උදේට කිරි තේ එකක් එක්ක බිස්කට් කෑම මාරාන්තිකයි

ලෙඩ අඩු කර ඇඟ හැඩකරන අලුත් ම ක්‍රමය
මාර්තු 28, 2022

 

 

අපි අඩුම තරමින් දිනකට තේ දෙක තුනක් බීමට පුරුදු වී සිටින පිරිසක්. එපමණක් නොවෙයි බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ උදෑසන අවදි වූ පසුව කිරි තේ එකකින් දවස ඇරැඹීමට යි. තේ එකක් නැතිනම් දවසේ වැඩ නිසි ලෙස කරගැනීමට නොහැකි වන තරමට වැඩි දෙනෙක් මේ තේ බීමට ඇබ්බැහි වී ඇති බව ද නොරහසක්.

 

ඒත් දැන් පවතින ආර්ථික අර්බුදය හමුවේ කිරිපිටි පැකට්ටුවක මිල හිතා ගැනීමටවත් නොහැකි ලෙස ඉහළ යමින් පවතී. තමාගේ අතේ ඇති සොච්චම් මුදලින් කළ යුතු බොහෝ දේ තිබිය දී කිරිපිටි සඳහා ලොකු මුදලක් වැය කිරීමට සිදු වීම ඉතාමත් අසීරු ක්‍රියාවකි.

බොහෝ දෙනෙක් සිතන්නේ උදේට කිරි එකක් බීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක් බවයි. ඉන් සිරුරට බොහෝ පෝෂ්‍ය කොටස් ලැබෙන බව සිතුවත් මෙය සැබෑවක් නොවන බව දැනගතහොත් ඒ සඳහා වන වියදම කොතරම් නිරර්ථක එකක්දැයි ඔබට ම සිතේවි.

උදේට කිරිතේ එකක් සමඟින් බිස්කට් දෙකක් හපන්නත් ඇතැම් අය පුරුදු වෙලා. මෙසේ කරන බොහෝ දෙනෙක් පවසන්නේ තමාට ගැස්ට්‍රයිටීස් තිබෙන නිසා හෝ බඩේ දැවිල්ලක් ඇතිවන නිසා මෙසේ කරන බවයි. නමුත් ඔබ මොහොතකටවත් සිතන්නට නැතිව ඇති මෙය මාරාන්තික පුරුද්දක් බව.

මෙලෙසින් උදෑසන පළමු ආහාරය ලෙස කිරිතේ එකක් හෝ ඒ සමඟ බිස්කට් ආහාරයට ගැනීමෙන් සිදු වන්නේ අපේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය වැඩි වීමයි. සාමාන්‍යයෙන් උදෑසනට අපේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය තරමක් වැඩි වේ. අතීත මිනිසාට උදෑසනට දඩයමේ ගොස් ආහාර සොයා ගැනීමට සිදු වුණා. කුසගින්නේ සිටිමින් දඩයම් කිරීමට සිදු වීම නිසා සිරුර විසින් ම කුසගින්න මඟහැරීමට යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණා.

ඒ සඳහා අපේ අක්මාවෙන් මොළය හා මාංසපේශීන් ක්‍රියා කිරීමට අවශ්‍ය වන ග්ලූකෝස් නිෂ්පාදනයකර සිරුරට මුදා හරියි. මේ නිසා අපි අමුතුවෙන් සිරුරට කිරිතේ, බිස්කට් ආහාරයට ගැනීමෙන් සිදු වන්නේ සිරුරේ ස්වභාවිකව ඇති වූ සීනි ප්‍රමාණයට තවත් සීනි එකතු කිරීමයි. මෙහිදී වැඩි වන සීනි ප්‍රමාණය මේදය ලෙස සිරුරේ තැන්පත් වීම සිදු වෙනවා.

බර අඩුකර ගැනීමට උනන්දු වන අයකුට උදේ කාලය ඉතාමත් වටිනා කාලයක් ලෙස හැඳින්විය හැකියි. අප රාත්‍රියේ දී ගත් ආහාර නිසා ඇති වූ ඉන්සියුලින් ප්‍රමාණය අඩුවෙලා සිරුරේ ඇති තෙල් දහනය වීම සිදුවන්නේ උදේ කාලයේදී යි. අපි උදෑසන බීමට පුරුදු වී සිටින කිරිතේ එක නිසා එම ක්‍රියාවලිය ඇන හිටීමක් සිදු වේ.

