"ලැබෙන එන්නත හොඳම එන්නත"යැයි සිතන්න

අගෝස්තු 18, 2021

උපාසක උපාසිකාවන්ට බොහෝ දෙනකුට අමතක වුණු ‍බුදු දහමේ ඉතා වැදගත් පිළිවෙතක් යළි කෝවිඩ් - 19 නිසා සිහිපත් කර ගැනීමට සිදුවෙලා. ඒ ලද දෙයින් සතුටු වීම.

විවිධවූ කෝවිඩ් එන්නත් ලැබෙමින් පවතිද්දී අපේ සමහරු තමන්ට වඩාත්ම හොඳයි කියා සිතන එන්නත ලැබෙන තුරු අවටින් ඕනෑතරම් පහසුවෙන් එන්නත ලබා ගැනීමට හැකියාව තිබියදී කිසිදු කෝවිඩ් එන්නතක් නො ගෙන සිටිනවා. මෙය කෙතරම් අනුවණ කමක්ද කියා වටහා ගැනීමට ඕනෑ තරම් සාක්ෂි තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පෙන්වා දෙන්නේ කුමන එන්නතින් වුවත් බොහෝ කොරෝනා ප්‍රභේදයන්ට ආරක්ෂාවක් සලසා ගත හැකි බවයි.

ලංකාවේ කෝවිඩ් මරණ 4508 ක් වාර්තා වෙද්දී මිය ගිය 4459 ක් දෙනා ( සියයට 99 ක්ම )කිසිදු එන්නතක් ලබාගෙන නැහැ. මරණ 40 ක් ( 0.8%ක්) එක් මාත්‍රාවක් පමණක් ලැබූ අයයි. එන්නත් දෙකම ලබා ගෙන මිය ගොස් ඇත්තේ නව දෙනයි. ( 0.2% ) ඔවුන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, හෘදයාබාධ වැනි බෝ නො වන රෝගවලින් පීඩා විඳින අයයි. අගෝස්තු 10 වැනිදා වන විට සිදුවූ මරණ 5222 අතරින් 5022 ක්ම කිසිදු එන්නතක් ලබා ගෙන නැහැ. ඉතිරි 200 න් 177 ක් ලබා ගෙන තිබුණේ එක් එන්නත් මාත්‍රාවක් පමණයි. අනෙක් විසි තුන් දෙනා එන්නත් දෙකම ලබා තිබුණත් බෝ නො වන රෝගවලින් පීඩා විඳ තිබෙනවා. එන්නත්කරණය හා කෝවිඩ් අතර ඇත්තේ කෙබඳු සබඳතාවක්ද? එය පැහැදිළිකර ගැනීමට මීට වඩා තවත් සාක්ෂි අවශ්‍යද?

එක් එන්නතක් ලබාගත් පමණින් අපට කෝවිඩ්වලින් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. දෙවැනි එන්නත ලබා ගෙනත් සති දෙකක්වත් යනතුරුත් තත්ත්වය එයමයි. එන්නත් දෙකම ලබා ගත්තා කියා කෙනකුට කෝවිඩ් මර්දන සටනෙන් නිදහස් වෙන්න බැහැ. ඒ එන්නත ගත් පුද්ගලයාගෙන් අනෙක් අයට ඇති අවදානම නැති නො වන බැවින්. එන්නත ගත නො හැක්කේ ඉතාමත්ම සීමිත පිරිසකට පමණයි. ඒ එන්නතෙහි අඩංගු ද්‍රව්‍යයන්ට උගු ලෙස අසාත්මික අයට පමණයි. තමන්ගේම ප්‍රතිදේහ තමන්ගේම සිරුරට පහර දෙන ( an autoimmune disease )තත්ත්වයක් ඇත්නම් එවන් අයත් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

එන්නත නො ගෙනත් කෝවිඩ්වලින් සුවයක් ලැබුණ ද එන්නත් ගත් අයට වඩා එන්නත් නො ගත් අය නැවත රෝගී වීමේ ඉඩ දෙගුණයකින් වැඩියි. දින 14ක් ඇඳ විවේකයක් ලබා ගැනීමත්, දියර මිලි ලීටර් 2500ක් පමණ ගැනීමත් කෝවිඩ් වැලඳුනොත් සහනයක් ලබාගත හැකි ප්‍රධාන මාර්ග. උණට ගත යුත්තේ පැරසිටමෝල් පමණයි. වේදනානාශක හෝ වෙනත් උණ මඬින ඔසු ගැනීම සුදුසු නැහැ.

