අගය වැඩි කිරීමෙන් පොල් කිරි ප්‍රමාණය වැඩිකර ගන්නා ක්‍රමය

මාර්තු 10, 2025

අරපිරිමැස්ම තමයි ගෘහිණියක් දැනගත යුතුම වටිනාම මැස්ම. මේ කියමනේ ලොකු අර්ථයක් තිබෙන බව හොඳටම දැනෙන්නේ මෙවැනි කාලයක. නිවෙසක වියදම වගේම කෑම බීම ටික නිසි අයුරින් කළමනාකරණය කළොත් ඒ නිවෙසේ මාසික වියදම නිසි අයුරින් පාලනය කර ගන්න පුළුවන් බව අපේ ගෘහණියට අමුතුවෙන් අකුරු කළ යුතු නැහැ.

හැබැයි මෙලෙසින් පාලනය කරන්න බැරි අවස්ථා ඇතැම්විට ඇති වෙනවා. පොල් මිල ඉහළ යෑමක් එවැනි අවස්ථාවක්. මෙලෙසින් මිල ඉහළ යන්න හේතු වුණේ එක හේතුවක් විතරක් නොවෙයි. මේකට හේතු ගණනාවක් බලපෑවා. හැබැයි මේ මොන හේතුව වුණත් නිවෙසක දෛනිකව ප්‍රයෝජනයට ගන්න පොල් ප්‍රමාණය පාලනය කිරීම එකපාරටම සිදු කිරීම අසීරු ක්‍රියාවක්.

නමුත් ගෘහණියක් ලෙස ඔබට මෙය පාලනය කිරීමට හෝ විකල්පයක් සොයා ගැනීම අසීරු නැහැ. ඒ තරමට අපේ ගෘහණියන් දක්ෂයි.

මේ සඳහා සාර්ථකම පිළියම වෙන්නේ අපට තිබෙන සම්පත් ටික ප්‍රයෝජනයට ගනිමින් මේ සඳහා විසඳුමක් සොයා ගැනීමයි. විශේෂයෙන්ම ගෘහිණියකගේ භූමිකාව ගැන අත්දැකීමක් ඇති කළමනාකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ අත්දැකීම සෑම කාන්තාවකටම වටිනවා. ඒ නිසා මෙවර කාන්තා දිනය වෙනුවෙන් සුවිශේෂී කාන්තා නිලධාරිනියක් සමඟ මේ ගැටලුව පිළිබඳ පිළිතුරක යෙදුණා. ඇය තමයි පොල් සංවර්ධන අධිකාරියේ අලෙවි සංවර්ධන සහ පර්යේෂණ අධ්‍යක්ෂ අනුරාධි හතුරුසිංහ මහත්මිය. ඇය මේ සඳහා ප්‍රායෝගික විසඳුම් කිහිපයක් අපට පෙන්වා දුන්නා.

 

ඇත්තටම මේ පොල් ගැටලුවට ගෘහිණියක් ලෙස අරපිරිමැස්මෙන් භාවිතයට කළ හැකි පිළියම් මොනවද?

 

පොල් අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම සඳහා ඉතා සාර්ථක සහ සරල විසඳුම් ඕනෑ තරම් තිබෙනවා. ඒ බොහොමයක් ක්‍රම අපේ ගෘහිණියන් දැන සිටියත් ඒවා භාවිත නොකිරීම ඉතාම බහුලව දක්නට ලැබෙන්නක්.

 

පොල් මිරිකීමේදී අතට වඩා බ්ලෙන්ඩරය කාර්යක්ෂම වුවත් අපේ ගෘහිණියෝ පුරුදු වී සිටින්නේ පොල් හිරමණයෙන් ගා අතින් මිරිකා කිරි ලබා ගැනීමටයි. එහෙත් එය පොල් ඉතා විශාල ලෙස අපතේ යැවීමක්. මේ කාර්යයම බ්ලෙන්ඩරයකින් කර ගතහොත් 50%ක පොල් ඉතිරියක් කරගන්න පුළුවන්. ඒ මෙන්න මේ විදිහටයි. බ්ලෙන්ඩරයකින් පොල් මිරිකා ගැනීමේදී අතින් මිරිකනවාට වඩා දෙගුණයක කිරි ලබා ගැනීමට පුළුවන්. එනම් පොල් ගෙඩියක කිරි පොල් බෑයකින් ලබා ගත හැකියි. එය කොතරම් ඉතිරියක්ද? එමෙන්ම බ්ලෙන්ඩරයෙන් පොල් මිරිකන විට අධික විදුලියක් වැයවන බවට තිබෙන මතය සත්‍යයක් නොවෙයි. මේ නිසා බ්ලෙන්ඩරය දිනපතා භාවිතය නිවෙසේ විදුලි බිල ඉහළ යාමට විශාල දායකත්වයක් ලබාදෙන්නේ නැහැ.

 

ගෙඩි පොල්වලට ආදේශක නිෂ්පාදන මිලදී ගැනීම වාසිද?

