මම කිසිම අභියෝගයකට බය නැහැ

දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් නිලධාරිනිය පළමුවරට පුවත්පතකට කතා කරයි
මාර්තු 24, 2025

 

ඇය දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් නිලධාරිනියි. ලෝඩ් මාස්ටර් තනතුර අපේ රටේ ජනතාව අතර ප්‍රචලිත වූයේ ඇය දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් නිලධාරිනිය වීම හරහාය. 74 වසරක ගු වන් හමුදා ඉතිහාසයේ තමා වෙනුවෙන් පරිච්ඡේදයක් නිර්මාණය කරගත් ඇය දැන් මා ඉදිරියේ.

 

ඇය ෆ්ලයිට් ලෙෆ්ටිනන් පියුමි ජයරත්න. මේ කතාබහ දකුණු ආසියාවේ පළමු ලෝඩ් මාස්ටර් නිලධාරිනිය සමඟය. අප මුලින්ම ඇය රැගෙන යන්නේ ගුවන් හමුදාවේ බලලත් නිලධාරියකු වූ ඇයගේ පියා සමඟ ගෙවූ අතීත මතක අතරට.

 

" මට හොඳට මතකයි අපේ තාත්තා එයාර්ෆෝස් යුනිෆෝම් එක ඇඳගෙන ගෙදරට එන දවස්. ඇත්තටම අහස කියන්නේ මොකක්ද කියලා අහස වගේ මට කියලා දුන්නේ තාත්තා. තාත්්තා ගුවන් හමුදාවේ බලලත් නිලධාරියෙක් නිසාම පුංචි කාලේ ඉඳලම ගුවන් හමුදාව ගැන, ගුවන් හමුදාවේ නිලධාරීන් ගැන, අහසේ නොපෙනෙමින් ඈතට යන ගුවන් යානා ගැන මට තිබුණේ ලොකු ආසාවක්.

පුංචි කාලේ ඉඳලා ඒ තිබුණු ආසාව මාව ලෝඩ් මාස්ටර් කෙනෙක් දක්වාම අරගෙන ගියා. මේ ගමන එන්න පළමු පියවර තියන්න මට ලොකුම ශක්තිය වුණේ මගේ තාත්තා. ඉගෙන ගත්තොත් ලෝකයම දිනන්න පුළුවන් කියලා පුංචි කාලෙදිම මට තාත්තා කියලා දුන්නා.

 

මම 1 වසරේ ඉඳලා 10 වසර වෙනකම් කොළඹ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙලා මම තෝර ගත්තේ විද්‍යා විෂයයන්. ලෝකයේ හැමදෙයක්ම පවතින්නේ විද්‍යාව හින්දා කියලා මම හිතනවා. ඒ නිසාම මම එදා විද්‍යා විෂයයන් තෝර ගන්න ඇති. "

 

කතාබහ අතරතුර පියුමි අතීත මතක අතර සැරිසරයි. රත්මලාන ගුවන් කඳවුරේ ඇයත් මාත් අතර සුහද කතාබහ තවත් සුහදශීලී වෙමින් පවතියි.

"මම ඉපදුණේ ඒකල, කොටුගොඩ. ජීවිතයේ කවදාහරි දවසක මම කරන්න පටන් ගත්ත ෆීල්ඩ් එකේ ඉහළට යන්න ඕනේ කියලා මගේ හිතේ හීනයක් තිබුණා. පොඩි කාලේ ඉඳලම වගකීම් දරන එක මගේ ජීවිතයේ අංක එක වෙලයි තිබුණේ. උඩු ගුවනේ මිනිස්සුන්ගේ ජීවිතවලට වගකියමින් ඔවුන්ව පරෙස්සමට රැගෙන යන එක හිතන තරම් ලේසි නැහැ. ලෝඩ් මාස්ටර් කියන්නේ අන්න ඒ වගේ ලොකු වගකීමක්." ඇත්තටම ලෝඩ් මාස්ටර් කියන්නේ කවුද මම ඇයගෙන් පැනයක් ඇසුවා.

