හැඩකාර ඩෙන්ඩ්‍රෝබියම් දඟකාර වැන්ඩා

හරියටම ඕකිඩ් මෙහෙම වවමු
දෙසැම්බර් 16, 2024

ආඩම්බරකාර උඩවැඩියා කුමාරියන් ගෙවත්තට රැගෙන එන්නේ පුදුමාකාර කලඑළියක්. ඒ විතරක් ද . . . . කැපුම් මලක් විදිහටත් මේ උඩවැඩියා කුමාරියන් හොඳ ආදායමක් ලබා දෙනවා. හැබැයි බඳුන්ගත වගාවට සුදුසු උඩවැඩියා වාගේම කැපුම් මල් ලෙසින් ව්‍යාපාරයට ගැළපෙන උඩවැඩියා වර්ග අපි හරියටම හඳුනා ගත යුතු වෙනවා. ඒ හින්දා අද අපි විවිධ වර්ණයෙන් මෙන්ම හැඩයන්ගෙන් සමන්විත උඩවැඩියා ප්‍රභේද කිහිපය අතරින් ඩෙන්ඩ්‍රෝබියම් සහ වැන්ඩා ප්‍රභේද හඳුනා ගනිමු.

වැන්ඩා

වැන්ඩා යනු අලුත් අඛණ්ඩ වර්ධනයක් සහිත, ඒකපාදී වර්ධනයක් ඇති ඕකිඩ් වර්ගයකි. පත්‍රවල හැඩය අනුව මේ වැන්ඩා ප්‍රධාන වර්ග තුනකට වෙන් කළ හැකියි.

පටි ආකාරයේ පත්‍ර සහිත වැන්ඩා

මේ වැන්ඩා ප්‍රභේදයේ පත්‍ර පටි ආකාරයට දැකිය හැකියි. තරමක් විශාල මේ මල්වල අලංකාර රටාවන් දකින්නට ලැබීමත් විශේෂත්වයකි. මේ මල්වල කල් පැවැත්ම වැඩි සේම වාර්ෂිකව හට ගන්නා මල් ප්‍රමාණය අඩුය. බඳුන්ගත පැළෑටියක් ලෙසින් ගෙවත්ත හැඩ කරන්නටත්, කැපූ මල් ලෙසින් ව්‍යාපාරික වගාවටත් දෙකටම සුදුසුය.

නාලාකාර වැන්ඩා

නාලාකාර මේ වැන්ඩා පත්‍ර මාංසලමය බවින් යුක්තය. මනා සූර්යාලෝකය යටතේ අපූරුවට වැඩේ. ගෙවතු අලංකරණයට මිස කැපුම් මලක් ලෙස එතරම් ජනප්‍රිය නොවේ.

අර්ධ නාලාකාර වැන්ඩා

පටි ආකාර වැන්ඩා සහ නාලාකාර වැන්ඩා යන ප්‍රභේද දෙකෙහි දෙමුහුමක් ලෙස මේ අර්ධ නාලාකාර වැන්ඩා ප්‍රභේදය බිහිව ඇත. ඉහත සඳහන් ප්‍රභේද දෙකෙහිම අතරමැදි ලක්ෂණ පෙන්වයි. පීලි හැඩයේ නැමුණු පත්‍ර සහිත මේ ප්‍රභේදය පූර්ණ සූර්යාලෝකයට හුරුකර එළිමහනේ වගා කළ හැකියි. මල්වල විකසිත කාලය වැඩි අතර කැපුම් මල් සේම බඳුන්ගත පැළ සඳහා ද යෝග්‍ය වේ.

අතරමැදි දර්ශය

පැලනොප්සිස් සහ කේන් දර්ශයන්හි දෙමුහුමෙන් ලබාගන්නා මේ අතරමැදි ප්‍රභේදයෙහි එම ආකාර දෙකෙහිම අතරමැදි ලක්ෂණ පෙන්වයි. කැපුම් මල් සඳහා වඩාත් සුදුසුය.

ඩෙන්ඩ්‍රෝබියම්

ශ්‍රී ලංකාවේ කැපූ මල් ලෙස උඩවැඩියාව වගා කරන්නෙකුට ආර්ථිකමය අතින් වඩාත් වාසිදායක වන්නේ ඩෙන්ඩ්‍රෝබියම් ප්‍රභේදය වගා කිරීමයි. මේවා බහුපාදි වර්ධන විලාසයකින් යුත් අපිශාක වේ. දිගු ව්‍යාජ බල්බ සහිතය. ඒවා රෛසෝම මත එකිනෙකට ළඟින් ඇහිරී ඇත.

මේ ඩෙන්ඩ්‍රෝබියම්, කැපූ මල් ලෙස වඩාත් වැදගත් වන්නේ එහි වේගවත් වර්ධනය නිසයි. එමෙන්ම විවිධ වර්ණවලින් යුතු දිගු පුෂ්ප මංජරී පැවතීමත්, දීර්ඝ කාලයක් තබා ගැනීමේ හැකියාවත්, කැපූ මලක් ලෙස වාසිදායකය. මේ මලෙහි හැඩය සහ රෝපණ ක්‍රියාවලිය පදනම් කරගෙන ආකාර තුනකට වර්ග කළ හැකියි.

පැලනොප්සිස් දර්ශය

පැලනොප්සිස් මල් විශාලය. රවුම්ය. දළ පත්‍ර හා මනිපත්‍ර එකිනෙක මත පතිත වී මල් සලබයකුගේ හැඩය ගනී. ආකර්ෂණීය පෙනුමක් වාගේම විකසිතව වැඩි කාලයක් පවතින නිසා මේ පැලනොප්සිස්, කැපුම් මල් සඳහා වඩාත් උචිතය.

කේන් දර්ශය

මේ කේන් දර්ශයේ මල්වල දළ පත්‍ර හා මනිපත්‍ර ඇඹරීම නිසා මකුළුවකුගේ හැඩයක් ගනියි. දිගු මල් කිනිති සහිතය. කැපුම් මල් සඳහා එතරම් සුදුසු නොවේ.

 

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ. එල්. අඹගස්පිටිය

 

[email protected]