දෛනික චිත්‍ර ඩෝස් එක

පෙබරවාරි 3, 2025

ලෝරන් කේලින් විනාඩි විස්සකට එලාම් එකක් සෙට් කරලා දියසායමෙන් වීදි දර්ශනයක් අඳින්න පටන් ගන්නවා. එයා අඳින්නෙ විවිධ උස ප්‍රමාණවලින් තියෙන මොඩර්න් බිල්ඩින්.ලෝරන් ජීවත් වෙන්නෙ බෲක්ලන්වල.

තමන්ගෙ බල්ලත් එක්ක ඇවිදින්න යද්දි දකින වීදි දර්ශනය තමයි ඈ දිනපතාම නැවත, නැවත අඳින්නේ. උදේ 6-7ට ලෝරන් මේසෙ ඉස්සරහා වාඩි වෙලා චිත්‍රෙ අඳින්න පටන් ගන්නවා. ඈ චිත්‍ර අඳිනකන් බලු සුරතලා ආසන්නයේ වැතිරිලා ඉන්නවා. තමනුත් මෙතන ඉන්න බව මතක් කරන්න වගේ බිරුමක්, දෙකක් කරලා පෙන්නනවා. චිත්‍ර ඇඳිල්ලෙ ඇතුළටම බැහැලා ඉන්න ලෝරන් හිටි ගමන් මේ බිරුම්වලට තැතිගැනෙනවා.

කෙලින්ම දියසායමෙන් එයා චිත්‍රෙ වැඩ පටන් ගන්නෙ. ඒක බලන්න ආස හිතෙන දෛනික රාජකාරියක්. ඔන්න මුලින්ම එයා තරමක තුනී කැන්වස් ගොඩක් තියෙන පොතෙන් එක කොළයක් ගලවගන්නවා. ඊළඟට ඒක තිරස් අතට ඉන්න, ඉරුම් පාරවල් පෙනෙන්න දෙකට ඉරාගන්නවා. ඊට පස්සෙ දිය සායම්, පින්සල්, වතුර බඳුන්, දිය සායම් කලවම් කරන්න පාවිච්චි කරන භාජන ආදිය මැදින් කැමරාව එහේ - මෙහේ යනවා. ගොඩක් දවසට ඇගේ මේසෙ උඩ කෝපි කෝප්පයක් තියෙනවා. පසුබිමෙන් සිංදුවක් කාරිය වාදනය වෙනවා. චිත්‍රෙ අඳින අතරේ ලෝරන් තමන් කැමතිම ගායිකාව ගැන, සිංදුවක් ගැන, කවියෙක් ගැන, තමන්ගෙ බල්ලා ගැන, දරුවා ගැන දේවල් කියනවා, සම්පූර්ණ කවියක් පවා මතකයෙන් කියනවා.

ඔන්න ඈ අපිට බය හිතෙන ප්‍රමාණෙන් වතුර කාරිය කලවම් කරලා පාට පැච් කීපයක් කැන්වසයේ තියනවා. පාට අඩු-වැඩි කරන්න වතුර යොදමින්, අලුත් පාට යොදමින් ඈ බුහුටි විදිහට වීඩියෝවට නරඹන්නන්ගෙ ඇස් අලවගන්නවා. ඊළඟට ජනෙල් ආදියත් සායම් පැච් තියමින් සලකුණු කරනවා. චිෙත්‍ර ඉවර කරන්නෙ හීනි මාකර් පෑනකින් අවුට්ලයින් අඳිමින්. ලෝරන් විනාඩි විස්සක් ඇතුළත මේ කුඩා තිරස් චිත්‍ර දෙකම ඇඳලා, තීන්ත වේළලා පසුපැත්තේ දිනය යොදනවා.

ඇගේ මේ විනාඩි විස්සෙ වික්‍රමය නොයෙකුත් කෝණවලින් අපිට දැකගන්න ලැබෙනවා. ඇගේ චිත්‍ර අඳින කාමරය දිහා මම උණුසුම් ඇහැකින් බලන් ඉන්නෙ දැන් මාස ගණනාවක ඉඳගෙනයි. බහුතරයකට රාස්සයෙක්, යක්ෂයෙක් සහ අඩු කුලයේ ඇප් එකක් විදිහට පෙනෙන 'ටික්ටොක්'වලිනුයි මේ කුඩා වීඩියෝ සීරිස් එක මම දකින්නේ. 'ටික්ටොක්' ඇල්ගොරිදම් එක ගැන උනන්දු ඕන කෙනෙක් දන්නවා ටික්ටොක් කියන්නෙ 'ඔබේ ආසාවේ කැඩපත' වගේ එකක් කියලා.

මේ තරම් සුළු දෙයක් ගැන මම උනන්දු ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ විසාල ජීවිතේ කැරකෙන්නෙම ඉතාම සුළු කාරණා උඩ බව කවදාවත් ඔබ හිතුවද? නැතිනම් දැන් හිතන්න. ඔබේ කුතුහලේ ඇවිළුණා නම් laurenkaelin.com වෙබ් අඩවියට ගිහින් තව විස්තර බලන්න. 19.6k ෆලෝවර්ස්ලා ඉන්න, 159.1k ලයික් තියෙන ඇගේ ටික්ටොක් ගිණුමට ගිහින් බලන්න.