 

එප්සිලොන් ප්‍රභේදයත් ( කැලිෆෝනියා ප්‍රභේදයත් ) ආසියාවට ඇවිල්ලා

 

එකොළොස් වැනි කෝවිඩ් ප්‍රභේදය එප්සිලොන් දැන් පාකිස්ථානය ආක්‍රමණය කරමින් සිටිනවා. එන්නත් දෙකම ගෙන සති දෙකකින් අනිත් වෛරස් ප්‍රභේද මට්ටු කිරීමට හැකි වුණත් එප්සිලොන් නම් එසේ මට්ටු කිරීමට බැහැ. දකුණු කැලිෆෝනියාවෙන් සොයාගත් මේ ප්‍රභේදය අමෙරිකාවේ කෝවිඩ් වැලඳුණු ජනගහනයෙන් 15%කටම බලපා තිබෙනවා. අඩු වශයෙන් රටවල් 34 කවත් මේ ප්‍රභේදය පැතිරිලා ගිහින්. වොෂිංටන් සරසවි අධ්‍යයනයන්ට අනුව රසායනාගාර මඟින් නිපදවන ලද ප්‍රතිදේහවලින් එප්සිලොන් බේරි පලා යනවා. මේ ප්‍රභේදය එන්නත් මඟින්වත් මට්ටු කළ නො හැකි බව සිතන්නේ ඒ නිසයි. අනෙක් ප්‍රභේදවලට වඩා මෙහි පැතිරීම සියයට විස්සකින් වැඩියි. එප්සිලොන් ලෝකයාට කියන්නේ කෝවිඩ්වලින් ගැලවීමක් නම් නැති බවයි. මෙතරම් දරුණු තත්ත්වයක් තිබියදී සෞඛ්‍ය නීති පිළි නො පැදීම කෙතරම් අනුවණකමක්ද?

 

ඩෙල්ටාවලට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් පිළියමක්

ඩෙල්ටා ලෝකයටම තර්ජනයක්වී ඇති දරුණු ලෙස පැතිරෙන නව කොරෝනා වෛරස් ප්‍රභේදයයි. දකුණු අප්‍රිකාවෙන් නම් ඩෙල්ටා ගැන සුබ ආරංචියක් ලැබී තිබෙනවා. ඒ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වෛරසය ලබා ගත් සෞඛ්‍ය සේවකයන් සියයට හැත්තෑ එකකටම එන්නත ගත් නිසා රෝහල්ගත වීමට සිදුවී නැති බවයි. මරණයට පත් වීම ද සියයට හැත්තෑහයකින් වැළකී තිබෙනවා.

 

අන්තර්ජාලයෙනි

 

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නලින් කිතුල්වත්ත

 

දරුවන් පහසුවෙන් රෝගී වෙන පිරිසක් වුණත් කෝවිඩ් - 19 ඇතිවූ අලුත නම් වාර්තා වුණේ දරුවන්ට වෛරසයෙන් එතරම් තර්ජනයක් නැති බවයි. එහෙත් දැන් නම් දරුවන්ටත් වෛරසයෙන් ගැලවීමක් නැහැ. නව කොරෝනා වෛරසය නිසා දරුවන් ශරීර පද්ධති ගණනාවක් ප්‍රදාහයට පත් කරන ( Multisystem inflammatory syndrome in children /MIS-C))රෝගී තත්ත්වයකට ගොදුරු වෙලා. අපේ රටේ දරුවන් අතරත් මේ රෝග තත්ත්වය දක්නට ලැබෙනවා. කෝවිඩ් සෑදී සති දෙකක් ,හයක් අතර කාලේ රෝගය වැලඳෙන්න පුළුවන්. සමහර විට රෝගය සෑදුණු බව දරුවන්වත් දරුවන්ගේ අම්මලා තාත්තලාවත් දන්නේ නැහැ.

වයස අවුරුදු අටත් පහළොවත් අතර දරුවන් සුලබයි. උණ, දැඩි ඇඟපත වේදනාව, උදර වේදනාව, වමනය, පාචනය වගේ දරුවන් අතර සුලබ රෝග ලකුණු මෙහිදී ඇති වෙනවා. ඇස් රතු වීම, සමේ පලු ඇති වීම වැනි ලකුණුත් ඇති වෙනවා. භයානකම දේ රෝගය හදවතට බලපාලා රුධිර පීඩනය අඩු වීමයි. ඇතැම් විට රෝගය නිසා දරුවා මියයාමට පවා ඉඩ තිබෙනවා. මුලින්ම 2020 අප්‍රේල් මාසයේ එංගලන්තයෙන් වාර්තා වුණු MIS-C 2021 දී ලංකාවෙන් වාර්තාවීමට පටන් අරන්. දරුවන්ට උණ, පාචනය, බඩේ කැක්කුම වගේ රෝග ලකුණු ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර පතන්න. ප්‍රතිකාර පමා කළොත් දරුවාගේ ජීවිතය අනතුරේ.