසු ය. නිතර කූඩුවල සිටින කුරුල්ලන් ආතතියට පත් වී තමන්ටම හානි කරගන්නට පෙලඹීම එයට හේතුවයි.

මේ කුරුලු වර්ගයට ලෙඩ රෝග ඇති වීම අවමය.

හරිම මිත්‍රශීලි නිසා ගෙදරක ඇති කරන්න හොඳම කුරුලු වර්ගයකි. කුරුලු ලෝකයේ ඉන්න මිත්‍රශීලිම කුරුල්ලන් අතරින් කෙනෙක් ලෙස සලකයි.

 

උපදෙස් - දිල්හානි වෙඩික්කාරගේ

-------------------

දරුවන් ඉල්ලන පුංචි සුරතලා ගෙදරට ගේමු ද?

 

බලු පැටවු, පූස් පැටවු, පුංචි පුංචි කුරුල්ලන්ට වැඩියෙන්ම ප්‍රිය කරන්නේ පුංචි දරුවන්. ඒ නිසාමයි නිවෙසට සුරතලෙක් ඉල්ලලා ඔවුන් ඔබට නිතරම කන්නලව් කරන්නේ. ඉතින් ඇත්තටම නිවෙසට සුරතලෙක් අවශ්‍යද? ඒ තීරණය ගැනීමට කලින් පුංචි සුරතලකු සිටීම දරුවාගේ සෞඛ්‍යයට සහ සංවර්ධනයට බලපාන්නේ කොහොමද කියන එක ගැනයි අද කතා කරන්නේ.

 

අසාත්මිකතා අඩු කරයි

 

සුරතල් සතුන් සිටින නිවෙස්වල හැදෙන දරුවන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වීමට ඉඩ ඇති බවත් ළමා අසාත්මිකතා සහ ඇදුම ඇතිවීමට ඇති ඉඩකඩ අඩු බවත් පර්යේෂණවලින් හෙළි වී තිබේ. ප්‍රතිඵලවලින් පෙනී ගියේ සුරතල් සතුන් නොමැති දරුවන්ට වඩා සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි ආසාදනවලින් ආරක්ෂා වීමට සුරතල් සතුන් ඇති දරුවන්ට හැකි වන බවයි.

 

වගකීම උගන්වයි

 

සුරතලුන් ඇවිදීම හෝ නහවා පිරිසුදු කිරීම වැනි කාර්යයන් දරුවන්ට වගකීමෙන් කටයුතු කිරීමට මෙන්ම ජයග්‍රහණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. සුරතල් සතෙකු රැකබලා ගැනීම දරුවන්ට අන් අය කෙරෙහි සංවේදනය වර්ධනය කිරීමට ද උපකාරී වේ.

 

ඉගෙනීමට උපකාර කරයි

 

සුරතල් සතුන් දරුවන්ට ඔවුන්ගේ ඉගෙනීමට උපකාර කළ හැකිය. අධ්‍යාපනඥයින් දිගු කලක් තිස්සේ පාසල්වල ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සතුන් (ප්‍රධාන වශයෙන් බල්ලන්) භාවිත කර ඇති අතර, සංවර්ධනයේ අභියෝගයට ලක් වූ දරුවන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීම සඳහා ඔවුන් භාවිත කර ඇත. විශේෂයෙන්ම, සතුන්ට දරුවන්ගේ කියවීමේ කුසලතාවන්ට උපකාර කළ හැකිය. පාසැලේදී ශබ්ද නඟා කියවීමට අකැමැති විය හැකි සිසුන් සතුන් විනිශ්චය නොකරන මිතුරෙකු ලෙස දකින බැවින් ඔවුන්ට කියවීමට වැඩි විශ්වාසයක් දැනෙන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

 

සුවපහසුව සහ මිත්‍රත්වය ලබා දෙයි.

 

සුරතල් සතුන් දරුවන්ට සුවපහසුව සහ මිත්‍රත්වය ලබා දෙයි. ඔවුන් කුමන මනෝභාවයකින් සිටියත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂකයකු ලෙස ක්‍රියා කරයි. දරුවකුගේ මිතුරෙකු ලෙස සිටින නිසා දරුවන්ගේ කනස්සලු ස්වභාවයන් ඉවත් වී සතුටු හැඟීම් ඇති වේ.

ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් දිරියක් ඇති වේ.

 

තනිකම අඩු කරයි

 

සුරතල් සතෙකු සිටීම තනිකම සහ හු‍ෙදකලාව යන හැඟීම් මඟහරවා ගැනීමට සහ මානසික අවපීඩනයෙන් මිදීමට උපකාරී වේ.

සුරතල් සතෙකු සිටීමෙන් දරුවන්ට ජීවන චක්‍රය තේරුම් ගැනීමට සහ ඉගෙන ගැනීමට ඉඩ සලසයි. සුරතල් සතෙකුගේ මරණය සමඟ කටයුතු කිරීම ඇත්ත වශයෙන්ම වෙනත් අභියෝගාත්මක ජීවිතයේ සිදුවීම් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ඔවුන්ට උපකාර කළ හැකිය.

වැදගත්ම දෙය නම් සුරතල් සතෙකු සිටීම විනෝදජනකයි. බල්ලෙක්, බළලෙක්, කුරුල්ලෙක්, අයිති කර ගැනීම ඕනෑම නිෙවසකට සතුටක් ගෙන දෙයි.


විදුමිණි දිසාකරුණා

[email protected]