සුදු කළු තළෙලු අපි ඔක්කොම දැකුම්කලු

පෙබරවාරි 14, 2022

 

"සුදූ"

" හ්ම් මට ගොඩක් ආදරෙයි නේද? ඒකනේ සුදූ කිව්වේ"

" අපෝ කළු කෙල්ලන්ට මං කැමැති නැහැ. මං කැමැති ඔයා වගේ සුදු කෙල්ලන්ට "

" බැරි වෙලාවත් මං කළු වුණොත්... ඔයා මාව අත් අරිනවද ? '

අනංග නිරුත්තර වුණා. අනංගි මෝඩ කෙල්ලෙක් වගේ ඔහුට " මං ඔයා වෙනුවෙන් හැමදාම සුදුවෙලා ඉන්නවා " කිව්වේ නැහැ. ඔහු ආදරේ තමන්ට නොව සමේ සුදු පැහැයට බව අනංගි තේරුම් ගත්තා. ඒ ආදරයට සමු දුන්නේ ඒ වගේ පටු විදියට සිතන කෙනෙක් තමන්ට කොහෙත්ම නො ගැළපෙන නිසා. ඒත් අනංගි ගෙ දීප්තිමත් කාල වර්ණ සමක් හිමි යෙහෙළිය නම් ආදරවන්තයන් ගේ දිනයේදී පෙම්වතා හමු වෙන්න සුදු වෙලා ලස්සනට පේන්න මේ දවස්වල නො ගාන ආලේපයක් නෑ. අනංගිටත් වඩා යෙහෙළිය හැඩකාර බව ඇය හොඳින් ම දන්නවා. මිතුරියට මේ ගැන මොන තරම් තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් නැති තැන ඇය කල්‍යාණ මිතුරියක් විදියට සුදු වෙන්න දඟලන මිතුරිය චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරියක වෙත කැඳවා ගෙන ගියා.

වෛද්‍යවරිය තළෙලු සමක් හිමි රුවැත්තියක්. කළු, සුදු, තළෙලු මොන තරම් ලස්සන සුසංයෝගයක්ද ? අනංගිට හිතුණා. සක්‍රයා ගේ සුරූපී බිරිය ත‍ෙළලු බව බණකින් ඇය අසා තිබුණා. ලංකාවේ කාන්තාවන් වැඩි දෙනෙක් ත‍ෙළලු නිසා එයාලා සක්‍රයා ගේ අග බිසව් වගේම හැඩකාරියන් වෙන්නැති. 1970 ලෝක රූ රැජන වුණේ ග්‍රෙනාඩාවේ කළු ජාතික ජෙනිෆර් හොස්ටන්. නයිජීරියාවේ කළු ජාතික අග්බානි ඩරේගෝ ලෝක රූ රැජන වුණේ 2001දි. එහෙම තියෙද්දී උපතින් උරුම වුණු සමේ පැහැයෙන් සතුටු නොවී මුදලුත් නාස්තිකර ගෙන නැති ලෙඩත් හදා ගෙන දඟලන්නේ ඇයි ?

සම සුදු කරන ආලේපවලට ඇති ඉල්ලුම දවසින් දවස ඉහළ යනවා. සුදු වීමේ උමතුව වැඩි පුරම ඇත්තේ කාන්තාවන්ට. විවිධ නිෂ්පාදන ජනප්‍රිය නිළියන් යොදා ගනිමින් මාධ්‍ය මඟින් පෙන්වූවත් සැබෑවට ම ඒ නිළියන් ඒවා භාවිත කරන්නේත් නැතිව ඇති.

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරිය මේ ආලේපන ගැන අනංගිටත් මිතුරියටත් විස්තර කළා.

සම සුදු කරන නිෂ්පාදන බොහොමයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරලා නැහැ. මොකද ඒවායේ රසදිය, ආසනික්, ඊයම්, නිකල්, ක්‍රෝමියම් වගේ බැර ලෝහ අඩංගු නිසයි. හයිඩ්‍රොක්විනොන් වැනි බ්ලීචිං කාරක , ප්‍රබල ස්ටීරොයිඩ් සෞඛ්‍යයට ඇති කරන තර්ජන සුළුපටු නැහැ.