පොල් ගෙඩි වෙළෙඳපොළෙන් මිලදී ගැනීම වෙනුවට අගය වැඩි කළ ඇසුරුම් පොල් කිරි, පොල් කිරිපිටි, පොල් ක්‍රීම් නිෂ්පාදන මිලදී ගැනීමට හැකි නම් එදිනෙදා අවශ්‍ය පොල් කිරි ඉතා පහසුවෙන් ලබාගත හැකියි. පිටි කළ පොල්කිරි භාවිතය විශේෂයෙන් නාගරික සහ කාර්යබහුල ගෘහිණියට ඉතාම පහසුවක්. කාලය ඉතිරි කර ගැනීම වගේම මුදල් අතිනුත් ලාබයි.

පොල් සංවර්ධන අධිකාරිය සම්පූර්ණ අධීක්ෂණය යටතේ අගය වැඩි කළ පොල් ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කරනවා.

 

පොල් නිෂ්පාදනය අඩු වුණේ ඇයි?

 

පොල් නිෂ්පාදනය අඩුවීමට කරුණු රැසක් බලපෑවා. පසුගිය කාලයේ ඇති වූ කාබනික පොහොර භාවිතය පිළිබඳ ගැටලුව වගේම ඉහළ පොහොර මිල නිසාත් පොල් වගාව නියමිත පරිදි පොහොර භාවිත කිරීමට ගොවියන්ට හැකියාවක් ලැබුණෙ නැහැ. එපමණක් නොව පසුගිය කාලයේ රට පුරාම පැතිරී ගිය සුදු මැස්සාගේ ව්‍යාප්තිය ද පොල් නිෂ්පාදනය අඩුවීමට බෙහෙවින්ම බලපා තිබෙනවා. එමෙන්ම රිළවුන්, දඬුලේන්නු, වනඅලි ආදී සත්ත්ව හානිද පොල් නිෂ්පාදනය අඩුවීමට බලපා තිබෙනවා. විශේෂයෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන වෙළෙඳපොළේ විශාල වර්ධනයක් මෑත කාලයේ ඇති වී තිබෙනවා. රටට විදේශ විනිමය දැඩිව අවශ්‍යතාවක්ව පවතින මේ අවස්ථාවේ කර්මාන්තකරුවන්ට විදේශ වෙළෙඳපොළෙන් ලැබෙන දිගුකාලීන ඇණවුම් ශ්‍රී ලංකාවට මහා සම්පතක්. එම නිසා අපනයන වෙළෙඳපොළට අවශ්‍ය කරන පොල් සැපයුම අඩුවක් නැතිව ලබාදිය යුතු වෙනවා.

පොල් පරිභෝජනය අඩු කරන්න පුළුවන්ද?

 

අප පුරුදු වී සිටින ආකාරයට පොල් පරිභෝජනය හිතන තරම් පහසුවෙන් අඩු කළ නොහැකියි. එහෙත් බ්ලෙන්ඩරය භාවිතය, ඇසුරුම් කළ පොල් කිරි ඇතුළු අගය වැඩි කළ පොල්කිරි නිෂ්පාදන ආහාරවලට දැමීමට හැරවීම වැනි කාර්යක්ෂම ක්‍රම මඟින් අපට පොල් පරිභෝජනය ප්‍රමාණාත්මකව අඩු කළ හැකියි. එනම් බ්ලෙන්ඩරය භාවිතයෙන් අපට සතියකට පොල් ගෙඩි හයක් අවශ්‍ය නම් එය තුනක් දක්වා අඩු කර ගැනීමට පුළුවන්. එය පොකට්ටුවට වාසියක් වගේම රටේ සමස්ත පොල් නිෂ්පාදනයටද ගෙන එන්නේ විශාල වාසියක්. මේ ගැන දැනුම්වත් කිරීම සඳහා මේ මාසයේ සිට විශේෂඥ වෛද්‍යවරු, මහාචාර්යවරු, සූපවේදීන් සහ පෝෂණවේදීන් ඇතුළත් මණ්ඩලයකින් විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ රටේ සමස්ත ජනතාව දැනුම්වත් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර තිබෙනවා. එය ඉතා සාර්ථක උත්සාහයක් වනු ඇත.

 

පොල් හිඟයට ස්ථිර විසඳුමක් නැද්ද?

 

මේ සියලු බාධක ජය ගනිමින් අපි මේ ගැටලුව ස්ථිරව විසඳා ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලසුමක් සකස් කර අවසන්. ඒ සැලසුම සහ විසඳුම සඳහා තව වසර කිහිපයක් ගතවේවි. එනම් අපි වසර පහක් ඇතුළත පොල් හිඟයට ස්ථිර විසඳුමක් ලබාදීමට ඉතා සාර්ථක සැලසුම් සකස් කර අවසන්. එබැවින් පොල් මිල අධිකව ඉහළ යෑම සදාකාලික හෝ දීර්ඝ කාලීනව පවතින්නක් නොවෙයි. එබැවින් මේ මොහොතේ සුදුසුම පියවර වන්නේ පොල් ඉතා කාර්යක්ෂම අයුරින් භාවිතයට හුරුවීමයි.

අනුරාධි හතුරුසිංහ
අධ්‍යක්ෂ 
(අලෙවි සංවර්ධන සහ පර්යේෂණ පොල් සංවර්ධන අධිකාරිය)
 

[email protected]