 

ගුවන් යානයක් පියාසර කරන්න ගුවන් යානයේ ස්කන්ධය බලපානවා. සාමාන්‍යයෙන් පාරේ යන වාහනයකට වඩා ගුවන් යානයක් පියාසර කරද්දී ගොඩක් වෙනස්. හිතන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ රාජකාරිය වෙන්නේ ස්කන්ධය හරියට ගණනය කරලා මගීන්ව සහ භාණ්ඩ ආරක්ෂාකාරිව ගමනාන්තය දක්වා රැගෙන යෑම. එහිදී ගුවන් යානය තුළ සිටින මගීන් හෝ තිබෙන භාණ්ඩ, නිසි තැන්වල ස්ථානගත කරලා ලෝඩ් මාස්ටර් එහි වගකීම අරගෙන ඒ සහතිකය ප්‍රධාන ගුවන් නියමුවට ලබා දෙනවා පියාසර කරන්න.

 

ඒ වගකීම හරි ලොකු එකක්. ඉතින් වගකීම ගන්නේ කොහොම ද?

 

ගුවන් ගමනේදී ආරම්භයේ සිට ගමනාන්තය දක්වාම අපි ගුවන්යානයේ ඉන්නවා. මොකද ලෝඩ් මාස්ටර්ගේ වගකීම ඒ මුළු කාලය පුරාවටම ඒ ගැන අවධානයෙන් පසුවීම. එතකොට මගීන් ගමන් කරනවා නම් එයාලව බලාගන්න එක අපේ වගකීමක්. උඩට යද්දී පීඩනය වෙනස් වෙන නිසා භාණ්ඩවලත් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවලදී නිසි ක්‍රියාමාර්ග ගන්න එක තමයි අපේ වගකීම. ඕනෑම භාණ්ඩයක් ගුවනින් අරන් යන්න බාර ගන්න අපිට බැහැ. අන්තරදායක භාණ්ඩ ප්‍රවාහන නියාමනය යටතේ ඒ අදාළ භාණ්ඩය ගුවනින් රැගෙන යන්න පුළුවන් ද බැරි ද කියන එක ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්. ඒ නියාමනය හොඳින් අධ්‍යනය කරලා ඒ භාණ්ඩය ගුවනින් ගෙන යන්න පුළුවන් ද කියලා අපිට කියන්න පුළුවන්.

 

මේ ක්ෂේත්‍රය විහිදිලා තිබෙන පරාසය ගැන කතා කළොත්?

 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ලෝඩ් මාස්ටර් ක්ෂේත්‍රය විහිදිලා තියෙනවා Mi 17 හෙලිකෝප්ටර් එකට. ඊට අමතරව AN 32 ගුවන් යානයට. ඒ වගේම C 1 30 ගුවන් යානයට. දැනට අපි සක්‍රීයව වැඩ කරන්නේ Mi 17 හෙලිකොප්ටර් එකෙන්. ඒ හෙලිකොප්ටර් එක මෙහෙයුම් වර්ග 20කට විතර විහිදිලා තියෙනවා. මගීන් ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය ඉන් ප්‍රධානයි. ඒ වගේම ලැව්ගිනි තත්ත්වවලදී ඒ ගින්න තිබෙන්නේ මහා මාර්ගවලින් යෑමට නොහැකි තැනක නම් බම්බි බකට් ආධාරයෙන් වතුර අරගෙන ගුවනින් ගිහින් ගින්න නිවන්න සහාය ලබා දීම තව එහි එක් මෙහෙයුමක්. ඒකට අපි කියන්නේ බම්බි බකට් ඔපරේෂන් කියලා. ඊළඟට පැරෂුට් පැනීම. එහිදී පැරිෂුට්කරුවන්ව අදාළ ස්ථානයේදී ගුවනින් මුදා හැරීමයි කරන්නේ. ඊළඟට මහා මාර්ගවලින් යන්න බැරි තැනකට ලොකු ස්කන්ධයක් තියෙන භාණ්ඩයක් ගුවන් මගින්ගෙන ගිහින් අදාළ තැන ස්ථාන ගතකරන්නත් මේ ගුවන් යානයට හැකියාව තියෙනවා. මම දැනට සුදුසුකම් ලබා තිබෙන්නේ Mi 17 හෙලිකෝප්ටර් එකට.

