වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
හිතට පවන් සලන රෝඩ් ට්‍රිප්

මං උන්නෙ විසාලෙට පැතිරුණු මුහුදක් ඉස්සරහා. මුහුද අද්දරට වෙන්න කදිමට හාන්සි වෙලා හුළඟ එක්ක කොණ්ඩෙට සෙල්ලම් කරන්න හාන්සි පුටු තිබ්බා. ඒවායේ උඩුකය නිරුවත් තරුණයෝ ඇස් පියාගෙන දිගාවෙලා උන්නා. තරුණියෝ ලලිතවත්ව නාන ඇඳුම් ඇඳගෙන, යටිපතුල් පුරා මුහුදු වැලි තවරගෙන පින්තූර වගේ දිගාවෙලා උන්නා. හැම තැනම සංගීතය පැතිරිලා. මුහුද ඉර, ගිලගන්න කට ඇරගෙනයි උන්නේ. හිරිකැටිය වෙරළ හිටියෙ 'කෝ එන්න' කියලා රාත්‍රිය වඩාගන්න ලෑස්තියෙන්මයි. මිතුරු කාණ්ඩෙ හැමෝටම ඈතින් පේන මුහුදු රළ අඬගහනවා, ඇවිත් ගිලෙන්න කියලා ඇස් බැල්මෙන් කියනවා. අපි නූල්වලින් කැඩුණු සරුංගල වගේ මුහුදට පැන්නා.
සර්ෆ් බෝඩ් එක්ක රැළි උඩින් පාවෙලා එන යෞවනයෝ රෑන් පිටින් අපිව පහුකරන් ගියා. මුහුදකට මනුස්ස ශරීරයක්, මනසක් මේ තරම් සන්සුන් කරන්න පුළුවන් වුණ එක අරුමයක් කියලා මට හිතෙන්න පටන් ගත්තා. කෙළවරක් නැතිව දුවමින්, දේවල් එකතු කරමින් ගෙවපු ජීවිතේට හදිසියේම පොඩි නැවතීමක් ලැබුණා.
ඇත්තටම මනසට නිවනක් හෙවීම කියන්නෙ හරිම සරලව වගේම, ඉතාම බැරෑරුම්වත් කරන්න පුළුවන් දෙයක්. ඒ වෙනුවෙන් අපේ මනස සහ ශරීරය ඉල්ලන විසඳුම මොකක්ද කියන එක ගැනයි මුලින්ම තීරණයකට එන්න ඕනවෙන්නේ. මගේ මනස සහ ශරීරය වැඩිපුරම ඉල්ලන්නේ හුදෙකලාව. සෙනඟක් මැද්දෙ ඉන්න ආසා කිරීමත් ඒත් එක්කම සමාන්තරව රබර් බෝලයක් වගේ උඩට එනවා.
සති දෙකක් පුරා සමීප මිත්‍ර සමාගමයක් එක්ක ‘රෝඩ් ට්‍රිප්’ එකක ආනන්දය වින්ඳ නිසා මනසට බෙහෙත් කොයිතරම් වුවමනා ද කියන අදහස එක්ක දැනටත් මම දුර ගමනක් යමින් ඉන්නේ. එහෙම ගමනකදී අලංකාර දේ වගේම ශෝකී දේවලුත් විටින්විට අපිට මුණගැහෙනවා. අලංකාරය වගේම අවලස්සනත්, ශෝකය වගේම විනෝදයත් එකම කාසියේ දෙපැත්තේ රැඳෙමින් අපේ ජීවිතවලට තේරුම් සපයනවා. සමහර ඉතාම සතුටු මොහොතක පවා ශෝකයක් ඇවිත් හිතට පොඩි තට්ටුවක් දානවා.
දෙවුන්දර තුඩුව බෝඩ් ලෑල්ල ළඟ ඉඳන් සුදෝ සුදුවට පිරියම් කරලා තියෙන ලයිට් හවුස් එක දිහා බලද්දි සතුට එක්ක ශෝකය මිශ්‍ර හුළඟක් මගේ හිත ඇතුළෙන් හමන්න ගත්තා. ඒ කපුගේගෙ ජනප්‍රියම සිංදුව 'උන්මාද සිතුවම්' රූප රාමු ඔළුවෙ කැරකෙන්න ගත්ත නිසයි. සුදෝ සුදෙන් පිරියම් කරලා තිබ්බ ලයිට් හවුස් එකේ බඳ මතට ආසන්නයේ තිබ්බ පොල් ගස්වල හෙවණැලි වැටිලා එතැන හදපු චිත්‍රය ඔන්න ආයෙමත් මට සතුටු බිංදු ඉහින්න ගත්තා. එතැනින් එහාට මුහුද බැරෑරුම් පල්ලමක ඉඳන් අපිට හුළඟ අතේ පණිවිඩ එව්වා. සමහරවිට ඒ බෑවුමෙන් එයාගෙ ලස්සන බලන්න කියලා වෙන්න ඇති. නමුත් අපිට ඒ පණිවිඩය හරියට ලෙහාගන්න බැරි වුණා. හැන්දෑ වුණා. ලයිට් හවුස් භාරකරු ඉබ්බෙක් සහ යතුරු කැරැල්ලක් අතේ තියාගෙන අපි එතැනින් පිටවෙලා යනතුරු නොඉවසිලිමත්ව බලාගෙන උන්නා. අපි ආපහු ආවා. ශෝකය ලයිට් හවුස් එකට දීලා සංතුෂ්ටිය අපේ අතේ මිට මොළවගෙන එන්න සූක්ෂ්ම වුණා. මං හිතන්නෙ එහෙමයි සතුට රැකගෙන ශෝකය මඟ දාලා එන්නේ.