වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
ශිෂ්‍යත්වයෙන් විශිෂ්ටයා වූ බිසඳි දියණී
දරුවෙක්ගේ සාර්ථකත්වය තියෙන්නේ ගෙදර පරිසරය ඇතුළේ - බිසඳිගේ අම්මා
පුංචි බිසඳිගේ කුඩා කල සිට සිහිනය වූයේ වෛද්‍යවරියක් වීමය.සාමාන්‍ය වෛද්‍යවරියකට එහා යමින් විශේෂඥ වෛද්‍යවරියක් වීමටම ඈ සිහින දුටුවාය. ඒ සඳහා අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය සහ මඟපෙන්වීම මේ සිඟිත්තියට ලැබුණේ නිවෙසෙනි.
ආදරණීය අම්මාගේ මඟ පෙන්වීම යටතේ ඇය ක්‍රමයෙන් තමන්ගේ ඉලක්කය කරා යාම ඇරඹුවාය.ඇය ඉලක්කය හඹා යාමේදී පසු පසින් පැමිණි බොහෝදෙනා ලබාදුන්නේ අපරිමිත ශක්තියකි.
ඒ ශක්තියෙහි විශිෂ්ටත්වය කොතරම්ද කියනවානම් මේ බලාපොරොත්තුවේ දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමුවැනියා බවට පත්වූයේ ලකුණු 200න් 188ක් ලබාගනිමිනි.
අද තරුණී සොයා යන්නේ ඒ සුන්දර විස්කම් පෑ දියණී බිසඳිය..
බිසඳී එවින්යා හොරණ දික්හෙනපුර පදිංචි පවුලක බාල දරුවාය.
හොරණ රාජකීය ජාතික පාසලේම ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන් වන බිසඳිගේ මාපියන් බිසඳි අධ්‍යාපනය සඳහා යොමු කරන්නේද හොරණ රාජකීය විද්‍යාලයටය.
බිසඳිගේ වැඩිමල් සහෝදරයාද ඉගෙනුම ලබන්නේ හොරණ රාජකීය ජාතික පාසලේ අටවන ශ්‍රේණියේය.
දැන් බිසඳි මේ පවුලට උපන් ගමට වාගේම පවුලට ඒකාලෝකයකි. ඒ ආලෝකය අතර අපි පළමුව හමුවන්නේ ඒ ආදරණීය අභිමානවත් දියණී බිසඳිය. ඒ සුන්දර සිනාව අතර මේ කතාව ජයග්‍රහණය ගැනය.
මට ඇත්තටම හරිම සතුටුයි. මේ ජයග්‍රහණය ලබා ගන්න මට ගොඩක් දෙනෙක් උදව් කළා. ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම හැමදාමත් පාසල් ආවා. එදිනෙදා දීපු වැඩ ඔක්කොම එදිනෙදාම නිම කළා. හැම වාර විභාගෙකටම මම ලකුණු අනූපහට වැඩියෙන් ගත්තා. ඒ විතරක් නෙමෙයි මං ගොඩාක් පොත්පත් කියෙව්වා. ඒකෙන් මට ගොඩාක් දැනුම ලැබුණා. මම විෂය සමගාමී වැඩ වලටත් ගියා.අත් අකුරු තරග චිත්‍ර තරඟ වලට සහභාගි වුණා. ඒවයින් ජයග්‍රහණත් ලැබුවා. මට පාඩම් වැඩවලට ගොඩක් උදව් කළේ මගේ අම්මා. ඒ වගේම තමයි මගේ අයියත් මට පාඩම් වැඩි වලදී උදව් කළා. ලැබෙන බව මට මුලදිම හිතුණා. නමුත් ලංකාවෙන් පළවැනියා වෙනවා කියලා මට හිතුනෙ නෑ...මම මගේ අනික නංගිලා මල්ලිලාටත් කියන්නේ හරි අධිෂ්ඨානයක් තියෙනවා නම් කැපවීමක් තියෙනවනම් ජයග්‍රහණය එතරම් අපහසු නොවන බවයි. ඒ වගේම මගේ පවුලෙන් ලැබුණු හැමදේම නිසා තමයි මම මෙතනට ආවේ. අනාගතයේ දවසක විශේෂඥ වෛද්‍යවරියක් වෙලා මේ රටට ජනතාවට සේවය කරන එක තමයි මගේ බලාපොරොත්තුව.
ඕනෑම දරුවකුට යහමඟ පෙන්වන පහන් තාරුකාව ගුරුවරුන් ය. මේ බිසඳිගේ පන්තිභාර ගුරුතුමිය වූ මානෙල් අමරතුංග ගුරුතුමියගේ සතුටය.
"බිසඳි කියන්නේ දක්ෂයින් අතර සිටි අති දක්ෂයෙක්. ඇය පංතියේ වාර විභාග ඇතුළු පරීක්ෂණවලදී ඉදිරියෙන්ම සිටියා. මට ලොකු විශ්වාසයක් තිබුණා බිසඳී හොඳ ලකුණකට යයි කියලා. ඇගේ විශේෂම දේ තමයි ලැබෙන හැම මොහොතකම ඇය මොකක් හරි පොතක් කියවනවා. පොත් කියවන්න පුදුම ආසාවක් තිබුණේ.මම එයාට හැමවිටම කිව්වේ පුතේ ඔයාට දෙසියෙන් දෙසීයම ලකුණු ගන්න පුළුවන් කියලා. මේක මගේ ගුරු ජීවිතය තුළ ලැබුණු විශාලම ජයග්‍රහණයක්. ඒ වගේම ඇය පාසලට ගෙනත් දුන්නේ විශාල කීර්තියක්. ඇගේ අනාගතයට මම සුභ පතනවා.
