වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
මගේ හඬ ප්‍රජාවක් වෙනුවෙන්
ලෝකයේ අපිට හම්බෙනවා විවිධ පෙරළිකාර කාන්තා චරිත. බොහෝ දෙනා ලෝකයේ නමක් තියලා තියෙන්නේ තමන් කරපු පෙරළිකාර වැඩ නිසා. ඒ අපිට හම්බෙන බොහෝ කාන්තාවෝ තමන්ගේ ප්‍රජාවන් වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු කරපු උදවිය. අපි අද කතා කරන්නට සැරසෙන්නෙත් තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් හඬක් නඟපු යකඩ ගැහැනියක් ගැන.
මේ ක්‍රියාන්විතය ඓතිහාසික එකක්. ඇය තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් හඬ නඟන්නේ මහව - අනුරාධපුරය අතර ඇති දුම්රිය ස්ථාන ප්රවේශයන්වලදී ආබාධිත ප්‍රජාවට සිදුවන අපහසුතා වෙනුවෙන්. මෙතුවක් කාලයක් විවිධ විවිධ පුද්ගලයන් සහ සංවිධාන ඒ වෙනුවෙන් යම්තාක් දුරට හඬ නඟන්න උත්සාහ කළත් ඔවුන් අබිබවා ඇඟේ හඬ ප්රබලත්වයට පත්වී තිබෙන බව දකින්නට පුළුවන්. අද අපි කතා කරන්නේ ඒ විදිහට හඬක් නඟපු ශ්‍රී ලංකා අාබාධ සහිත කාන්තාවන්ගේ සභාපති එන්. ජී. කමලාවති සමඟ. ඇය ශ්‍රී ලංකාව රනින් බැබළවූ පැසිෆික් ගේම්ස් ක්‍රීඩිකාවක් ලෙසට ද අපට හමුවේ. 1982 වසරේ පැරා ඔලිම්පික් රෝද පුටු තරගාවලියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ආ ඇය ඊට අමතරව ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ශූරියකි. ඉතින් අද මේ ක්‍රියාන්විතයේ සියලු කරුණු ඇයත් සමඟ කතා කරන්න අපි සූදානම්.
ලංකාවේ ආබාධිත ජනතාවට තියෙන පොදු ගැටලු මොනව ද?
පොදු ගැටලු ගොඩාක් තියෙනවා. එකක් තමයි ප්‍රවේශ පහසුකම්. ප්‍රවේශ පහසුකම් කිව්වම හිතට එන්නේ බස් එකේ යන්න, ආයතනයකට යන්න වගේ දේවල්. හැබැයි ඊට එහා ගිය ගැටලු තියෙනවා. පොදු වැසිකිළි ගත්තොත් රෝද පුටුවකින් යන කෙනෙක්ට ඒවාට ප්‍රවේශ වෙන්න බැහැ. මොකද ලංකාවේ ආබාධිත පුද්ගලයන්ට වෙන් වුණු වැසිකිළි නැහැ. වෙළෙඳසලක් ඇතුළට යන්නවත් පහසුකමක් නැහැ. අපිට ඕන ඇඳුමක් තෝරගන්න බැහැ. අපි එළවළුවක් ගන්න ගියත් අපිට ඕන විදිහට එළවළු ගන්න බැහැ. මම මේ දේවල් කියන්නේ මාත් රෝද පුටුවක ඉන්න ආබාධ සහිත කාන්තාවක් නිසා.
අනිත් ගැටලුව තමයි සන්නිවේදනයේ ඇති අපහසුකම්. ඒ කියන්නේ සංඥා භාෂාවෙන් කතා කරන අය මොකක් හරි වැඩක් කරගන්න රාජ්‍ය ආයතනයකට ගියාම තියෙන අපහසුතාවය. එතකොට බ්‍රේල් ක්‍රමය පාවිච්චි කරන අය ඉන්නවා. ඉතින් රජයේ ආයතන සම්බන්ධ අත්‍යවශ්‍ය අයදුම්පත්‍ර සහ ණය ලබා ගැනීමේ පත්‍ර බ්‍රේල් ක්‍රමයට ලබා නොදෙන නිසා එතැනත් අපහසුතාවක් තියෙනවා. එතකොට පන්සලක බණක් අහන්න, පල්ලියක යාඥාවක් අහන්නවත් බැහැ සංඥා භාෂාවෙන් ඒවා කරන්නේ නැති නිසා. දේශපාලන වේදිකාවේ සංඥා භාෂාව කතා කරන්නේ නැහැ. රෝහලකට ගියත් වෛද්‍යවරු, හෙදියන් කවුරුත් සංඥා භාෂාව දන්නේ නැහැ. ඉතින් අඩුම ගානේ තමන්ට තියෙන ලෙඩේ මොකක්ද කියලවත් කියාගන්න විදිහක් නැහැ. ඒ වගේම ආබාධ සහිත කාන්තාවන් දූෂණවලට අතවරවලට නිතර ලක් වෙනවා. සංඥා භාෂාව විතරක් කතා කරන කාන්තාවකට එහෙම දෙයක් වුණාම ඒක කියාගන්නවත් විදිහක් නැහැ. මොකද පොලිසියේවත් සංඥා භාෂාව දන්න අය නැහැ. එහෙම බලද්දී ආබාධ සහිත කාන්තාවන්ට කිසිම පහසුකමක් නැහැ.
