දිගු කාලීනව නිදිවැරීම රෝග රැසකට හේතුවක්

සරල දිවි පෙවෙතෙන් නිරෝගී දිවියක්
ජනවාරි 31, 2022

මේ අන් කවරදාටත් වඩා නිරෝගී බවේ අගය වැඩියෙන් දැනෙන කාලයක්. ලොවම ගිලන් වී ඇති මොහොතක නිරෝගීව සිටිය හැකි නම් එය ඔබ ලබන ලොකුම වාසියයි. තමාගේ රැකියාව, ව්‍යාපාරය නිසි ලෙස කිරීමට, පවුලේ සාමාජිකයන් සමඟ සුහදශීලිව කාලය ගත කිරීමට, මුදල් ඉතිරිකර ගැනීමට, වෛද්‍යවරුන් සොයා රෝහල්වල ගත කරන කාලය ඉතිරි කර ගැනීමට, රෝ බියකින් තොරව ජීවිතය විඳීමට නිරෝගී බව වැදගත් ය.

නිරෝගීව සිටීමට නම් අපට ඒ වෙනුවෙන් යම් කැප කිරීමක් කිරීමට සිදුවේ. එසේ කැප කිරීමට සිදු වන්නේ අප මෙතෙක් කලක් සිදු කළ වැරැදි හුරු පුරුදුය.

ඒ කැප කිරීම ඔබට ලබා දෙන්නේ දීර්ඝකාලීන ලාභයක් මිස, අලාභයක් නොවේ.

ඒ වෙනුවෙන් ඔබ ආහාර ගත යුතු කාලය ලබාගත යුතු ආකාරය පිළිබඳ අප පසුගිය සතියේ ඉදිරිපත් කළා මතක ඇති.

නිරෝගී සුවපත් දිවියක් ලබා ගැනීමට කළ යුතු අනෙකුත් දේ පිළිබඳ අද ලිපියෙන් ඔබට දැනගත හැකියි.

 

රාත්‍රි 10ට පෙර නිදාගන්න

 

අපේ සිරුරේ ජීව ඔරලෝසුව ලෙසින් යම් ක්‍රියාවලියක් සිදු වන බව ඔබ දන්නවාද? දෛනික පරිසරයේ ස්වභාව අනුව අපේ සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වේ.

සැබෑම කරුණ වන්නේ පරිසරය ඇඳිරි වැටීගෙන එන විට අපේ සිරුර අභ්‍යන්තරයෙන් නින්දට අවශ්‍ය හෝමෝන නිකුත් කිරීමයි.

එසේ වන්නේ දඩයම් යුගයේ සිටි ඒ අතීත මිනිසාට අනතුරු සිදු විය හැකි නිසයි. එවිට ඔහු ආරක්ෂිතව රැඳී සිටිය යුතු වුණා.

එමෙන්ම අපේ සිරුරුවල අලුත්වැඩියා කටයුතු සිදු වන්නේ ද රාත්‍රී කාලයේ දී ය. අප නින්දට ගිය ද සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ක්‍රියාකාරිව පවතිනවා.

අක්මාව මඟින් සිරුරට එකතු වූ විස හරණය කිරීමේ කටයුත්ත අරඹන්නේ ද රාත්‍රී කාලයේදීයි. මේ නිසා අපි රාත්‍රියේ දී දිගින් දිගටම අවදිව සිටියොත් එම පිරිපහදු කටයුත්තට ද දිගින් දිගට ම බාධා වීම් සිදුවීම නිසා අප රෝගි වේ.

එම නිසා පිරිපහදු කටයුතු සඳහා සිරුරට ඉඩ දී අප නිදාගත යුතු වේ. රාත්‍රියේ නිදිවැරීම දීර්ඝකාලීනව සිදුවීම පමණක් වුවත් පුද්ගලයකු රෝගී කිරීමට හේතු වෙයි.

 

ව්‍යායාම

 

ඉන්සියුලින් ප්‍රතිරෝධය සිරුර තුළ ක්‍රියාත්මක වී අප බෝ නොවන රෝගවලට ලක්වූයේ ව්‍යායාම අඩුවීම නිසා නොවේ. එය අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් වේලාවක් අවේලාවක් නැතිව කෑමේ ඵලවිපාකයයි.

