වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අනවශ්‍ය සිතුවිලි නතර කරන්න
ජීවිතේ:
අති සාර්ථක වුවත් හිතේ දුකින් නම් පලක් නැත.
මිනිසකු වපුරන දේ නෙළා ගනී.
යමෙක් තාරකා නිර්මාණය කරන විට අන් අය ඊට ආකර්ෂණය වනු ඇත.
සුද්ධෝදන රජතුමාගේ කපිලවස්තුව ද දැන් නැත. එහෙත් එතුමාගේ පුත්‍රයා තැනූ රාජ්‍ය තවදුරටත් පවතිනු ඇත.
සියල්ල වෙනස් වේ. වෙනස් නො වන බව පැවසූ පරමාණුව ද ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වශයෙන් විභේදනය වේ.
මාධ්‍ය ගමන් කළ යුත්තේ ජනතා අපේක්ෂාවන් සමඟය.
අප ළිහිල්ව සිටින විට සුන්දර අදහස් හිතට ඒ.
අන් අයගේ සාර්ථකත්වය ඉවසීමෙන් තොරව අපට යහපත් මිනිසෙක් විය නො හැකියි.
අනුන්ගේ යහගුණ පමණක් කතා කළ හැකිනම් ඔබ යහපත් මිනිසෙකි.
හිත මහණ කරගනිමු.
පෞරුෂත්වය ප්‍රදර්ශනය වන්නේ කතාවෙනි.
සාර්ථක මුදුන්පත් කර ගැනීම්වල මූලය සිතුවිලි ය.
සතුට රඳා ඇත්තේ අනාගතයේ මිස අතීතයේ නොවේ.
බැඳීම් නැති තැන රිදීම් නොමැත.
සෙත් කවි කියූ මිනිසුන්ම වස් කවිත් කියාවි.
පුද්ගලයෝ මරණයට හැර අන් සියල්ලටම ඊර්ෂ්‍යා කරති. මළවුන් නිවැරැදි බව පැරැන්නා කීව ද අද මල ගිය ඇත්තන්ව ද විවේචනය කරති.
ඇතැම් සමුගැනීම් ද මනහර බව හිරු බැස යාම අපට පෙන්වයි.
සැබෑ බුද්ධිමතකුගේ සමුගැනීම පුස්තකාලයක් ගිනිතැබීමක් වැනිය.
වචනයකට හිතක් වෙනස් කළ හැකියි.
පොතකට ලොවක් වෙනස් කළ හැකියි.
අරමුණු හැඩගස්වන්න
සාමාන්‍ය මිනිසකුගේ සිත තුළ දිනකට සිතුවිලි හැට දාහත් හැත්තෑ දාහත් අතර ප්‍රමාණයක් සංචරනය වනබවට පර්යේෂකයන් විසින් හොයාගෙන තිෙබනවා. යම් යම් පුද්ගලයන්ගේ කාර්යබහුලත්වය අනුව සිතුවිලි අඩු වැඩි වෙන්න පුළුවන්.
ඒත් මේ සිතුවිලිවලින් 95%ක් සුපුරුදු පරිදි හැමදාම හිතෙන දේ. ඉතින් ඉතිරි 5% තමා අලුත් සිතුවිලි. සිතුවිලි වෙනස් කර ගත් විට දාම ක්‍රියාවලියක් සිදු වෙනවා. සිතුවිලි වෙනස මඟින් ආකල්ප වෙනස් වෙනවා. ආකල්ප වෙනස් වූ විට හැසිරීම වෙනස් වෙනවා. හැසිරීම වෙනස් වෙද්දී කාර්යක්ෂම බව වෙනස් වෙන අතර කාර්යක්ෂම බව වෙනස් කර ගැනීමෙන් මුළු ජීවිතයම වෙනස් කරගත හැකියි.
අපායයි සුරලොවයි
වරක් ඉංග්‍රීසි කිවිවර ජෝන් මිල්ටන් පැවසූ පරිද්දෙන් තම සිතුවිලි මඟින් අපායේ සුරලොවත්, සුරලොව තුළ අපායත් සකස් කරගත හැකියි. ඇත්තටම සිතුවිලි අවම කිරීම අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට අත්‍යවශ්‍යම, වැදගත්ම සිතුවිල්ල හෝ කිහිපයක් අනවශ්‍ය සිතුවිලි රැසක් නිසා ක්‍රමයෙන් යටපත්වෙලා යන නිසයි. ඒක කිසිම කෙනෙක් සිතා මතා කරන දෙයක් නොවේ. ඒක තමයි මනසේ ස්වභාවය. සිත තුළට එක සිතුවිල්ලක් එන විට ඊට කලින් තිබුණු සිතුවිල්ල නො දැනිම යටපත් වෙනවා. ඉතින් ඒකට කරන්න ඕනේ අපේ හිතට එන අනවශ්‍ය සිතුවිලි නතරකරලා අපේ අරමුණු වෙනුවෙන් සිතුවිලි හැඩගස්වා ගෙන අරමුණ ජයගන්න මානසික ඒකග්‍රතාව පවත්වාගන්න වෙනවා.
ඕනෑකමින් අමතක කරන්න
හුඟාක් අයට අතීත අමිහිරි සිදුවීම් සිතුවිලි ලෙස හිතේ හොල්මන් කරනවා. ඕනෑම අමිහිරි සිදුවීමක් තත්පර 3 ක කාලයක් ගෙන දැඩි ඕනෑකමක් හිතට ගෙන අමතක කළ හැකියි. හොඳ සිතුවිලි සහ අරමුණුවලින් ලැබෙන යහපත් සංඛ්‍යාත තුළින් විශ්ව ශක්තිය නැවත ගන්න නම් අපේ සිතුවිලි අවම මට්ටමක තිබීම අනිවාර්යයි.
මං කොතැනින් ද පටන්ගන්නෙ? මොනවද කරන්න හොඳ? කියලා විවිධ දේවල් හිතෙනවා ඇති. ඔව් මොකද ඔබගේ අරමුණට ඔබ කොහොම හරි යන්නත් ඕනෙ. නමුත් සමහරකුට තේරෙන්නෙ නෑ කොහොම පටන්ගන්න ද මොනවා කරන්න ද කියලා. එවිට හිතට හරිම වෙහෙසකර බවක් දැනෙනවා ඇති නේද? කලබලකාරී බවක් දැනෙනවා ඇති. තවම අදහසක් එන්නැතුව ඇති. අන්න එතැන දී තමා කෙනකුට විවේක බුද්ධිය ඇවසි වෙන්නේ.
ඔව්, ඇත්තටම ඒ කලබලකාරී සිතුවිලි අස්සට අලුත් අදහස්, අලුත් සිතුවිලි විශ්වය විසින් ඔබට දෙන්නෙ නෑ. අපිට භාවනාව මඟින් සිතුවිලි පාලනය අනිවාර්යයෙන් කරන්න වෙනවා. මොකද විශ්ව ශක්තිය වැඩිපුරම ලබාගන්න නම් විශ්වය සමඟ යටි සිත සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය ශක්තිය, සංඛ්‍යාත, අපි විසින් ලබාගත යුතුයි. සිතුවිලි තරංග ඇල්පා, බීටා, තීටා, ගැමා වශයෙන් දෝලනය වෙනවා.
නිශ්චල මනසක් ඇතිකර ගැනීමට.....
මනස අරමුණුගත කිරීම කළ යුතුයි. ධනාත්මක, සුබවාදී යහපත් පුද්ගලයකු වීම වෙනුවෙන් යටි සිත බලගැන්වීම හා ප්‍රායෝගික අභ්‍යාස, කරන ආකාරය පිළිබඳ චිත්ත රූප සහ ඒ සඳහා වූ ප්‍රායෝගික පුහුණුව ලබාගත යුතුයි. ඒවගේම සිහින නිෂ්චිත ඉලක්ක බවට පත් කිරීම යනාදී දේ සඳහා අපගේ යටි සිත පුහුණු කළ යුතුයි.
සිත ක්‍රියාකිරීමට අරමුණක් පැවතිය යුතුය. එම අරමුණ යහපත් වන විට සිතිවිලිවල වේගය අවම මට්ටමක රඳා සිටින අතර එය සැහැල්ලු හා සුවදායී වේ. එසේම සිතට අරමුණුවන දේ නරක හෝ අයහපත් වනවිට එය අරමුණු කරගෙන බිහිවන සිතිවිලි වේගවත් වන අතර එය මානසික ආතතිය හා පීඩනය ගෙනදීමට සමත් වේ.
සතුට රඳා පවතින්නේ මානසික සැනසීම මතය. මානසික සැනසීම රඳා පවතින්නේ කරුණාබර හදවතක් මතය.
මානසික වෙහෙස ඉවත් කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ උපදින සිතුවිලි එලෙසම ගලා යාමට ඉඩ දීමයි. මනසේ පැන නැගෙන සෑම සිතිවිල්ලක්ම සුබවාදී දැයි පරික්ෂාකාරී වන්න.
විනයගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව ඇති අනුපමේය ශක්තිය ප්‍රයෝජනයට ගන්න. සුබවාදී සිතිවිලි පමණක් පිහිටුවාගත හැකි ප්‍රභාස්වර සිතක් නිර්මාණය කරගන්න. වෙහෙස මහන්සිය යන පුරුද්ද සිඳ බිඳලන්න. එය අහකට විසි කරන්න. වෙහෙසකර හැඟීම් මතුවන විට ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවත් ශ්‍රේෂ්ඨ අරමුණක් හඹා යන බවත් සිතන්න. දිගු දුර ගමනක දෙවැනි වටයට ද පියවර තබන්න.
ඔබට අත්‍යන්තයෙන්ම උතුම් නිරෝගී දිනක් ප්‍රාර්ථනා කරමි. ඔබ වෙත කමණීය සුධීමත් ආත්මයක් පතමි. ඔබේ සිත ආනන්දයෙන් පිරෙත්වා! ඒ සිතම රන් මලක් ලෙස පිපේවා! ඒ සිතේ ප්‍රභාස්වර ආලෝකයෙන් ඔබ යනෙන මඟ සත් පියුමන් පිපේවා!
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් - අලෙවි පාලිත දිසානායක මහතාගෙන් ඔබේ දිවිමඟට පහන් වැටක්