එතකොට මහව - අනුරාධපුර දුම්රිය ස්ථාන සම්බන්ධව පෙත්සමක් ගොනු කරන්නේ ඇයි?
2006 අාබාධ අය සම්බන්ධ පනතේදී සඳහන් කරලා තියෙනවා සියලුම ආයතනවල ආබාධිත අය සඳහා ප්‍රවේශ පහසුකම් සලසන්න කියලා. ඉතින් ඊට පස්සේ ඉදිකරපු බොහොමයක් ගොඩනැඟිලිවලත් මේ පහසුකම සපුරලා තිබුණේ නැහැ.
ඒ වගේම 2009 සහ 2014 උසාවි නියෝග දෙකක් තියෙනවා ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් සලසන්න කියලා. එහෙම තියෙද්දී දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ග වැනි පොදු තැන් අලුතෙන් හදද්දි අර උසාවි නියෝගය පැහැර හැරලා තමයි හදලා තියෙන්නේ. විශේෂයෙන්ම මහව ඉඳලා අනුරාධපුරය දක්වා දුම්රිය ස්ථාන හදලා තියෙන්නේ ඒ විදිහට. ගල්ගමුව, රඹුක්කන, තලාව, අනුරාධපුරය කියන මේ හැම ස්ටේෂන් එකකටම ගිහින් අපි බැලුවා. සමහර තැන්වල ප්‍රවේශ පහසුකම් හදලා තියෙන්නේ. කිසිම ප්‍රමිතියක් නැතුව. වැසිකිළියට පවා රෝද පුටුවකින් යන්න බැහැ. වේදිකාවයි කෝච්චි පෙට්ටියයි එක හා සමාන මට්ටමකින් තියෙන්න ඕනේ. ඒවාත් පැහැර හැරලා. එහෙම බලද්දී අාබාධ සහිත පුදලයෙක්ට කෝච්චියකට නඟින්නවත් බැහැ.
ඊට පස්සේ මම අනුරාධපුරයේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් දැම්මා මේ දුම්රිය ස්ථානවල ආබාධ සහිත අයට කිසිම පහසුකමක් නැහැ කියලා. ඊටපස්සේ එතැනින් ඒ සම්බන්ධව කටයුතු කරපු අනුරාධපුරයේ ප්‍රධාන ඉංජිනේරුවරයාව ගෙන්නලා ප්‍රශ්න කිරීම් කළා. ඒ පිළිතුරෙන් සෑහීමකට පත් විය නොහැකි නිසා මම නඩුවක් ගොනු කළා. ඉසුරු මහේෂ් මහේන්ද්‍ර නම් දෘශ්‍යාබාධිත නීතිඥවරයෙක් තමයි මේ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සාධාරණයක් වෙයි කියලා.
මේ සංගමයෙන් සිදුවන සේවාවන් ගැන කතා කරමු.
1995 වසරේ දී තමයි මම මේ ආයතනය ආරම්භ කළේ. මේ සංගමයේ සියලුම සාමාජිකයින් ආබාධ සහිත කාන්තාවන්. 2003 ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ශ්‍රී ලංකාවේදී සම්මත කළා. ඒ කමිටු රැස්වීමට මමත් සම්බන්ධ වුණා. ඊට පස්සේ 2006 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්රඥනප්තිය සකස් කළා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මම සහභාගි වුණා. මේ සංගමයේ ප්‍රධානම අරමුණ වෙන්නේ අාබාධ සහිත ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දීම සහ ඒ අයිතිවාසිකම් සුරැකීම.
