කුණුවලින් ගේමක් ගහන කටානේ කෙල්ල

නේෂා රත්නායක
ජූලි 22, 2024

 මේ ව්‍යාපාරය නිසා කුණු නැති ලස්සන රටක් ගොඩනැඟේවි

 

මේ ලෝකෙ හැමෝටම ලැබෙන්න ඕනෙ ආදරණීය පවුලක්.. බැදීම්වලින් ශක්තිමත්, එකිනෙකාව තදින් වැලඳගත් පවුලක්.. දුක හිතෙන හැම මොහොතකම ළඟින්ම ඉන්න.. සතුටු හිතෙන මොහොතක කාටත් වඩා සතුටු වෙන්න..

ඇදගෙන වැටෙන හැම මොහොතකම නොවැටී හිටින්න දෑතින්ම අල්ලගෙන ඉන්න.. ඉදිරියටම යනකොට හිතේ කහටක් නැතුව ආශීර්වාද කරන්න.. හිත හොඳටම බිඳිල තියෙද්දි ඒ හිත සුවපත් කරන්න.. එහෙම ආදරණීය පවුලක් මැද්දෙ හුස්ම ගන්න හැම කෙනෙකුටම "ප්‍රශ්න" කියන්නෙ අකුරු තුනක් විතරමයි.. අද කියන්නේ ඒ වගේ ආදරය පිරුණු පවුලක ආදරයෙන් බිහි වුණු ව්‍යාපාරයක් ගැන. ඒ කුණුවලින් සල්ලි හම්බ කරන හරි අපූරු ව්‍යාපාරයක්. කටාන upsycle ආයතනය කියන්නේ ඒ විදිහට කුණුවලින් ගොඩ ගිය ආයතනයක් කිව්වොත් හරියටම හරි. දියුණු වෙන මිනිහට මී කුණත් ඇති කියලා කිව්වෙ කතාවට වුණාට අද ඒ කතාව මේ පවුල ක්‍රියාවෙන්ම ඔප්පු කරලා පෙන්නුවා. මේ ව්‍යාපාරයේ හිමිකරු ජයන්ත කුමාරසිරි. ඔහුගේ හවුල්කාරිය වෙන කවුරුත් නෙවෙයි ඔහුගේම දියණියයි ඇය නේෂා රත්නායක. මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලයෙන් උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙනුම ලැබූ ඇය තවමත් 19 වියැති යුවතියක්. ව්‍යාවසායක කළමනාකරණය පිළිබඳ උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින නේෂා පියාගේ අඩිපාරේ යමින් මේ ව්‍යාපාරය පවුලේ ව්‍යාපාරයක් බවට පත්කර ගන්නේ ඔහුට සවියක් වීමටය.

හරි හරියට පියා සමඟ මේ අපූරු ව්‍යාපාරය පවත්වාගෙන යන නේෂා කටහඬ අවදි කළේ මේ විදිහට.

බිස්කට් කාලා වීසිකරන බිස්කට් කොළේ. අයිස්ක්‍රීම් කාලා වීසිකරන අයිස් ක්‍රීම් කොළේ. එතකොට බෝතල් මූඩි අපි අයින් කරන ඇඳුම්වලින් විවිධ නිර්මාණ කරන එක අපි කරන්නේ. ඒ කියන්නේ ඉවතලන පොලිතීන්වලින් නෝට් බුක්, ඩයිරීස්, පවුචස්, ෆයිල් කවර වගේ දේවල් අපි නිෂ්පාදනය කරනවා.

සාමාන්‍ය නෝට් බුක් එකක පිට කවරය හදන්න අපි ගන්නේ වර්ග කිලෝමීටර් දෙකහමාරක් වගේ ඇතුළත තියෙන කුණු ප්‍රමාණයක්. ඉටිකොළ, ටොෆි, චොක්ලට් කොළ එකතු කරලා තමයි ඒක නිර්මාණය කරන්නේ. එතකොට අපි ඒ නෝට් බුක් එකේම කවර වෙන වෙන ඩිසයින්වලටත් නිර්මාණය කරලා තියෙනවා. බෝතල් මූඩි සහ අයිස්ක්‍රීම් කොළ යොදාගෙනත් අපි ඒ විදිහට කවර නිර්මාණය කරනවා. එතකොට ඒ වගේ ක්ලිප් බෝඩ් නිර්මාණය කරගන්න මේ අමුද්‍රව්‍ය අපිට යොදාගන්න පුළුවන්. එතකොට අපි ඩයිරිස් කවර නිර්මාණය සඳහා භාවිතයෙන් ඉවත් කරපු පරණ රෙදි වර්ග යොදා ගන්නවා.

එතකොට රෙදි ඉටිකොළ වගේ දේවල්වලින් විතරද මේ විදිහට අලුත් දේවල් හදන්න පුළුවන්?

තව ඕනෙ තරම් ක්‍රම තියෙනවා. අපි පොත් කිහිපයක කවර හැදුවා තාත්තා කපලා ඉවත්කරන හිසකෙස් යොදාගෙන. හරිම කලාත්මක පෙනුමක් ඒ නිර්මාණවල තියෙන්නේ. එහෙම බලද්දි අපි විසි කරන දේවල්වලින් කරන්න පුළුවන් දේවල් ඕනෙ තරම් තියෙනවා.

නේෂා මේ ව්‍යාපාරය පටන් අරගෙන දැන් කොපමණ කාලයක් වෙනවද?

දැන් අවුරුදු 10ක් වගේ ඉඳන් තමයි මේ විදිහේ දේවල් නිර්මාණය කරන්නේ. මමයි තාත්තයි එකතු වෙලා දැන් මේක කරගෙන යනවා. තාත්තා තමයි මේ ව්‍යාපාරයේ හිමිකරු. කටාන upsycle කියන්නේ තාත්තගේ මහන්සියෙන් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. අද වෙද්දි ඒක පවුලේ ව්‍යාපාරයක් වෙලා. අම්මා, නංගි, අයියා, මම අපි හැමෝම තාත්තත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාරය කරගෙන යනවා. නංගි තවම 10 වසරේ. එයා තවම ඉගෙන ගන්නවා. දැන් අයියා නැවක සේවය කරනවා. ඉතින් මේ ව්‍යාපාරය තුළ වැඩි වැඩ කොටසක් මා අතින් සිදු වෙනවා. අම්මා සෙව්වන්දි ඕවිටිගල. අම්මා අපේ සෙවණැල්ල වගේ හැමදේකදීම අපේ ළඟින්මයි ඉන්නේ.

කොහොමද වීසිකරන දේවල්වලින් මේ ආයතනය පටන් ගත්තේ?

කටාන අප්සයිකල් තමයි මේ ආයතනයේ නම. අප්සයිකල් කියන්නේ මිනිස්සු ඉවතදාන හැමදේකින්ම යම් යම් නිර්මාණ කරලා ඵලදායි විදිහට නැවත සමාජගත කිරීමක් තමයි අපි කරන්නේ. ඒකේදි අපේ අරමුණ තමයි ඉවතදාන හැමදෙයක්ම ඉවත්කරන්න ඕනෙ නැහැ නැවත එක ප්‍රතිනිර්මාණය කරලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක. ලංකාව කියන්නේ කුණු කඳු ගහන රටක්නේ. කුණු කන්දක් නිසා මිනිස්සු මැරිච්ච රටක්. ඉතින් ඉවත දාන ඒ හැම දේකින්ම බලන්නේ ප්‍රයෝජනවත් යම් යම් නිර්මාණ හදන්න.

මේ ඉවතලන පොලිතීන් වගේ දේවල් හොයා ගන්නේ කොහෙන් ද?

අපේ අමුද්‍රව්‍ය වෙන්නේ ගෙදර නිතර දෙවේලේ භාවිත කරන පොලිතීන්. අපිව දන්න ආයතනය, පුද්ගලයෝ ලංකාව පුරාම විසිරිලා ඉන්නවා. ඉතින් බොහෝ අය එයාලා පාවිච්චි කරන පිටිකිරි පැකට්වල කොළ, අයිස් ක්‍රීම් කොළ, බිස්කට් කොළ අපිට එවනවා. එයාලා ඒවා එවන්්නේ හොඳට පිරිසුදු කරලා ලස්සනට පැක් කරලා. ගොඩක් අය අපේ ලිපිනයට තැපැල් කරලා එවනවා. මේ ගමේ ඉන්න පොඩි දරුවෝ පවා මේ වැඩේට අපිට උදව් කරනවා. හැබැයි කුණු ගොඩක තිබුණ දෙයක් මට ආයේ ප්‍රයෝජනයට ගන්න බැහැ. මොකද අපි හදන්නේ මිනිස්සු අතේ් තියාගෙන යන, නැත්තම් පපුවට තුරුලු කරගෙන යන පොත්, ෆයිල්. එතකොට අපිට බැහැ ඒවා කුණුගොඩකින් හදන්න.

මේ විදිහට වීසි කරන දේකින් අලුත් නිර්මාණය සකස් කරන විදිහත් කියමු නේද?

මුලින්ම කරන්නේ මේ අමුද්‍රව්‍ය කුඩු කරන එක. මැෂින්වලින් තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට ඒවා බොහොම පුංචි කුඩා කැබලි බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ කුඩුවලින් අපි ෂීට් හදනවා. ඒ ෂීට් ලස්සනට කපලා පොත් ෆයිල් කවර හදන්න පුළුවන්.