ඉතින් ඒ ප්‍රතිරෝධය ආපසු හැරවීමට නම් පිෂ්ටය අඩු ආහාර කෑම වේලට එක්කර ගන්න.

මේ වන්නකු ක්‍රමවේදයේ එක් පියවරක් ලෙස ව්‍යායාම ද එකතු කර තිබෙනවා. මාංසපේශී නියමාකාරයෙන් වැඩීමට, ක්‍රියාශීලී වීමට, පෙනහලු හා හෘදය නියමාකාරයෙන් ක්‍රියාශීලීව තැබීමට, ජීවිතයට ප්‍රබෝධයක් නව ජීවයක් එක් කිරීමේ අරමුණින් ව්‍යායාම මේ ක්‍රමවේදයට එකතුකර තිබෙනවා.

ව්‍යායාමවල නිරතවීමෙන් මානසික ප්‍රබෝධයක් ඇති කරන අතර එය අපේ ජීවිතයන්හි පැවැත්මට අවැසි ය.

වන්නකු ක්‍රමයෙන් අප ඔබට හඳුන්වා දෙන්නේ ජීවන ක්‍රමයක්. ඒ තුළ ස්ථාවරව රැඳී සිටීමට නම් හොඳ මානසික එකඟතාවක් අවශ්‍යයි.

මානසිකව නොසන්සුන් වුවහොත් එයින් මිදීමට අප එක්වරම යොමු වන්නේ කුමනාකාරයේ හෝ දෙයක් කෑමට හෝ තේ, පැණි බීම, මත්පැන් වැනි දෙයක් බීමටයි.

එම නිසා කෑම හා එය කන වේලාව නිවැරැදිව හසුරුවා ගැනීමට නම් මානසික එකඟතාවත් ඉතාමත් වැදගත් වේ. සත්‍ය වශයෙන් බැලුවහොත් අප සිදු කරන්නේ අත් හැරීමකි.

එමෙන්ම උපවාසය හා භාවනාව එක් වූ විට මනසේ ක්‍රියාකාරීත්වය උසස් මට්ටමකට පැමිණේ.

බුදුරජාණන් වහන්සේ පවා භික්ෂූන්ට භාවනාව හා උපවාසය ක්‍රියාත්මක කරන ලෙස පැවසුවේ එබැවිනි. නිරවුල්, පැහැදිලි මනසක් ඇති විට තමා කරන දේ පිළිබඳ අවබෝධයකින් වැඩ කිරීමට පුළුවන්.

කේන්තිය, ඊර්ෂ්‍යාව, දුක, කලකිරීම ආදී බොහෝ මනෝභාවයන් කෙමෙන් කෙමෙන් සිතෙන් දුරස්ථ කිරීමට භාවනා කිරීමෙන් හැකියාව ලැබෙනවා.

මේ නිසා එදිනෙදා සියලු කාර්යයන් නිරවුල් මනසකින් නිසියාකාරව කිරීමට හැකි වෙනවා.

මේ නිසා මානසික පිඩාවන් හෝ මානසික පීඩනයන් (Mentaly Stress) ඇති නොවන තරම්.

අනිසි කලබලයකින් තොරව සැහැල්ලු මනසකින් යුතුව දිවි ගෙවන විට ඔබ රෝග පීඩාදියෙන් ආරක්ෂා වෙනවා.

ඇතැම් රෝගවලට ආහාරපාන, වැරැදි ඉරියව් හා පුරුදු මෙන්ම මානසික ආතතීන් හා මානසික පීඩාවන් ද හේතු වෙනවා.

මේ නිසා ගතේ නිරෝගී භාවය ලබා ගැනීමට මානසික නිරෝගී භාවය ද වැදගත්.

නිරෝගී මනසක් පවත්වාගෙන යෑම සඳහා දෛනිකව භාවනාවකට හුරුවීම ඉතාමත් යෝග්‍ය දෙයක්.

මේ ආකාරයෙන් අපේ දිවි පෙවෙත වෙනස්කර ගැනීමෙන් නිරෝගී ජීවිතයකට උරුමකම් කියන්න ඔබටත් පුළුවන්. මෙය අසීරු කටයුත්තකැයි ඔබට සිතුණත් මේ ක්‍රියාවලියට අනුගත වීමෙන් එය කොතරම් පහසු දෙයක්දැයි ඔබට වැටහේවි.

 

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු