කාන්තා යට ඇඳුම් දැක්කාම පිරිමින්ට හැදෙන ලෙඩේ

ජනවාරි 31, 2022

එක් එක් මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන පුද්ගලයන් සමාජයේ අප අතරම ගැවසෙන බව නොරහසකි. මේ දිනවල තිරගතවන ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘ජංගි හොරා‘ චිත්‍රපටයෙන් අවධාරණය කරන්නෙත් මානසික ව්‍යාධියකින් පෙළෙන රෝගියකු පිළිබඳයි.

 

කාන්තා යට ඇඳුම් කෙරෙහි ඇතැම් පිරිමින් දක්වන්නේ ඉතාම ලොල් බවක්. එයත් එක්තරා ලෙසක මානසික ව්‍යාධියක්. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව අර්චනකාමය ලෙස හඳුන්වයි.

කාන්තා යට ඇඳුම්වලට ආසා කරන පිරිමින් පිළිබඳ ඔබ අසා තිබුණත් එය ‘අර්චනකාමය‘ බව දැන නොසිටියා විය හැකියි.

ඇත්තටම මොකක්ද මේ අර්චනකාමය. අපි විශේෂඥ මනෝ වෛද්‍යවරයාගෙන් ම අසා දැන ගනිමු.

 

ලිංගික අපවර්තන රෝගය යටතේ

අඩු වැඩි වශයෙන් අපේ සමාජයේ සිටින පිරිස් විවිධ ලිංගික රෝගවලින් පෙළෙන්න පුළුවනි. මේ ලිංගික රෝග බොහෝවිට ඇතිවන්නේ මානසික අසාමාන්‍යතා නිසායි. අර්චනකාමය අයත්වන්නේ ‘ලිංගික අපවර්තන‘ යන රෝග කාණ්ඩයටයි. මෙම රෝගයේදී ලිංගික ආශාව පිළිබඳ දිශානතිය වෙනස් වෙයි. ඒ අනුව එම උද්දීපනයන් සපුරාලීමට අවශ්‍ය ක්‍රම, අවස්ථාවන් සහ උපකරණ සාමාන්‍ය පුද්ගලයකුට වඩා වෙනස් වෙයි. සාමාන්‍ය පුද්ගලයෙක් බොහෝවිට කැමැත්තක් දක්වන්නේ විෂම ලිංගික පුද්ගලයකුගේ ඇසුර හෝ ස්පර්ශයයි. කලාතුරකින් කෙනෙක් සමලිංගික ඇසුරක් පවත්වයි. කෙසේ නමුත් ඔවුන් ආසා කරන්නේ ජීවි වස්තුවක් ස්පර්ශ කිරීමට හෝ ජීවී වස්තුවක ස්පර්ශය ලැබීමටයි.

පිරිමින් අතර

නමුත් අර්චනකාමය නම් රෝගයෙන් පෙළෙන අයගේ ලිංගික ආසාව ඇතිවන්නේ විරුද්ධ ලිංගිකයන් අඳින පලඳින, ඇසුරු කරන වස්තූන් වෙතටයි. මේ රෝගය වැඩිපුරම දක්නට ඇත්තේ පිරිමින් අතර වුවත් කලාතුරකින් කාන්තාවන් අතර ද දක්නට ලැබෙයි.

කාන්තාවන් අඳින පලඳින ඇඳුම්, විශේෂයෙන් ම යට ඇඳුම් කෙරෙහි මොවුන් වැඩි ආකර්ෂණයක් දක්වයි. ඊට අමතරව කාන්තාවන්ට සීමාවූ පාවහන්, හෑන්ඩ්බෑග්, බඳපටි, ඔරලෝසු.... මේ ආදී උපාංග කෙරෙහි ද ඇල්මක් ඇතිවීම කලාතුරකින් සිදුවේ. මේවා ස්පර්ශ කිරීම තුළින් මොවුන් ලිංගික සතුටක් ලබයි. ඇතැමුන් කාන්තා යට ඇඳුම් ආදිය දැකීමෙන් පවා සතුටක් ලබයි. තවත් සමහරුන් ඒවා ඇඳීමෙන් සතුටක් එක්කර ගනියි. එවිට ඔවුන් ස්වයං වින්දනය ඔස්සේ සතුටක් ලබයි. තවත් පිරිස් මෙවැනි දේ සිතින් මවාගෙන සතුටක් ලබයි.

බොහෝවිට අර්චනකාමයෙන් පෙළෙන පිරිස් ලිංගික සතුටක් ලබන්නේ පරිහරණය කළ යට ඇඳුම් ස්පර්ශ කිරීමෙනි. මේ ඇඳුම් ඇඳ තිබේ නම්, ඒවාහි විවිධ ස්‍රාවයන් තැවරී ඇත්නම්, ඒවායින් ඊටම ආවේණික ගන්ධයන් පිටවේ නම් වඩාත් ආකර්ශණය වේවි.

මෙවැනි තත්ත්වයක් බොහෝවිට ප්‍රථම වතාවට සිදුවන්නේ අහම්බයෙන් වීමට පුළුවන. නව යොවුන් කාලයේ දී තම විරුද්ධ ලිංගිකයා අඳින පලඳින දෑ මොනවාදැයි පිළිබඳ කුතුහලයකින් ආරම්භ වූවක් විය හැකියි. පළමු අත්දැකිම ඕනෑම කෙනකුට පොදුවේ ඇති විය හැකියි. එසේ ඇතිකරගන්නා අත්දැකීම ඇතැමුන් දීර්ඝකාලීනව පවත්වා ගෙන යෑම මේ රෝගයට හේතුවකි.