ඔබේ මේ නිර්මාණවලට පවතින වෙළෙඳපොළ තත්ත්වය ගැන කතා කළොත්?

ලංකාවේ ලොකු වෙළෙඳපොළක් තවම මේ වෙනුවෙන් නිර්මාණය වෙලා නැහැ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේකට ලොකු වෙ‍ෙළඳපොළක් නැති වුණත් කොළඹ 7ට ගියොත් එහෙ හොඳ වෙළෙඳපොළක් තියෙනවා. එතකොට යුරෝපීය ජාතිකයන් තුළත් මේ නිර්මාණයට හොඳ ඉල්ලුමක් තියෙනවා.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ටොෆි චොක්ලට්වලින් පොත් ෆයිල් කවර විතරයිනේ නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඊට වඩා වෙන දෙයකට යන්න බැරිද කියලත් හිතෙන්නේ පුළුවන්නේ..

ඇත්තටම අපි මේ පෙන්නලා තියෙන්නේ පොඩි සාම්පල් ටිකක් විතරයි. අපිට මේ අමුද්‍රව්‍යවලින්ම හදන්න පුළුවන් මීට වඩා ලොකු ෂීට්. එහෙම නැත්නම් ලොකු ලෑල්ලක්. මේ ලෑල්ල යොදාගන්න පුළුවන් ගෘහ භාණ්ඩ නිර්මාණකරණයට. තව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලටත් යොදාගන්න පුළුවන්. මොකද මේ බෝඩ් වතුරට ඔරොත්තු දෙනවා. ඒ වගේම ගුල්ලෝ ගහන්නේ නැහැ. එතකොට ඕනෙම හීට් එකකට ඔරොත්තු දෙනවා. ඉතින් මේක අවුරුදු ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. මේකේ ති‍ෙයන ලොකු ශක්තිය අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. පාටිෂන් බෝඩ් පවා මේකෙන් හදන්න පුළුවන්.

මේ වැඩේ නිසා පොඩි මුදලක් හරි හම්බ කරගන්න තවත් පිරිසකුත් ඉන්නවා..

සමහර ළමයි ෆෝන්වලට ඩේටා කාඩ් දාගන්න සල්ලි ඉල්ලලා අම්මලට කරදරකරලා ඒ සල්ලිවලින් අන්තර්ජාලයේ වැඩකට නැති දේවල් බලලා කාලය නාස්ති කරද්දි.. තවත් ළමයි පිරිසක් අපිට බෝතල් මූඩී සීයක් දෙසීයක්, ටොෆි කොළ ටිකක් ගෙනල්ලා දීලා අපෙන් පොත් අරගෙන යනවා. අපෙන් පොත් ගන්න ඕනෙ වුණාම ඒ ළමයි කරන්නේ අපිට ඒ අමුද්‍රව්‍ය ගෙනත් දෙන එක. ඒක අපිට හරි වටින දෙයක්. ඒ දෙයින් පුංචි කාලේ ඉඳලම අපේ අවට වටපිටාව, පරිසරය පිරිසුදුවට තියාගන්න ඕනේ කියන ආකල්පයත් එයාලා තුළ ගොඩනැඟෙනවා.

නේෂාගේ මේ කතාබහට ඇගේ පියා වචන කිහිපයක් එකතු කළේ මේ විදිහට...

මේක බොහොම පොඩි තැනකින් පටන් ගත්තු ව්‍යාපාරයක්. මම මේක පටන් ගත්තේ 2006 අවුරුද්දේ. මම මුලින් හිටියේ රීසයිකල් කරන කෙනෙක් විදිහට. ඒ කියන්නේ මම ඉවත්කරපු පොලිතීන් අරගෙන ඒවා පිරිසුදු කරලා ව්‍යාපාරවලට අවශ්‍යවන විදිහට ඒවා සකස් කරලා දීලා මුදල් ලබා ගත්ත පුද්ගලයෙක්. ඊට පස්සේ මම ක්‍රමානුකූලව මැෂින් අරගෙන මගේම ව්‍යාපාරයක් පටන් අරගෙන අද යම් තැනකට ඇවිත් ඉන්නවා. පටන් ගද්දී මට කවුරුත් අතහිත දුන්නේ නැති වුණත් අද වෙද්දී රාජ්‍ය මට්ටමෙන් නැතත් පෞද්ගලික මට්ටමෙන් අතහිත දෙන්න බොහෝ ආයතන ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්. අද මගේ දුව නේෂා වගේම පවුලේ අනිත් අයත් එකතු වෙලා මේ ව්‍යාපාරය කරගෙන යන්න උදව් කරනවා. දවසක මේ ව්‍යාපාරය නිසා කුණු නැති රටක් ගොඩනැඟේවී.