එවැනි දේ නිසා කෙටි කාලීනව මේ වගේ දේවල් සිදු වන්න පුළුවන්.

1. අසාත්මිකතා හා සමේ රෝග තත්ත්වයන් ඇතිවීම.

2. හිරු එළියට ඇති සංවේදීතාව වැඩි වීම

3. සම සුදු වීම කෙසේ වෙතත් දුඹුරු, සුදු හෝ කළු පැල්ලම් හට ගැනීම

4. ස්ටීරොයිඩ් ආලේපන නිසා කුරුලෑ වසංගතයක් වගේ හට ගන්න පුළුවන්. සම දුර්වර්ණ වීම, තුනී වීම, ඇදීම් ලකුණු ඇති වීම, පහසුවෙන් බැක්ටීරියා - වෛරස - දිලීර ආසාදන ඇතිවීම, තිබෙන ආසාදන වැඩි වීම, කාන්තාවන් ගේ මුහුණේ රෝම හට ගැනීම

දිගට ම මෙවැනි ආලේපන ගැල්වීමෙන් ඇතිවන ප්‍රතිඵල තවත් බරපතළයි.

සම අකලට මහලු වීම

වකුගඩු, අක්මා ආශ්‍රිත ආබාධ හට ගැනීම

සම් පිළිකා සහ අනෙක් පිළිකා සෑදීමේ අවදානම වැඩි වීම

සම සුදු කිරීමට ගන්නා ග්ලූටතියොන් ආලේප හා පෙති සම සුදු කරන බව විද්‍යාත්මකව ඔප්පු වී නැහැ. ග්ලූටතියොන් එන්නත් අපේ රටේවත් වෙනත් රටවලවත් අනුමත කර නැහැ. ඒකට ප්‍රධානම හේතුව අසාත්මිකතා, සම් පිළිකාවලට ග්ලූටතියොන් එන්නත බලපාන්න පුළුවන් වීමයි.

තමන් ගැන විශ්වාසයක් නැති අය තමයි නැති පාටක් හමේ ඇතිකර ගන්න දඟලන්නෙ.

බොහෝවිට සමේ වර්ණයේ තීරකයා වන්නේ ජානයි. එය මාපිය උරුමයෙන් දායාද වන දෙයක්. සමකයට ආසන්න දුරස්ථ බව තවත් හේතුවක්. සමකයට ආසන්න රටක ජීවත් වන අපට ගැළපෙන්නේ තද පැහැති සමක්. සමට තද පැහැයක් ලැබෙන්නේ මෙලනින් වර්ණකයෙන්. මේ වර්ණකය හිරු එළියෙන් ස්වාභාවික ආරක්ෂාවක් ලබා දෙනවා. හිරු එළියෙන් පතිත වන පාරජම්බුල කිරණ උරා ගැනීමටත් ඒ එළියේ බලය පහ කිරීමටත් මෙලනින් වර්ණකයට හැකියාවක් තිබෙනවා. ළා පැහැති සමක් ඇති අයට සම් පිළිකා ඇති වීමේ අවදානම වැඩි අතර සමට සිදුවන හානි ද වැඩි වෙනවා. අපි මේ තරම් සම සුදු කරන ආලේපනවලට රැවටෙන්න එපා කියන්නේ ලබා උපන් පාට කෙනකුට ඉතා වටින නිසයි. ඒ වගේම බ්ලීචිං කාරකවල ඇති බැර ලෝහ නිසා ඇතිවන අතුරු බලපෑම් බොහොමයක් නැවත හරි ගස්සන බැහැ. සම සුදු කරන ආලේපන පස්සෙ යන අයට අන්තිමට මුදලුත් සමත් දෙකම නැති වෙනවා. සමේ පැහැය කියන්නේ කෙනකු ගේ අනන්‍යතාවක්. කොනෙක් තමන්ට ආදරය කරනවා නම් මේ අනන්‍යතාවටත් ආදරය කළ යුතුයි.

 

උපදෙස් -

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය, චර්ම රෝග පිළිබඳ විශේෂඥවරුන් ගේ සංගමයේ චර්මීය රූපලාවණ්‍ය අනුකමිටුවේ ලේකම්

ජනුකා ගලහිටියාව