කන්තෝරු නෝනා ⁣

හැන්දෙයි පෑනෙයි ඡේදන ලක්ෂ්‍යය
ජනවාරි 20, 2025

2016 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා

 

උදේ උයද්දි ගෑස් ඉවර වුණා. තිස්සට කොච්චර කෑගැහුවත් වැඩක් නෑ හදිස්සියකට ගන්ඩ දර ටිකක් පලල තියන්ඩ කියලා. නිවාඩු දවසට පත්තරේ මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි කියෝල තව මදි පාඩුවට මැචුත් බලනෙකනෙ එයාගෙ රාජකාරිය. අඩුගානෙ ළමයින්ගෙ හෝම් වර්ක් ටිකවත් කරෝනව නම් එකක්. කොහෙද ඉතින් ඒ වැඩ ඔක්කෝම මගෙ නමටනෙ ලියාපදිංචි වෙලා තියෙන්නෙ. මෙව්ව ඉතින් වෙන කාගෙවත් නෙමේ මගෙම වැරදි තමා.

 

" අදට ඔන්නොහෙ කඩෙන් කමු සාමා. ළමයින්ටත් මහ ගෙදරින් කෑම දෙනේකේ අපි දෙන්න එක වේලක් කඩෙන් කෑවම මක් වෙනවද ? "

 

ඔන්න ඔහොමයි තිස්සගෙ උත්තරේ. එයාට නම් තියෙන්නෙ කියන්ඩ විතරයිනෙ. ජොයින්ට් එකවුන්ට් එකට වැටෙන දෙන්නගෙම පඩිය ගන්නෙ මං තමා. ඒත් ලුණු කැටේ ඉඳල ගෙදෙට්ට ඕනෙ ඔක්කෝම ගේන්නෙත් මංනෙ. තිස්ස හිතන් ඉන්නෙ ඒ සොච්චමෙන් තුන් වේල බුරියානි කාල තව ඕනේ නම් කාට කාට හරි පිනට බෙදන්ඩත් පුළුවන් කියලයි. ගෙදෙට්ට බඩු ගේන වැඩේ තිස්සට භාර දුන්න නම් තේරෙයි ණය කැපිල ඉතුරු වෙන පඩියෙන් මාසෙ කාල ඉන්න රඟේ. හැබැයි ඉතින් එයා බඩු ගෙනාවොත් නම් දෙන්නගෙ පඩියෙන් මා‍සෙන් භාගයක් කාල ඉන්නවත් ‍බොරු.

 

අමාරුවෙන් පොල් කොළයි, හනසුයි, දර කෝටු දෙක තුනකුයි අවුලවල වෑංජනයක් උයලා, බත් මුල් දෙක බැඳගත්තා. ළමයින්ගෙ පෙට්ටිවලට පානුයි ජෑමුයි දැම්මා. සතියකට දවසක් කැමති දෙයක් ඉස්කෝලෙ ගෙනියන්ඩ පුළුවන් වෙච්චි එක හොඳට ගියා. නැත්තම් ඉතින් දර ළිපේ තව ඇටත් තැම්බුවෑකියැ.

 

නැහිල නැහිල ගෙදර සුමේ කරලා ඉක්මනින් දුවන් ගිහිනුත් හයාමාරෙ බස් එක මගෑරුණා. ඔෆිස් යද්දි පැය භාගයක් පරක්කුයි. ලොක්ක රතු ඉරත් ගහලා. වෙනදට මේකෙ සමහර උඩැක්කියො පැයේ හමාරෙ පරක්කු වෙලා එද්දි ඉරි ගහන්නැති ලොක්ක අපි පොඩ්ඩක් පරක්කු වුණාම තමා අකුරට රාජකාරිය කරන්නෙ. ඔෆිස් එකේ කට්ටිය එහාමෙහා වෙනකම් ඉඳලා එයත් එක්ක තොඳොල් වෙන්න ගියා නම් ඉරි ගැහිලි නැතිව විතරක් නෙමෙයි ගෙදර ඉඳලා වුණත් පොත අත්සන් කරන්න තිබ්බා.