වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පහතරට තෙත් කලාපයේ හොඳින් වැඩෙන ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ්
කොරෝනා වසංගතය දැඩිව හිස එසවීමත් සමඟම ආයෙමත් අපි හැමෝම නිවෙස් තුළටම කොටුවෙලා. අත්‍යවශ්‍ය ගමනක් බිමනක් හැරුණු කොට බොහෝ දෙනකු තම රැකියා කටයුතුවල පවා නියැලෙන්නේ නිවෙස් තුළ සිටමයි. ඒනිසාම ඔබට මේ දිනවල කාල වේලාවේ නම් යම් ඉතිරියක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඉතින් මේ කාලවකවානුව ප්‍රයෝජනවත් අන්දමින් ගතකරන්නට සිතනා අයත් බොහොමයි. නිවෙසේ සිටම තම ගෙවත්තේ වගා කටයුත්තක් සිදු කරන්නට එහෙමත් නැතිනම් ස්වයං රැකියාවක් ලෙස මල් වගාවක් ආරම්භ කරන්නට සිතූ අයට මේ කාල පරිච්ඡේදය වෙස්වලාගත් ආශීර්වාදයක් ලෙස සිතන්න.
විශේෂයෙන්ම පසුගිය දිනවල අපි ඔබට පැවසු පරිදි ඕකිඩ් වගාවක් ආරම්භ කරන්නට නම් මේ හොඳම කාල වකවානුවක්. මොකද නිදහසේ සිටින මේ කාලය තුළ ඕකිඩ් වගාවේ මූලික කටයුතු සම්පාදනය කරගත් විට වසංගත තත්ත්වය අවසන් වනවිට ඔබගේ වගාව හොඳ තත්ත්වයක තිබේවි.
එසේ නම් අද අපි වගාවට තරමක් පහසු මෙන්ම ඉතා හොඳ ලාභයක් ලැබිය හැකි ඩෙන්ඩ්‍රෝබියම් වගාව ගැන දැනුවත් වෙමු.
ස්වයං රැකියාවක් ලෙසින් පහතරට මල් වැවීම ආරම්භ කරන පුද්ගලයකුට ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් ය.
සාමාන්‍යයෙන් ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් පහතරට තෙත් කලාපයේ ඉතා හොඳින් වැඩෙනු දැකිය හැකිය.
ඔබ ආධුනික මල් වවන්නකු නම් සමූහ බඳුන් (community pots) වලින් හෝ කුඩා දැල් පෝච්චි (small net pots ) වලින් මෙම වගාව ආරම්භ කළ හැකියි. එමඟින් ඔබට ඕකිඩ් පැළ වැවීම පිළිබඳ හොඳ දැනුමක් සහ අත්දැකීම් රාශියක් ලබා ගත හැකිය. එහෙත් සමූහ බඳුනකින් ආරම්භ කරන ඕකිඩ් පැළයක මල් කිනිත්තක් දැකිය හැකි වන්නේ වසර දෙක හමාරකින් පමණ බවත් ඔබ මතක තබා ගන්න.
සමූහ පැළ බඳුනක ඕකිඩ් පැළ 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් දකින්නට ලැබේ. මෙවැනි පැළ බඳුනක් මිලදී ගත් පසු දින දෙක තුනක් ඔබේ ගෙවත්තේ පරිසරයට හුරුවන සේ තැබිය යුතුය.
මෙහිදී ගෘහය තුළ තැබීම සුදුසු නොවේ. එමෙන්ම වර්ෂාවෙන් ආරක්ෂාවන සේ U - V ආරක්ෂිත පොලිතීනයකින් (පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාවීමට) සහ 60% ක් සෙවණ සලසන සෙවණ දැලක් යට තැබිය යුතුය. එමෙන්ම මෙම කාලය තුළ ඉසින යන්ත්‍රයකින් ( sprayer ) ජලය ඉසිය යුතුය. මෙම ජලය ලබාදීම පෙරවරු 9.00 ට පෙර සිදු කිරීමත් වඩාත් සුදුසුය.
සාමාන්‍යයෙන් දින තුනකට පසුව මෙම පැළ වෙන් කර සිටුවා තබා ගත යුතුයි. ඒ සඳහා රාක්කයක් එහෙමත් නැත්නම් මැස්සක් අවශ්‍ය වේ. වෙනත් ඕකිඩ් වර්ගවලට සාපේක්ෂව ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් සඳහා අවශ්‍යවන ඉඩ ප්‍රමාණය අඩුය. අඩි 04 ක් පළල අඩි 25 ක් පමණ දිග රාක්කයක් මත මධ්‍යම ප්‍රමාණයේ ඩෙන්ඩ්‍රෝබියම් පැළ 400 ක් පමණ තැබිය හැකියි. එහෙත් මල් හටගැනීමට ආසන්න වනවිට මෙම ඉඩ ප්‍රමාණයේ පැළ සංඛ්‍යාව 250 ක් පමණ වනසේ තුනී කරන්නටත් මතක තබා ගන්න.
මෙම ඕකිඩ් පැළ තබා ගැනීමට මැස්සක් එහෙමත් නැත්නම් රාක්කයක් සකසා ගන්නා අන්දම සහ තාවකාලික වැසි ආවරණයක් සකස් කරගන්නා ආකාරය පිළිබඳ අප ලබන සතියේ දැනුවත් වෙමු.
උපදෙස්
සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