ඒනිසා අපි උදේ කිරිතේ එක අත් හැරීම වඩාත් නිරෝගී ජීවිතයක් ලබා ගැනීමට යොමු කරන යහපත් පුරුද්දක්. කිරි තේ වෙනුවට වතුර වීදුරුවක් හෝ දෙකක් ආසන්න වශයෙන් වතුර මිලිලීටර 500 ක් පමණ බීමට හැකි නම් එය ඔබේ සිරුර නිරෝගී කිරීමටත් සිරුරේ බර සහ අනවශ්‍ය ලෙස ඉදිරියට නෙරා පැමිණ ඇති බඩ අඩුකර ගැනීමට යම් පදනමක් දමන ක්‍රියාවක් ලෙසත් හැඳින්විය හැකියි.

ඔබට හැකි නම් උදෑසන අවදි වූ වෙලේ සිට වතුර පමණක් පානයකර උදෑසන ආහාරය තරමක් ප්‍රමාද වී උදේ 9-10ට පමණ ගැනීමත් වඩා හොඳ පුරුද්දක්. මෙයින් ඔබේ සිරුරේ ඉන්සියුලින් ප්‍රමාණය පහළ ගොස් සිරුරේ තැන්පත් වී ඇති තෙල් ප්‍රමාණය දහනය වීමට පටන් ගන්නා නිසා සිරුරේ බර ක්‍රමයෙන් අඩු වීමට පටන් ගනී. මේ නිසා අනවශ්‍ය මේදය දහනය වීම නිසා බර, බඩ අඩුවේ. දියවැඩියා රෝගීන්ගේ දියවැඩියාව සනීප වේ. අක්මාවේ තෙල් තැන්පත් වූ අයගේ අක්මාවේ ඇති තෙල් ක්ෂය වීමක් ද මෙයින් සිදුවෙනවා.

මේ නිසා හැකි පමණ උදේ ආහාරය ප්‍රමාද කරන්න. කිරිතේ බීම බිස්කට් ආහාරයට ගැනීම නවත්වන්න. ඒ වෙනුවට වතුර පානය කරන්න. ඔබට තේ අවශ්‍යම නම් කිරි, සීනි නොදා කහට තේ එකක් පානය කරන්න. එසේත් නැතිනම් උණුවතුර කෝප්පයක් තේ එකට ආදේශකයක් ලෙස පානය කළ හැකියි.

මෙසේ කිරීමෙන් ඔබට නිරෝගී මෙන්ම හැඩකාර සිරුරක් ලබා ගැනීමට හැකියි. කිරිපිටි පෝලිම්වල රස්තියාදු වීමත් නතර වන නිසා කාලයත් ඉතුරුයි. කිරිපිටි වෙනුවෙන් වියදම් කිරීමට සිදුවන විශාල මුදල් ප්‍රමාණය වෙනත් අත්‍යවශ්‍ය දෙයක් සඳහා යෙදවීමටත් හැකියි.

ඇත්තට ම කිරිපිටි බීම යනු පුරුද්දක් මිස සිරුරට පෝෂණයක් ලබා දෙන දෙයක් නොවේ. දුම්පානය, මත්පැන් පානය ආදිය මෙන්ම කිරි තේ පානය කිරීම ද සිරුරට අහිතකර පුරුද්දක් බව මතක තබා ගැනීමෙන් ඔබේ දරුවන් ද නිවැරැදි ආහාර පුරුදු වෙත හුරු කරවීමට හැකියි. එමඟින් ඔබේ දරුවා නිරෝගී දරුවෙක් ලෙස අනාගතයේ දී රටට දායාද කිරීමට ඔබට හැකි වේවි.

මේ අපේ අයහපත් පුරුදු දුරුකර, යහපත් පුරුදුවලට ඇබ්බැහි වීමට සුදුසු ම කාලයයි.

 

ලෙඩ අඩු කරහැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය ජානක වන්නකු