බලාගෙන ගියහම ඔක්කොම එකයි

දහවැනි දින සටහන
මැයි 12, 2025

2016 ජූනි 18 සිකුරාදා

අද නිවාඩුවක් දාලම බැංකු ගියා. හවුසින් ලෝන් එක වැඩි කරගන්ඩ බලන්ඩ.

කාඩ්එකෙන් සල්ලි ගත්ත මිසක් කාලෙකින් බැංකු පොත ලකුණු කරලා නෑනෙ. පොත් ලකුණු කරපු තැන හිටපු බඩ්ඩගෙ මූණෙ ලේ කඳුළක් නෑ. මල්ටිබොන්ඩ් ගාලද මන්ද තොල් දෙක එකට අලෝලා තිබුණෙ. ඔළුව උස්සල මනුස්සයෙක්ගෙ මූණ දිහා බලන්නෑ. ඉස්සර නම් බැංකුවෙ කට්ටිය මෙහෙම නෑ. කවුරුත් හොඳට හිනාවෙලා කතාබහ කළා. ඇත්තමයි මෙවුවගෙ ගෑනු මොකට බැංකුවලට ගන්නවද මන්ද? ආයි දෙකක් නෑ දේශපාලන පත්වීමක් වෙන්ඩැති. අපේ ඔෆීස්වලත් ඕ‍ෙනවට වඩා ඔළුව උදුම්මන් ඉන්නෙ සුදුසුකම් නැතුව ආපු දේශපාලන හෙංචයියොනෙ.

 

මාස ගාණකින් පොත ලකුණු කරලා නැති හින්ද ඒ මුස්පේන්තු මූණ දිහා පැයක් විතරම බලන් ඉඳලා තමා අනික් වැඩ ටික කරගන්ඩ වුණේ. අපරාදෙ කියන්ඩ බෑ ණය අංශෙ බඩ්ඩ නම් දත් තිස් දෙකම එළියට දාලා පණ පිහිටුවලයි කතා කළේ. ඒ වුණාට මට එයාගෙ උජාරුව තමයි අල්ලන්නෙ නැත්තෙ. හරියට නිකම් මඟුල් ගේක යන්ඩ වගේ ස්ටයිල් එක. ඒ බඩ්ඩ ඉස්සරා ඉන්නකොට මං නිකම් කුස්සි අම්ම ගානයි. අපරාදෙ ඒ කාලෙ ටිකක් උනන්දු වෙලා කොහොම හරි බැංකුවකට පත්වීමක් ගන්ඩයි තිබුණෙ මට.

 

" පරණ ලෝන් එකෙන් හතරෙන් එකක් විතර වගේ තමා අඩු වෙලා තියෙන්නෙ මිස්."

" එහෙම වෙන්නෙ කොහොමද ? අවුරුදු දහයකින් ගෙවන්ඩ ගත්ත ලෝන් එක අවුරුදු පහක් ගියාම බාගයක් අඩුවෙලා තියෙන්ඩ එපායැ."

 

ණය බඩ්ඩ තව මොන මොනවද කියන්ඩ හැදුවත් මං කෙළින්ම මැනේජර් ගාවට ගියා. " මේකනෙ මිස් සාමා, මුල් කාලෙදි වැඩිපුර කැපෙන්නෙ පොලිය. මුල් මුදල ටික ටික අඩු වෙනකොට තමයි පොලියට කැපෙන ගාණ අඩුවෙලා මුල් මුදලින් කැපෙන ගාණ වැඩි වෙන්නෙ."

" ඒක පුදුම කතාවක්නෙ. අපි මුලින් අඩු වාරිකයක් ගවුවෙ නෑනෙ. පඩිය වැටෙන පමාවට, අපි රටින් පැනල යයි වාගෙ ඕගොල්ලො ණය වාරිකෙත් සතේටම කපා ගත්තා. ඔහොම කතාවක් ණය ගන්නකොට කිවුව නම් අපි මේ බැංකුවෙන් ණය ගන්නෙ නෑ." මැනේජරය තව තව මොන මොනවද කියන්ඩ හැදුවත් මං දමල ගහල එන්ඩ ආවා. ඇයි දෙයියනේ මේ මොන අසාධාරණයක්ද..? අපෙන් කපන සල්ලි බැංකුවෙ එවුන් පිල්ලි ගහගෙන ඇති කියල එළියට ආවට පස්සෙයි මට හිතුණෙ. ණය බඩ්ඩ ඔයහෑටි ලකේට ඇඳ පැලඳගෙන ඉන්නෙ අපෙන් පිල්ලි ගහන සල්ලිවලින් වෙන්ඩැති කියලා හිතෙද්දි මගෙ ඇඟේ මාළු නැටුවා. ගෙදර යන්ඩ කලින් දෙකෙන් එකක් බේර ගත්තෙ නැත්නම් රෑ තිස්සෙත් ඕකමනෙ නින්දෙන් ඇහැරි ඇහැරිත් මතක් වෙන්නෙ. නිවාඩුත් දාපු එකේ ටවුමෙ තියෙන බැංකු දෙක තුනකටම ගිහින් මුලින් කැපෙන්න පොලියද, මුල් මුදලද කියලා හොයල බැලුවෙ ඒකයි මම. බලාගෙන ගියාම ඔක්කෝම බැංකු එකයි. හැම තැනින්ම කියන්නෙ එකම කතාව. මුලින් වැඩිපුර කැපෙන්නෙ පොලියලු. අපරාදෙ මහ වැස්සෙ ටවුම පුරා ඇවිදින්ඩ ගිහින් සපත්තුවෙ අඩිය ගැලවෙච්ච එක විතරයි අන්තිමට වුණේ යනුවෙන් ඇතිවන රෝග ද තිබේ. වෙන සපත්තු දෙකකුත් නැති එකේ හෙටයි අනිද්දයි නිවාඩු හින්ද හොඳට ගියා. ගම් ටිකක්වත් ගාලා සපත්තු අඩිය අලෝගන්ඩ කල් තියෙනවනෙ.