 

ලෝඩ් මාස්ටර් කෙනෙක් වෙන්න නම් කොහොමද ඒ ගමන යන්න ඕ‍ෙන හරිම පාර.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංශ ගොඩාක් තියෙනවා. ඒ අතරින් සැපයුම් අංශය හරහායි. මේ සඳහා සම්බන්ධ වෙන්න ඕනේ. එහිදී ලෝඩ් මාස්ටර් පාඨමාලාව කරලා මේ විදිහට සුදුසුකම් ලබාගෙන වැඩ කරගෙන යන්න පුළුවන්.

කවුරු හරි කෙනෙක් එන්න බලාපොරොත්තු වෙනවා නම් එන්න අපේ බඳවා ගැනීමේ කාර්යාලයට. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිල වෙබ් අඩවියෙත් පාඨමාලා සම්බන්ධව සියලු විස්තර තිබෙනවා. ඒකෙදි සැපයුම් ශාඛාව තෝර ගත්තොත් අවස්ථාවක් ලැබෙනවා ලෝඩ් මාස්ටර් පාඨමාලාවට ඉල්ලුම් කරන්න.

මමත් ඒ විදිහටයි මේ ගමන පටන් ගත්තේ.

මමත් සැපයුම් අංශයට තමයි මගේ සේවය ලබා දෙන්නේ. ඒ හරහා මම ලෝඩ් මාස්ටර් ක්ෂේත්‍රයට ඇතුළත් වුණා. දැන් මම ගුවන් හමුදාවේ කාන්තා නිලධාරිනී ලෝඩ් මාස්ටර් කෙනෙක් විදිහට මගේ සේවය ලබා දෙනවා.

 

මේක වෙනස්ම වෘත්තියක්. ලංකාවේ අය වෙනස් දේවල් කරනවා ටිකක් අඩුයි. ඉතින් ගුවන් හමුදාවට විතරක් නෙවෙයි, ඕනෑම දෙකට අලුත් ප්‍රවේශයක් ගන්න ඉන්න කෙනෙක්ට දෙන්න තියෙන පණිවිඩය මොකක් ද?

ලෝඩ් මාස්ටර් කෙනෙක් විදිහට සක්‍රියව රාජකාරියට ඇතුළත් වුණු පළමු කාන්තා නිලධාරිනිය මම. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉහළ තලවල ඉන්න කාන්තා නිලධාරිනියන් සහ ගුවන් කාන්තාවන් ඉන්නවා මේ වගේ විශේෂ නිලතලවල. ඒ වගේ අයව උදාහරණයට අරගන්න.

මේ තැනට එන්න ධෛර්යය, හිතේ අධිෂ්ඨානය සහ කැපවීම තියෙන්න ඕනෙ. ඒ වගේම ඉලක්ක සම්පූර්ණ කරන්න ඕනේ. කිසිදෙයක් අභියෝගයක් කියලා හිතන්නේ නැතුව හොඳ අවස්ථාවක් විදිහට සලකලා ඒ අවස්ථාවට මුහුණදෙනවනම් ඕ‍ෙනම දෙයක් ජයගන්න පුළුවන්.

 

මේක ජීවිතත් එක්ක කරන සටනක්නේ. වාහනයක වගේ මඟ නවත්තලා හරි මොනවහරි දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේ වගකීමක් ගන්න මිනිස්සු බයයි. ඔයා ඒ වගකීම හිතට ගත්තේ කොහොම ද?

