විශ්ම විශ්වය

මැයි 12, 2025

 

 ලෝකෙ වටේ සවාරි ගහන අය අතරේ පුළු පුළුවන් විදිහට හැමෝම වගේ උත්සාහ කරන්නෙ ලස්සන දේවල් දකින්න, විඳින්න. ලෝකයේ ලස්සන ගැන කතා කරද්දි ඒ ලස්සන ඇතුළේ සැඟවී ගිය නොවිසඳුණ අබිරහසුත් ඕනෑතරම් ති‍ෙයනවා. අද කියන්න යන්නෙත් ඒ වගේ හරි පුදුම දේවල් කිහිපයක් ගැන.

 

අයිස්ලන්තයේ පාසි බ්ලැන්කට්ටුව

පාසි යනු අයිස්ලන්තයේ බහුලව දක්නට ලැබෙන ශාකයකි. විශේෂයෙන් අයිස්ලන්තයේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන ලාවා බිම් වසා පැතිරී ඇති නීල හරිත පාසි පරිසරයට එක් කරන්නේද අමුතුම සුන්දරත්වයකි.

 

ලොව නමගිය වඩාත් දර්ශනීය පාසි බ්ලැන්කට්ටුවක් අයිස්ලන්තයේ දකුණු වෙරළ තීරයේ, එල්ඩ්‍රවුන් ලාවා බිම් පෙදෙසේ දැකිය හැකියි.

එල්ඩ්‍රවුන් ලාවා බිම් පෙදෙස ඉතිහාසයේ සිදුවූ ඉතා විනාශකාරී ගිනිකඳු පිපිරීමක් නිසා නිර්මාණය වූවකි. එය 1783 වර්ෂයේ මාස අටක කාලයක් අඛණ්ඩව පුපුරා ගිය Grimsovotn නම් ගිනිකන්ද විසින් මුදාහල ටොන් බිලියන 42 කට අධික බාසල්ට් ලාවා (basalt lava) නිසා ඇති වූවකි.

මෙම ගිනිකඳු පිපිරීමත් සමඟ මුදාහල ලාවා සහ විෂ වායුන් නිසා අයිස්ලන්තයේ වාසය කළ ගවයින් සහ අශ්වයින් අඩක් පමණද බැටළුවන්ගෙන් හතරෙන් තුනක් පමණද මියගොස් සාගරයේ මාළුන් පවා අතුරුදන් වූ බවද පස විෂ වී කෙත් වතු විනාශ වී එයින් ඇතිවූ සාගතයෙන් අයිස්ලන්තයේ වාසය කළ ජනයාගෙන් හතරෙන් එකක් පමණ මිය ගිය බවද පැවසෙයි. කාලයාගේ ඇවෑමෙන් එම රළු භූ දර්ශනය වසාගෙන අද වන විට එල්ඩ්‍රවුන් බිමේ පෙදෙසේ දක්නට ලැබෙන්නේ ජීවයෙන් ඇලළී ගිය මේ ඝන පාසි බ්ලැන්කට්ටුවයි.

 

සියදිවි නසා ගන්නන්ගේ තෝතැන්න

" ඔබගේ ජීවිතය මවුපියන්ගෙන් ලද වටිනා තෑග්ගකි. ඔවුන් ගැන සිතන්න. ඔබගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් ගැන සිතන්න. ඔබ තනියම විඳවීමට අවශ්‍ය නොවේ. අවට ඇති ඕනෑම දුරකතන කුටියකින් පහත දුරකතන අංකයට අමතන්න. අප ඔබ වෙනුවෙන් උදව්වට පැමිණෙන්නෙමු."

 

ජපානයේ සුප්‍රකට ෆුජියාමා කඳු පාමුල පිහිටලා තියන සුන්දර ඔකිගහරා (Aokigahara) වනාන්තරයේ පිවිසුම් දොරටුවේ එවන් පණිවිඩයක් සඳහන් වෙනවා.

 

ඒ මොකද දන්නවද? මේ වනාන්තරයට ඇතුළු වෙන බොහොමයක් ජපන් ජාතිකයින් පැමිණෙන්නේ සියදිවි නසා ගැනීමේ චේතනාවෙන්. ඒක හින්දම තමයි මේ වනාන්තරය සියදිවි නසා ගන්නන්ගේ තෝතැන්නක් එහෙම නැත්නම් සියදිවි නසා ගන්නන්ගේ වනාන්තරය විදිහටත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. වසරකට සිය දිවි නසා ගන්නන්ගේ මළ සිරුරු සියයක්වත් එයින් හමුවෙනවා.

 

මෙම වනාන්තරය තුළ දිවි නසා ගන්නන් තම ආත්ම ඝාතනය සඳහා බොහෝ විට යොදාගනු ලබන්නේ කඹයක එල්ලීම හෝ අධික ලෙස මාත්‍රාව ඉක්මවා ඔෟෂධ ලබා ගැනීමයි. වනාන්තරයේ ගස් වැල් පිහිටා ඇති අධික ඝනත්වය නිසා මෙම මළ සිරුරු සොයා ගැනීමට කාලාන්තරයක් ගත වෙන බවයි වාර්තා වෙන්නේ.

 

බල්ගේරියාවේ දෙවියන්ගේ ඇස්

ඇස් දෙකක් මෙන් දිස්වෙන කුහර දෙකක් සහිත මෙම ගුහාව පිහිටා ඇත්තේ බල්ගේරියාවේයි. ස්වාභාවිකවම නිර්මාණය වුණු මෙම භූ විෂමතාවයේ ඇති සුවිශේෂී බව නිසාම මෙය හැඳින්වෙන්නේ දෙවියන්ගේ ඇස් නමින්. හුනුගල්, ජිප්සම් සහ ඩොලමයිට් වැනි මෘදු පාෂාණ ඛාදනය වීමෙන් මෙවැනි කාස්ට් වර්ගයේ (Karst Cave) ගුහා බිහි වෙයි. මීටර් 262ක් දිග මෙම ගුහාව බල්ගේරියාවේ දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයකි.

 

දිව්‍යලෝකයට යන කෝච්චිය

පෝලන්තයේ Wroclaw නගරයේ Strzegomski චතුරශ්‍රයේ ඉහළ ආකාසය දෙසට හරවපු අමුතුම ආකාරයේ steam එන්ජිමක ස්මාරකයක් දකින්න පුළුවන්.

 

මේ ස්මාරකයේ තියෙන අමුතු හැඩය නිසා මෙය හැඳින්වෙන්නේ දිව්‍යලෝකයට යන කෝච්චිය (The Train to Heaven) යන නමින්.

මීටර් 30ක් දිග ටොන් 80ක් විතර බර මේ steam එන්ජිමේ වයස අවුරුදු 65ක් විතර වෙනවා.

 

මේ එන්ජිම ධාවනයෙන් ඉවත් කළාට පස්සේ Wroclaw නගරය අලංකරණයේ යෙදී සිටි ගෘහ නිර්මාණ ශිල්පී Andrzej Jarodzki විසින් මේ එන්ජිම මෙතෙන්ට ගෙනල්ලා මේ අලංකාර steam එන්ජින් ස්මාරකය ඉදි කරලා තියෙනවා.