ඔයාටත් අම්මාව මඟහැරුණාද?

මැයි 12, 2025

අපි ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනය සමරන්නේ මැයි මස 11 වැනිදා. ඉතින් කොහොම වුණත් අපි අපේ මවුපියන්ට සලකනකොට අම්මා තාත්තා කියලා වෙන් කරන්න බැහැ. හැබැයි ලෝකේ අම්මාවරුන් ජීවිත කාලය පුරාවට තමන්ගේ දරුවන් ගැන ලොකු කැපකිරීමක් කරනවා. හැබැයි එතැනදී මට මිනිස් අම්මලා කියලා විතරක් කියන්න බැහැ.

 

කුකුළු පැටවු වුණත් කිකිළි කෙකර ගගහා රකිනවා හරිම පරෙස්සමට. වනාන්තරයේ ඉන්න සත්ත්ව පැටවුන් වුණත් අපි දකිනවා ඒ විදිහට හරියට පරෙස්සම් කරනවා. හැබැයි මිනිස් අම්මලාගේ විශේෂයක් තියෙනවා. මිනිස් අම්මලා දරුවන්ට රැකවරණය දෙන කාලය වැඩියි. ඒ කාලය තුළ අම්මලා තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැපකරන්නේ නැති දෙයක් මේ ලෝකයේ නැහැ. අම්මා තමන්ගේ ලස්සන. රූපය, නීරෝගිකම, අම්මා තමන්ගේ බඩගින්න මේ සියල්ලම දරුවෝ වෙනුවෙන් කැපකරනවා. එතකොට ගොඩක් වේලාවට අම්මාවරුන්ගේ දිනයේදි අපි කතා කරන්නේ අම්මා කෙනෙක් කායිකව කරන කැපකිරීම ගැන විතරයි. නමුත් අම්මා කෙනෙක් කායිකව සහ මානසිකව අති විශාල කැපෙකිරීමක් කරනවා. මානසිකව අම්මා කරන කැපකිරීම් මොනවද? අම්මා, දරුවා බඩට ආවා කියලා දැන ගත්ත දවසේ ඉඳලා රස්නෙන් වතුර ටිකක්වත් බොන්නේ නැහැ. රස්නෙන් කෑම ටිකක්වත් කන්නේ නැහැ. ගොඩක් වෙලාවට අම්මා හොඳට නිදියගන්න ඕනේ කිව්වත් නින්දට යන කාලයත් දරුවා වෙනුවෙන් කැපකරනවා දරුවා ඉපදුණු අලුත. දරුවා ගර්භයේ ඉද්දි අම්මා නපුරු සිතුවිල්ලක් හිතන්නේ නැහැ. තමන් අදහන ආගම අනුව හැමෝටම මෛත්‍රී කරන්න පටන් ගන්නවා. මට දුවෙක් ද පුතෙක් ද කවුරු වුණත් කමක් නැහැ මම එයාව රැකගන්න ඕනේ කියලා හිතනවා. මම එයාව පරෙස්සම් කරන්න ඕනේ කියලා හිතනවා. එතකොට අම්මා කෙනෙක් කරන කැපකිරීම මිලකින්, මුදලකින් වෙන් කරන්න බැහැ. ඉතින් අපි හැමොගෙම ජීවිත මේ තරම් දුර ගේන්න අපේ අම්මලා ගොඩක් කැපකරලා තියෙනවා.

 

මවුවරුන්ගේ දිනය ගැන කියද්දී මගෙ හිත සංවේදී කරන කාරණා දෙකක් තියෙනවා. මගේ අම්මා සරෝජනී වරකාගොඩ. හැබැයි අම්මට අම්මගේ නමවත් දැන් මතක නැහැ. එයාට දරුවෝ කීදෙනෙක් ඉන්නව ද කියන එක මතක නැහැ. කාලයක් තියෙනවා අම්මලා අපිව රැකබලා ගත්තා වගේ අපි අම්මලව රැකබලා ගන්න ඕනේ. මට තියෙන වැඩත් එක්ක, අම්මගේ වැඩ සියල්ලම නංගි තමයි කරන්නේ. හැබැයි එයාට අවශ්‍ය සියලු පහසුකම් අපි සපයලා දෙනවා. අපි යන්නේ මාසෙකට දෙසැරයක් වගේ. මේ ආර්ථිකයත් එක්ක හැප්පෙද්දි අපිට නිතරම අම්මා ළඟම ඉන්න බැහැනේ. හැබැයි අම්මට ආදරේ නැහැ කියන එක ඒකෙන් අදහස් කරන්නේ නැහැ.

