ජූලි 18

කෙටි කතාව
පෙබරවාරි 3, 2025

 

ඔන්න එදා තමයි ස්කීම් එකේ කට්ටියම තමන් එක්ක තරහ වෙලා කියලා යමුනාට ඉස්සරවෙලාම තේරුණේ. එදා කිවුවේ ජූලි අට වෙනිදා. හතරවෙනි ගෙදර බිඟුනිගේ පස්වෙනි උපන්දිනේ දවසේ.

 

කලින් සතියේ තකහනියේම තිඹිරිගස්ගායේ වයිෂී එකට ගිහින් ලස්සන රෝසයි සුදුයි ස්මොක් කරපු ගවුමක් යමුනා ගත්තේ බිඟුනිට. එන ගමන් කූල් ප්ලැනට් එකෙන් බෝනික්කෙක්, ලස්සන බෝතලයක්, කෑම පෙට්ටියකුත් ගත්තා. පොඩි අය ආසයිනෙ කියලා.

 

මේ පාර උපන් දින පාටියට ආරාධනා ලැබුණේ නැති නිසා යමුනා හිතුවේ ජනවාරිවල බිඟුනිගේ සීයා අන්ත්‍රා වුණු නිසා මේ අවුරුද්දේ පාටියක් නෑ කියලා. ඉතින් ගෑනි හවස ඇඳගෙන තෑග්ගත් ඔතාගෙන ගියා කෙල්ලට දීලා එන්න. දෙවියනේ ගේ ළඟට යද්දි තමයි වාහන ටික ගේ ළඟ නවත්තලා කියලා දැක්කෙයි, ඇතුළෙ සද්දෙ ඇහුණෙයි. ඒ කියන්නේ පාටියක් තියෙනවා. අපිටයි කියලා නැත්තේ. ටක් ගාලා ආපහු හැරුණු යමුනා ගෙට ඇවිත් දොර වහගත්තේ ඇස්වලින් කඳුළු වැටෙද්දියි.

 

බිඟුනිගෙ තාත්තා නාරද, උදේට කාරෙකෙන් යද්දි දැන් වෙනදා වගේ දැක්කොත් අත වනාගෙන යන්නේ නැති එක, පස්වෙනි ගෙදර හෂී තිස්සෙම කතා කරලා යමුනාලාගේ ගෙදරින් කියවන්න පොත් ඉල්ලගන්න එන්නේ නැති එක, අටේ ගෙදර රෝසි හවසට ජොගිං යමුද අහන්නේ නැති එක ඔය වගේ වෙනස්කම් ටික ටික දැනුණත් එයාලට වැඩ කියලා යමුනා හිතාගත්තා. තමනුත් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න නිසා මිසක්, ළමයි පොඩි කාලෙ කොච්චර වැඩ තිබුණද?

 

අද තේරුණා කට්ටියම එකතු වෙලා තමන්ව කොන් කරලා බව. මොකද්ද මං කරපු වරද? යමුනා හිතුවේ ඇඳට වැටිලා. යමුනාගේ මහත්තයා වර්නන්ගේ පවුලට අයිති වෙලා තිබුණ ලොකු ඉඩම විකුණලා එතැන හවුසිං ස්කීම් එකක් හැදෙද්දි යමුනායි වර්නනුයි කවදාවත් තරහෙන් බැලුවේ නෑ. තමන්ගේ දුව රට, පුතා පේරාදෙණියෙ කැම්පස් එකේ. අපිටත් පාළුවට හොඳයි කියලා පදිංචි වුණ ළමයින්ටත් තමන්ගේ දරුවන්ට වගේ තමයි සැලකුවේ.

 

බිඟුනිව ඕනෙ තරම් යමුනා ළඟ දාලා ගිහින් තියෙනවා නාරදලා හදිස්සියට. ඔය පොඩි කෙල්ලො බැඳලා ආවම කොච්චර කෑම දීලා තියේද? කාට හරි ලෙඩක් කියලා දැනගත්තොත් කෑම වේල් දෙක තුනක් වත් වරදින්නේ නෑ. ඒවා එකක්වත් කළේ තමන්ට මුකුත් බලාගෙන නෙවෙයි. ඒ ඔක්කොම පොඩි අය, තමන් තමයි පිහිටට ඉන්න වැඩිහිටියෝ කියලා හිතාගෙන.

 

දුවට කිවුවහම කිවුවේ “අම්මට නෑයො නැද්ද, යාළුවො නැද්ද? තරහ වෙලා නම් අම්මත් ගණන් ගන්නේ නැතුව ඉන්න” කියලයි. ඔන්න උපදෙස්. “ළමයො විසඳුම් අහන්න නෙවෙයි මං හිතේ අමාරුව යන්නයි ඔයා එක්ක කිවුවේ” කියලා යමුනාට හිතුණා.

 

ඔය සතියම යමුනාගේ හිතේ වැඩ කළේ ඕක.

සෙනසුරාදා ගෙදර බෙල් එක වැදුණා. රෝසි.

“එන්න රෝසි, මං හිතුවේ රෝසිත් අපි එක්ක තරහවෙලාද කියලා”

යමුනා කෙළින්ම කිවුවා. එදා තමන් හැරෙනකොට රෝසිලගෙ කාර් එක පාස් වුණානෙ. බොරු කියන්නේ මොකටද?