මේ සියලු ජයග්‍රහණය පිටුපස සිටින යෝධ සෙවණැල්ලකි. ඒ අම්මා නම් උත්තරීතර ශක්තියයි.බිසඳිගේ අම්මාට මේ මොහොතේ ඇත්තේ වචනයට පෙරළා ගත නොහැකි සතුටකි. මේ ඒ සතුටයි.
අම්මා කෙනෙක් විදියට ලබන්න පුළුවන් උපරිම සතුට තමයි මම මේ වෙලාවෙ විඳගන්නේ. අපි හැම දෙනාගේම බලාපොරොත්තු දුව ඉටුකරලා තියෙනවා. ඇත්තටම දුව කුඩා කාලේ ඉඳන් හරි දක්ෂයි. ඒ වගේම හරි කීකරු දරුවෙක්. දුවගෙ ඇස් දෙක සම්බන්ධ පුංචි කාලයේ සිටම ලොකු ගැටලුවක් තිබෙනවා. එයාගේ ඇස්පෙනීම සම්බන්ධව ගැටලුවක් තිබුණා.දැනටමත් එයාගේ ඇස් දෙකේ සැත්කමක් කරලා තිබෙනවා.තවත් සැත්කමක් මේ අවුරුද්දේ කරන්න නියමිතව තිබෙනවා. එවැනි දුෂ්කරතා රැසක් මැද තමයි මේ කටයුත්ත ජයගත්තේ.. දුව අධ්‍යාපනය වගේම බාහිර වැඩත් කළා. බයිසිකල් පැද්දා, බැඩ්මින්ටන් සෙල්ලම් කළා. අයියත් එක්ක චෙස් අදිනවා. කැරම් ගහනවා. ඒ මොන දේ කළත් එයා නියමිත පරිදි පාසලේ වැඩ ටික හරියටම කරනවා. ඒ නිසා අපි එයාට උපරිම නිදහස දුන්නා. ඒ වගේම පාසලෙත් හැම දෙනාගේම ආදරේට එයා නිතරම පාත්‍ර වුණා. එයා විභාගය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අපි ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. පන්තිභාර ගුරුතුමිය ඇතුළු හැම දෙනෙක්ම දුවට උදව් කළා. ඒ වගේම උපකාරක පන්ති ක්ෂේත්රය තුළ ගණිත ගැටලු ඇතුළු අනෙකුත් විෂයයන් සඳහා සඳහා සුරාජ් මධුරප්පෙරුම සර් සහ අනුර අල්විස් සර් ගොඩක් උදව් කළා. දුවගේ ඇස්පෙනීම දුර්වල නිසා හැමතිස්සෙම කොතරම් පිරිස හිටියත් පන්තියේ ඉස්සරහටම අරගෙන තමයි වැඩ ටික කෙරේ. ඒ වගේම මමත් මගේ මහත්තයත් රාජකීය විද්‍යාලයේම ආදි ශිෂ්‍ය ශිෂ්යාවන්වීම ගැන අපි ගොඩක් සතුටෙන් ඉන්නේ. මගේ රත්තරං දුවගෙ අනාගතයේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා මම සුභ පතනවා. දරුවෙක්ගේ සාර්ථකත්වය තියෙන්නේ ගෙදර පරිසරය ඇතුළේ. මගේ දුව හැමෝටම කදිම ආදර්ශයක්.
සැබෑවටම ඒ උත්තරීතර අම්මාගේ සතුට මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. දරුවකුගේ අනාගතය තීරණය කරනු ලබන ප්‍රධාන හැරවුම පවුල බව මේ කතාව අපට පසක් කරයි.
දැන් අප හමුවන්නේ බිසඳිගේ පාසලේ විදුහල්පති රංගන පීති කුමාර විතානගේ මහතායි.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හොරණ රාජකීය ජාතික පාසලේ ඉතිහාසය වෙනස් කළ දවසක් විදිහටයි මම දකින්නේ. ඉතිහාසයේ පළමු වතාවට තමයි දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ප්‍රථමයා බිහිවන්නේ. ප්‍රාථමික අංශයේ දරුවන්ට පොතපතේ දැනුම මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් උපරිමයෙන් සිදු කරමින් සමබර පෞරුෂයක් ගොඩනැඟීමට අවශ්‍ය කරන වැඩසටහන් රාශියක් ම ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ජයග්‍රහණය මම දකින්නේ. බිසඳී අපි හැමෝටම හොඳ ආදර්ශයක් දුන්නේ. ඇය අපේ පාසලට ලොකු කීර්තියක් එළියක් ගෙනාවා.
මේ වන විට බිසඳි ශ්‍රී ලංකාවේම දිදුලන තාරකාවක් බවට පත්ව තිබේ. ඒ ඈ ප්‍රකට කළ ප්‍රතිභාව නිසාමය.
මේ දියණියගේ ජීවිතය තවත් බොහෝ අම්මලාට සහ දරුවනට ජීවිත පාඩමක් කියාදෙයි. ඒ දරුවන්ට හරි මඟ පෙන්වීමෙන් බොහෝ දුර ඉලක්ක කරා යා හැකි බවය. ඒ ඉලක්ක ඉතා පහසු බවය.