එහිදී කාන්තා සිරුරක් ස්පර්ශ කොට සතුටක් ලැබීම එහෙම පිටින්ම මඟ හැරී යෑමට පුළුවන. මෙතැන් සිට එය රෝගයක් වේ.

 

යට ඇඳුම් Collection එකක්

කාන්තා යට ඇඳුම් කෙරෙහි අසීමිත ආසාවක් ඇතිකරගන්නා කෙනා එය එකතුවක් ලෙස (Collection) පවත්වා ගෙන යයි. නිවෙසේ අයගේ, අසල්වැසියන්ගේ... මේ ආදි ලෙස සොරකම් කිරීම දක්වාම දිවයයි. තමාගේ ආත්මාභිමානයට කැළලක් වේවි. සොරකම් වැනි චෝදනාවලට ලක්වේවි. පහරකෑමට, නීතියට හසුවේවි. අවධානමක් තිබුණත් පීඩනයකට ලක්වූවන්ට එය නවත්වා ගැනීමේ හැකියාවක් නොමැත. මොවුන් ස්ත්‍රී දූෂකයන් වේවි යැයි සිතිය නොහැකිය නමුත් මේ රෝගයත් සමඟ තවත් රෝග තත්ත්ව ඇතිවිය හැකියි. තවත් කෙනෙක් නානවා බලන්න, නිරුවතින් සිටිනවා බලන්න කැමැත්තක් දක්වන්නේ එවැනි අයයි. අනෙක් අයගේ ලිංගික අවයව දැකීමෙන් සතුටුවීමට මෙන්ම තමාගේ ලිංගික අවයව තවත් අයට පෙන්වීමෙන් සතුටක් ලබාවි. මෙය වෙනත් ලිංගික අපවර්තන රෝගයකි. ඒවා ඉහත කාන්තා යට ඇඳුම් කෙරෙහි දක්වන ඇල්ම සමඟ එකතුවුණ තවත් රෝගී අවස්ථායි.

අර්චනකාමය සඳහා ඕනෑම වයසක සිටින පිරිමියකු යොමුවිය හැකි නමුත් ඒ අතරිනුත් අවුරුදු 20 - 30 අතර පිරිස් අතර බහුල වේ. වයස් ගතවූ පසු මේ සඳහා යොමුවන්නේ නම් ඒ ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයක් නිසා විය හැකියි.

 

රෝගයට ගොදුරුවීමට නිශ්චිත හේතුවක්

අර්චනකාමය සඳහා යොමුවීමට බලපෑ හැකි නිශ්චිත හේතුවක් හඳුනාගෙන නැත. නමුත් ළමා කාලයේ ලිංගික අපයෝජනයන්ට භාජනය වීම නිසා වන අත්දැකීම් ඇසුරින්, පරම්පරාවෙන් පැවත එන මානසික රෝග ඇතුළු ජානමය බලපෑම් ආදිය හේතු විය හැකියි.

 

මුදවාගැනීම සඳහා

මේ සඳහා නිශ්චිත ප්‍රතිකාර තිබේ. පළමුව රෝගියා පරීක්ෂා කොට වෙනත් මානසික රෝග ඇත්දැයි සොයා බලයි. එසේ නොමැති නම් මෙම පුද්ගලයාගේ ලිංගික ආසාවේ දිශානතිය වෙනත් අන්දමකට යොමු කරවන්නට උත්සාහ කරයි. එහිදී ඇඳුම් පැලඳුම් නොව සජීවි ලිංගික ආසාවන් කෙරෙහි ඇල්මක් දක්වන පරිදි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම කරයි.

මෙම රෝග තත්ත්වය කාලයත් සමඟ ඇතැම් විට පහව යාවි. කෙසේ වෙතත් පවුලේ අයවලුන් ම මනෝවෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම කළ යුතුයි. එහිදී වෛද්‍යවරයා කාන්තා යට ඇඳුම් ඇතුළු අජීවි දෑ වෙනුවට සිත්ගත් අයකු (සහකාරියක්) සැබෑවටම ස්පර්ශ කිරීමට ඇති කැමැත්ත දක්වා අභ්‍යාස මාලාවක් කරයි.

විවාහවන වයසේ සිටින කෙනකු, විවාහවීමේ අපේක්ෂාවෙන් සිටින කෙනකු මේ රෝග තත්ත්වයෙන් පෙළේ නම් එය සුව කරගැනීම අතිශය වැදගත් වේ.

එහෙත් සමාජයේ සැලකිය යුතු ප්‍රතිශතයක් අර්චනකාමය නිසා පීඩා විඳියි. තමාටත්, අනුන්ටත් සමස්තයක් ලෙස සමාජයට ම බරක්වන බැවින් නව යොවුන් වයසේදිම ප්‍රතිකාර සඳහා යොමුවීම වටී.

 

 

 

 

උපදෙස් - මනෝ වෛද්‍ය විශේෂඥ

රූමී රූබන්