වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය වූ පළමු කාන්තාව
‘තොටිල්ල පදවන අත ලොව රජ කෙරේය’ යන්න යළි යළිත් තහවුරු කරනා බොහෝ කාන්තා චරිත ගැන අපට නිතර නිතර අසන්නට ලැබේ. කාන්තාවන් පිළිබඳ කවදත් මහත් අභිමානයෙන් හිතනා, කටයුතු කරනා පුවත්පතක් වූ තරුණී ඒ පිළිබඳ වඩ වඩාත් සතුටු වන්නීය. ඔවුන් පිළිබඳ අගය කරන්නට වාගේම ඒ ගැන අකුරු කරන්නටත් අපි කිසිවිටෙකත් නොපැකිළෙන්නෙමු.
කාන්තාවන් පිළිබඳ මෙලෙස සටහනක් තබන්නට අපට සිත්වූයේ පසුගිය දා කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් වූ රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය වෙනුවෙනි. මන්ද ඇය කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසින් පත් වූ පළමු කාන්තාවයි.
කොළඹ මෙතෝදිස්ත විදුහලේ ආදි ශිෂ්‍යාවක වූ රොෂාන් සිතාරා මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියත්, ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමි කරගෙන ඇත.
1998 වසරේ විදේශ සේවයට සම්බන්ධ වූ ඇය මෙරට විදේශ සේවා නිලධාරිනියක ලෙසින් වසර 27ක සේවා අත්දැකීම් ලද්දියකි. විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය ඇතුළු විවිධ අංශවල ඉහළ තනතුරු කිහිපයකම වගකීම් සහ යුතුකම් මනාව ඉටුකළ සිතාරා මහත්මිය ලතින් අමෙරිකාව හා කැරිබියානු කලාපය සඳහා අතිරේක ලේකම්වරියක ලෙස ද කටයුුතු කළාය. කටාර් හි තානාපතිවරිය ලෙසින් පත්වීමට පෙර ලන්ඩන්, චෙන්නායි, දෝහා සහ ඔටාවා හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කළ සිතාරා මහත්මිය එහිදී නියෝජ්‍ය මහකොමසාරිස් සහ වැඩබලන මහකොමසාරිස් ලෙසින් ද මනා සේවයක් කළාය.
පසුගිය දා කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව සිය කාර්ය මණ්ඩලය අමතන්නට ද ඇය අමතක නොකළාය. එහිදී ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මෙන්ම ශ්‍රී ලංකාව සහ කටාර් අතර ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු සැලසුම් කරන බව පැවසුවාය. එමෙන්ම මෙම රටවල් දෙක අතර වෙළෙඳාම් කටයුතු මෙන්ම ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ඇති අවශ්‍යතා සඳහන් කළ ඕ ඒ වෙනුවෙන් සිය උපරිම කැපවීම යොදන බව ද ප්‍රකාශ කළාය.
කාන්තාවක් ලෙසින් සිය රටට මනා සේවයක් සලසන්නට ඇයට අවශ්‍ය ධෛර්යය, ශක්තිය ලැබේවායි තරුණී අපි ප්‍රාර්ථනා කරමු.