 

අම්මලා දරුවන් හදන්නේ නැවත එයාලට සලකයි කියලා බලාගෙන නෙවෙයි. හැබැයි අපි ඒක කරන්න ඕනේ. ගෙදර බුදුන් අම්මා කියලනේ කියන්නේ. හැම ගෙදරකටම බුදුන්ට වඩින්න විදිහක් නැහැ. ඒ නිසයි හැම ගෙදරකටම අම්මා කෙනෙක් ඉන්නේ එහි අනුරුව විදිහට. අම්මගේ හිත රිදවන්නේ නැතුව, ඉඩකඩම්වලට ගහගන්නේ නැතුව, අපිට මොනවද දුන්නේ කියලා හිතන්නේ නැතුව ඔබට ඔබේ අම්මට ස්තූති කරන්න පුළුවන් නම් ඔබ සැබෑ දරුවෙක්. අතපය කඩන්නෙ නැතුව හැදුවා, ඉගැන්නුවා, වේලක්වත් බඩගින්නේ තිබ්බේ නැහැ. අම්මා පරණ ඇඳුම් අඳිනගමන් අපිට සිනිඳු සේද සළු දුන්නා. ඉතින් එහෙම තමයි අම්මලා.

 

මම දන්න අවිවාහක ගුරුවරියක් ඉන්නවා. ඇය ඉගැන්නුවෙ මගෙ මල්ලිට. ඇය දැන් ඉන්නේ ගෙවන වැඩිහිටි නිවාසයක. එයාව මාසෙකට සැරයක් බලන්න යන එක මගේ පුරුද්දක්. ඒ යද්දි කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. එයා ඒකට කැමැති නැහැ. ඒ ගියාම අපි සාහිත්‍යය ගැන, කලාව ගැන ගොඩක් දේවල් කතා කරනවා. මොකද ඇය සිංහල භාෂාව ඉගැන්වූ ගුරුවරියක්. එයා එයාගේ තරුණ කාලේ ගැනත් කියනවා. එයා ඉගැන්නුවේ මහනුවර ජනප්‍රිය විද්‍යාලයක. ඉතින් දඟ ළමයින්ව මෙල්ල කරගත් හැටි, දඟම, නරකම ළමයව පන්ති නායකයා කරලා එයාව හොඳ තත්ත්වයට ගත්ත හැටි. අදටත් ඔහු ඇයව රැක බලා ගන්නවා. එයාටත් දැන් අවුරුදු 75ක් වෙනවා. අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනේ නැහැ කියන එක තමයි ඒකෙන් කියන්න පුළුවන්. දරුවෙක්ව යහමගට ගන්න අම්මා කෙනෙක් විදිහට උපත දෙන්නම ඕනේ නැහැ. ඉතින් මම හිතනවා අම්මාවරුන්ගේ දිනයේදී ඔබට මඟහැරුණු ඔබේ අම්මා හොයාගෙන යන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. දැන් අපිට යන්න පාරවල් තනලා දුන්නේ මේ අහිංසක අම්මලනේ. ඒ අම්මලට අපිට දෙන්න පුළුවන් මොනවද. අපි මොනවාහරි ගෙනෙයි ද කියලා එයාලා බලන් ඉන්නේ නැහැ. එයාලා බලන් ඉන්නේ අපි එයාලව බලන්න එයි ද? අපි එයාලට ආදරය කරයි ද? ආදරයෙන් කතා කරයි ද වගේ දේවල් විතරයි.

 

දරුවෝ අම්මලට වෙන මුකුත් දෙන්න ඕනේ නැහැ. තමන්ගේ කාලයෙන් පොඩි වෙලාවක් දෙන්න. පාසලේ සුහද හමුවට යන්න වේලාව තියෙනවනම්, උපන්දින සාදවලට යන්න වේලාව තියෙනවනම්, වෙන වෙන උත්සවවලට යන්න වේලාව තියෙනවනම් ඇයි අම්මා බලන්න යන්න වේලාවක් නැති වෙන්නේ. මම දන්න සමහර අය ඉන්නවා මහලු මඩම්වලට දානේ දෙනවා. ටීවී එකට දාන්න ලොකු මුදලකට බණ කියනවා. හැබැයි තමන්ගේ මවුපියෝ බලන්න යන්නේ නැහැ. අඩුම ගානේ අම්මා දුරකතන ඇමතුමක් දුන්නම කොයි දරුව ද ඒකට සතුටින් ප්‍රතිචාර දක්වන්නේ. “ඇයි අම්මේ” කියලා බොහොම සැරෙන් අහන්නේ. අම්මා කතා කරන්නේ අවශ්‍යම දේකට විතරයි. ඉතින් ඒ ඇමතුම මඟහැර ගන්න එපා. අම්මා කෙනෙක්ගෙන් ඒ මඟහැරුණු ඇමතුම නැවත කවදාවත් එන්නේ නැති වෙන්න පුළුවන්. අදටත් ගමේ ගියාම අම්මා අහන්නේ