 

“මට එක්සෑම් එකක් තිබුණා ඊයෙ වෙනකම් අක්කා. ඒකයි ඇවිදින්න නොගියේ. හෙට ඉඳන් යමු. මම අදම ආවෙ අක්කා දුකෙන් ඇති කියලා.”

 

“දුකයි රෝසි.” යමුනාගේ කටහඬ බිඳුණා. “මං ඔය කාටවත් හොඳ හිතින් යහපතක් කළා මිසක් නරකක් කළේ නෑනෙ.”

 

“නෑ අක්කා.” රෝසි ඉඳගත්තා. “අක්කගෙ හිත හොඳයි. ඒත් අක්කා හැමෝටම උදවු කරන්න ඕ‍ෙන, උපදෙස් දෙන්න ඕ‍ෙන කියලා හිතන්න එපා. එයාලත් වැඩිහිටියෝ.”

 

“ඒ කිවුවේ?”

“අක්කා නාරදලට කිවුවද බිඟූට තනියට තව බබෙක් හදන්න කියලා.

“ඔව් රෝසි. අපේ දුවට එහෙම දැන් ලොකු හයියක්්නෙ මල්ලි ඉන්න එක.”

“අක්කා දන්නෙ නෑ නේද නාරදගෙ අම්මට ඩිමෙන්ෂියා කියලා. අම්මා කොයි වෙලේ ගෙදරින් යයිද දන්නෑලු. දැන් මෙයාලා මෙහෙ ගේන්න ඉන්නේ. ඒ අතරේ තව දරුවෙක් ගැන හිතන්නේම නෑ කියලා ඉඳලා තියෙන්නේ. ඒත් අක්කා එදා කිවුවට පස්සෙ නාරදගේ වයිෆ් හොඳටම අප්සෙට් වෙලාලු අම්මලා ගැන බලන්න ගිහින් අන්තිමට බිඟූ තනිවෙයිද කියලා”

 

“අනේ මම ඒවා දැනගෙන නෙවෙයි කිවුවේ රෝසි.”

“ඒකනේ අක්කා. අපි මිනිස්සුන්ගේ ප්‍රශ්්න හරියටම දන්නෙ නෑනෙ අක්කා. ඉතින් අපි දෙන විසඳුම් වැරැදි වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. අක්කා හෂීගේ නෑනාට බෝයි කෙනෙක් කතා කළාද?”

 

“ඔව්. හෂී නෑනා ගැන කියද්දි මට මතක් වුණා. කලින් දවසේ මගේ ඉස්කෝලෙ යාළුවෙක් හම්බෙලා එයාගෙ මල්ලිට කවුරු හරි හොයන්න කිවුවා. මල්ලි මුදල් අමාත්‍යාංශයේ වැඩ කරන්නේ කියලා. හෂීගේ නෑනා මහජන බැංකුවෙනෙ. මං හෂීගෙන් අහලාමයි නම්බර් එක ඉල්ලලා දුන්නේ.”

 

“අක්කා ඒ බෝයිගෙ විස්තර දන්නවද?”

“නෑ රෝසි. අක්කව නම් හොඳට දන්නවා. මල්ලි ඉතින් පොඩි කාලෙ දැක්කට පස්සේ දැකලත් නෑ.”

 

“එයා අමාත්‍යාංශයේ ඩ්‍රයිවර් කෙනෙක්ලු අක්කා. හෂීගෙ නෑනා ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්නෙ. නෑනා දැන් හෂීගේ මූණ බලන්නෙවත් නෑලු. නැන්දම්මාත් හොඳටම දොස් කියලා කතා කරලා.”

 

“අනේ රෝසි මම ඔය මොනවත් දන්නේ නෑනෙ. මට අර එක ළඟ දවස් දෙකේ හම්බ වුණු නිසයි, දෙන්නටම කවුරුහරි හොයනවා කිවුව නිසයි මට එකපාර මතක් වුණේ. දෙගොල්ලටම හොඳ කරන්න තමයි මම ලෑස්ති වුණේ දෙවියනේ”

 

“ඒකනෙ අක්කා. අනික ගමක ළමයි වගේ නෙවෙයි. මේ හැමෝම හොඳ රස්සා කරන, යමක් තේරෙන අයනෙ. එයාලා ළමයෙක් හැදුවත්, රට ගියත්, ලංකාවේ ඉන්න තීරණය කළත්, රස්සා මාරු කළත්, ඒව කරන්නේ එකපාර හිතලා නෙවෙයි. හොඳට හිතලා, කල්පනා කරලා. ඒ නිසා අපි උපදෙස් දෙන්න යන්න ඕ‍ෙන නෑ. අනික අපේ උපදෙස් මේ කාලෙට හරියන්නෙත් නෑ. ඔය හෂී එහෙම පාටියක් නම් ඇඳුම් තෝර ගන්නෙයි, ලිප්ස්ටික් එකේ ඉඳන් ගන්නෙයි අර චැට් ජී පීටී එකෙන් අහලා. ඉතින් අපි කියලා දෙන්න ඕනෙ නෑනෙ ඒ ළමයින්ට ජීවිතේ ගත කරන හැටි. අක්කා එක්ක කවුරුත් තරහ නෑ. ඒත් මේ වෙලාවෙ හැමෝගෙම හිත රිදිලා ඉන්නේ.

 

අක්කා හැමෝම ආශ්‍රය කරන්න. ඒත් එයාලගෙ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න, එයාලට උපදෙස් දෙන්න යන්න එපා. එතකොට හැමෝගෙම හොඳ හිත රැකෙනවා.