 

මගේ ගෙදර තිබුණේ ගුවන් හමුදාවට උචිත පරිසරයක්. තාත්තා තමයි මගේ මාර්ගෝපදේශකයා වුණේ. ඉතින් අභියෝගවලට මම කවදාවත් බය වුණේ නැහැ. ඒ වගේ අපේ උපදේශකවරු ඒ වගකීම ගන්නේ කොහොමද කියන එක ගැන අපිව පුහුණු කළා. ඉතින් පුහුණු උපදේශකවරුන්ව මතක් කරන්නම ඕනේ. ලෝඩ් මාස්ටර් වින්ග් කමාන්ඩර් නුවන් රත්නායක සර්. ඔහු තමයි අපේ ප්‍රධාන උපදේශක විදිහට කටයුතු කරන්නේ. ඔහු තමයි මේ පාඨමාලාව සංවිධානය කරලා, එය අවසන් කරලා මේ ක්ෂේත්‍රයට ඇතුල් වෙන විභාගය දක්වාම සියල්ල සිදුවන්නේ ඔහුගේ දායකත්වයෙන්. ඒවගේම ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ සහ සැපයුම් අධ්‍යක්ෂ ‍ෙජනරාල් එයාර් වයිස් මාෂල් ග්ලැඩ්වින් අතපත්තු සර්ගේ නායකත්වයෙන් තමයි මේ හැමදේම සිදුවන්නේ. ඒවගේම අංක 61 හෙලිකොප්ටර් බලපන්තියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කාංචන කොඩිකාර නිලධාරිතුමාවත් මතක් කරන්න ඕනෙ.

 

තාත්තා වගේම පවුලේ අනිත් අයත් මේ ගමන එන්න යෝධශක්තියක් වෙන්න ඇති?

මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. තාත්තා මහින්ද ජයරත්න. අම්මා කාන්ති පෙරේරා. අක්කා චේතනා ජයරත්න. අක්කා රත්නපුර රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා. තාත්තට තිබ්බ හීනයක් තමයි මාව ගුවන් හමුදා නිලධාරිනියක් කරන එක. තාත්තගේ හීනය අද වෙද්දි මම ඉෂ්ඨ කරලා තියෙනවා සහ ඉන් එහාට අඩියක් තියලා ගුවන් හමුදා ඉතිහාසයටත් එකතු වුණා පළමු ලෝඩ් මාස්ටර් නිලධාරිනිය විදිහට. තාත්තට ඒක ලොකු ආඩම්බරයක්.

දැන් අවුරුදු 74ක් වෙනවා අපේ ගුවන් හමුදා ඉතිහාසයට. ඒ අවුරුදු 74ටම මේ වෙනකම් කාන්තා නිලධාරිනියක් ලෝඩ් මාස්ටර් වෘත්තියට ඇතුළත් වෙලා හිටියේ නැහැ. නිලධාරීන් සහ සෙසු නිලයන් විතරයි මේ වෘත්තියේ හිටියේ. මම තමයි කාන්තා නිලධාරිනියක් විදිහට ගුවන් හමුදා ඉතිහාසයට එක්වුණු පළමු ලෝඩ් මාස්ටර් කාන්තා නිලධාරිනිය. ඒ වගේම දකුණු ආසියාවටම ඉන්න එකම කෙනත් මම. ඒ විදිහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිමානයක් එකතු කරන්න ලැබීම මට ලොකු සතුටක්.

 

මේ ක්ෂේත්‍රයත් එක්ක තව යාහැකි දුර ගැන කතා කළොත්?

ලෝඩ් මාස්ටර් කියන්නේ ගුවන් හමුදාවේ තියෙන එක් ක්ෂේත්‍රයක්. 2017 ජූනි මාසේ තමයි මම ගුවන් හමුදාවට සම්බන්ධ වුණේ. මම දැනට Mi 17 හෙලිකොප්ටර් එකට විතරයි සුදුසුකම් ලබා තිබෙන්නේ. එතකොට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේදී තව ගුවන් යානා දෙකකින් සුදුසුකම් ලබන්න පුළුවන්. ඉදිරියේදී AN 32 සහ C 1 30 ගුවන්යානා වලත් සුදුසුකම් ලබන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මගේ සේවය හැකි සෑම ආකාරයකින්ම ලබා දෙන්න මම සූදානම්.

 

විශේෂ ස්තූතිය

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක

ගෲප් කැප්ටන්

එරන්ද ගීගනගේ මහතාට

සහ ගුවන් හමුදා මාධ්‍ය අංශයට

ඡායාරූප - ශාන් රූපස්සර

 

 

[email protected]