අපේ සංගමයෙන් ගොඩක් වැඩ කටයුතු කරනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවේශ අපහසුකම් සහ සන්නිවේදන පහසුකම්වල තියෙන අපහසුතා ගැන අපි රජයේ නිලධාරින් දැනුවත් කරනවා. ඒ වගේම අපි රජයේ නිලධාරින්ට මාස 6 සංඥා භාෂා පුහුණු පාඨමාලා පවත්වනවා. ගොඩක්ම පොලිස් කාන්තාවන් සහ පොලිස් නිලධාරින් ඒවාට සහභාගි වෙනවා. ආබාධ සහිත කාන්තාවන් ගැන සමීක්ෂණ කරනවා. මේ දවස්වල තරුණ ආබාධිත අයගේ භාරකාරයන් සම්බන්ධ කරගෙන සමීක්ෂණයක් කරගෙන යනවා. මේ වෙද්දි රජයේ ආයතනය සම්බන්ධ කරගෙන ආබාධිත පුද්ගලයන්ට තියෙන ප්‍රවේශ පහසුකම් ගැන සහ ඒ අායතන බලධාරීත් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ගෙනියනවා. ආබාධිත සහිත කාන්තාවන්ගේ සංගමය යටතේ රැකවරණයක් තියෙනවා. මවුපියන් අතහැර දාපු හෝ තනියම සිටින ආබාධිත කාන්තාවන්ව සහ විවිධ අතවරවලට ලක්වූ ආබාධිත තරුණියන්ව අපි රඳවගෙන ඔවුන්ව බලාගන්නවා සහ ඔවුන්ට වෘත්තීය පුහුණුව ලබා දෙනවා. ඔවුන්ගේ පවුලෙන් නොලැබෙන ආදරය රැකවරණය ආරක්ෂාව අපි ලබා දෙනවා.
පොදු ජනතාවගේ පැත්තෙන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කළ හැකි දෙයක් තිබෙනවා නේ ද?
ගොඩක් වෙලාවට මිනිස්සු අපි ගැන බලන්නේ අනුකම්පාවෙන්. අපි කියන්නේ අපි දිහා ඒ විදිහට බලන්න එපා කියලා. අපිත් එයාලා වගේම සාමාන්‍ය මිනිස්සු. අපි අාබාධිත වුණා කියලා අපි වෙන කෙනෙක්ගෙන් යැපීම අවශ්‍ය නැහැ. අපිටත් අධ්‍යාපනය, රැකියාව, විවාහ වීමට අවස්ථාවන්, දේපළවල අයිතිය, තියෙනව නම් අපිටත් අනිත් අය වගේ ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. රෝද පුටුවක් දුන්නත් කාටහරි පින් පිණිස කියලා ලොකුවට අලවලා තියෙනවා. වෙන උපකාරයක් කළත් ඒකත් අන්තර්ජාලයේ දානවා. ඉතින් ඒ දෙන දානයෙන් වැඩක් තියෙනවද? අනික ඒකෙන් ආබාධ සහිත පුද්ගලයා ඍජුවම අපහසුතාවට පත් වෙනවා. එතැනින්ම ඒ අාබාධ සහිත පුද්ගලයා යැපෙන්නෙක් වෙලා. දෙයක් දෙද්දී ඒ කෙනාගේ අභිමානය රැකෙන විදිහට දෙන්න. මම මේ සංගමය පටන් ගත්තේ මේ හැමදෙයක් ගැනම හිතලා.
මේ සංගමය පටන් ගන්න ඔබේ ජීවිත කතාවත් හේතුවක් වෙන්න ඇති...
මගේ ගම උතුවන්කන්ද. මට අවුරුදු පහේදී තමයි පෝලියෝ රෝගය හැදුණේ. මම කිහිලිකරුවලින් තමයි පාසල් ගියේ, ඉගෙන ගත්තේ. උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. මම පෞද්ගලික ආයතන කිහිපයකම වැඩ කරලා තියෙනවා. මම එහෙම වැඩ කරද්දි මට ආපු අභියෝගත් එක්කයි මම මේ ආයතනය පටන් ගත්තේ. මට ඉන්නවා අයියා කෙනෙකුයි මල්ලිලා තුන්දෙනෙකුයි නංගි කෙනෙකුයි. ඒ ඔක්කොමලා විවාහ වෙලා. තාත්තා නැති වෙලා. රැකියාව නිසා මම අනුරාධපුරයේ තලාව පදිංචි වෙලා ඉන්නේ. මම අම්මත් එක්ක ඉන්නේ. මම රෝද පුටුව පාවිච්චි කළාට මට හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන්. තනියම උයාගන්න, ඇඳුම් මහගන්න ඒ හැමදේම පුළුවන්. සහයට කට්ටියත් ඉන්නවා. මම තමයි 1982 වසරේ හොංකොං පැවති පැසිෆික් ගේම්ස් රෝද පුටු තරගයේදී ලංකාවට රන් පදක්කමක් ගෙනාපු ප්‍රථම කාන්තාව. ඒ විදිහට තරග බොහොමයකින් මම ජයගෙන තියෙනවා. මම මගේ ජීවිතයම වෙන් කරලා තියෙන්නේ මේ සංගමය වෙනුවෙන්. ඔවුන් වෙනුවෙන් කළ හැකි සෑම දේම මම කරනවා.