ඔයා කාලද පුතේ කියලනේ. අම්මා තරම් අපේ කුසගින්න බලාගන්න වෙන කවුරුත් නැහැ. ඒ නිසා හැමෝම අම්මා කෙනෙක්ගේ ජීවිතය ගැන වැඩිපුර හිතන්න පෙළෙඹෙනවනම් හොඳයි. ඒ වගේම අම්මා කෙනෙක් කිව්වම ඔබට උපත දුන් අම්මා විතරක් නෙවෙයි තරුණී කියවන තරුණ භාර්යාවෝ තමන්ගේ සැමියාගේ අම්මා ගැනත් හිතන්න. මොකද ඔයාලා මේ සැප විඳින්නේ සැමියාට උගන්නන්න මහන්සි වුණු අම්මා කෙනෙක් ඒ පිටිපස්සේ ඉන්න නිසා. අදටත් ඔයාලා වැඩට ගිහින් එනකම් ඔයාලගේ දරුවන්ව බලාගන්නවා. අම්මා කෙනෙක් කවදාවත් බැහැ කියන්නේ නැහැ. ළමයෙක් අඬනකොට අම්මා කෙනෙක් හිනා වෙන්නේ එකම එක වතාවයි ඒ දරුවා ඉපදිලා අඬන හැඬුම අහලා. ඔයාට රිදෙන හැම වේලාවකම ඔයාට වඩා අම්මට තමයි රිදෙන්නේ. ඒ නිසා අම්මට රිදවන්න හොඳ නැහැ. අම්මට රිදෙව්වොත් ආපහු එක බලපාන්නේ හරිම නරක විදිහට. අම්මා කෙනකුගේ හිත හරි සංවේදියි. අම්මා කෙනකුගේ ආදරයට සීමාවක් නැහැ, ප්‍රමාණයක් නැහැ. අම්මා කෙනකුගේ ආදරයට වචන, හැඟීම්, වෙනම බැල්මවල් එහෙම තියෙනවා. අම්මා තමයි අපිව හරියටම තේරුම් ගන්නේ. එයා අඬන්නේ මොකටද? බඩගිනි වෙලා ද? නැත්නම් නැපිය තෙමාගෙන ද? නැත්තම් හුරතල් වෙන්න හිතිල ද? කියලා අම්මා දන්නවා. ඉතින් වැඩිහිටි වුණාමත් ඒ හැමදේම තේරෙනවා. සමහර වේලාවට විවාහ ජීවිතයේ කම්කටොලු අම්මට නොකිව්වට අම්මා අහනවා පුතේ ඔයා හොඳින් නෙවෙයි නේද ඉන්නේ කියලා. සතුටින් නෙවෙයි නේද? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව ද? ඒකට අපිට උදව් කරන්න පුළුවන් ද කියලා. අදටත් තමන්ගේ දුවලා පුතාලට කාර්වල යන්න පාර හදලා දීලා, බස්වල රස්තියාදු වෙන අම්මලාව මම ඕ‍ෙනතරම් දැකලා තියෙනවා. පුතාව පෞද්ගලික රෝහල්වල තියාගෙන බෙහෙත් කරලා, ආණ්ඩුවේ රෝහලේ පෝලිම්වල හිටගෙන ඉඳලා බෙහෙත් ගන්න අම්මලව මම දැකලා තියෙනවා. ඉතින් අම්මලාගේ ආදරයේ අඩුපාඩුවක්, හිස්තැනක් නැහැ. අම්මලගේ ආදරයට කොන්දේසි නැහැ.

 

ඒ හින්දා දරුවනුත් තමනේ අම්මත් එක්ක යහපත් සම්බන්ධතාවක් තියාගන්න. කොයි වෙලාවේ අම්මගේ ඒ ආසනය හිස් වෙයිද කියලා අපි දන්නේ නැති නිසා හැමතිස්සෙම අම්මව සතුටින් තියන්න. ආදරයෙන් තියන්න. ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය සමරන අද වගේ මේ ලෝකයේ හැම තැනම කළු අම්මලා, සුදු අම්මලා, කෙට්ටු අම්මලා, මහත අම්මලා, ලස්සන අම්මලා, ලස්සන නැති අම්මලා ගොඩක් ඉන්න පුළුවන්. තරුණ අම්මලා, මහලු අම්මලා ඉන්න පුළුවන්. ඒ හැම අම්මා කෙනෙක්ම අම්මා කෙනෙක්. ඉඩ ළැබෙන හැම වෙලාවෙම අම්මා බලන්න යන්න. අම්මට ආදරෙයි කියන්න. අම්මගෙ රැලි ගැහුනු අත අල්ලගෙන අම්මට හාදුවක් දෙන්න. ඇත්තම ආදරය අම්මට පෙන්නන්න.

 

 

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක

මවුවරුන්ගේ දිනය වෙනුවෙන් නෙන සුවිශේෂී ලිපිය