'පුද්ගලිකයි රහසිගතයි'

ජුනි 20, 2022

දුක් කම්කටොලු පිරි මේ සමාජයේ ඔබට ඔබගේ මවට, පියාට, සහෝදරියට කියාගත නොහැකි බොහොමයක් ගැටලු තිබිය හැකියි. ඒ ගැටලු නිසා ඔබ සිතින් අනේක වාරයක් පීඩා විඳිනවාත් ඇති. විසඳුමක් පේන තෙක් මානයකවත් නැති ඒ ගැටලුවලට පිළිතුරු ලබා දෙන්න ඔබගේ ළඟම මිතුරිය තරුණී සූදානම්. ඔබගේ ගැටලු අප වෙත යොමු කරන්න.

'පුද්ගලිකයි රහසිගතයි'

තරුණී,ලේක්හවුස්,

කොළඹ - 10.

 

උපදෙස්

කරාපිටිය මහ රෝහලේ

විශේෂඥ මනෝ වෛද්‍ය

රූමි රූබන්

 

විභාග ළං වෙද්දී වෙව්ලලා උණ ගන්නවා

ප්‍රශ්නය

මා පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න 28 හැවිරිදි තරුණියකි. අධ්‍යාපනය ලබන අතර නෑදෑ ගෙදරක නතර වී පෞද්ගලික ආයතනයක තාවකාලිකව රැකියාවක ද නිරත වේ. කුඩා වියේ සිටම මා පොඩි දේටත් හරිම ඉක්මනින් බය වෙනවා. මට යහළුවොත් ගොඩක් නැහැ. විශ්වවිද්‍යාලයේත් මම වැඩ කරන ආයතනයේත් යහළුවෝ කවුරුත් නැහැ. පුංචි කාලේ නම් යාළුවෝ හිටියා. මා සාමාන්‍ය පෙනුම තියෙන රුවැත්තියක්. ඒත් මේ වෙනකල් කිසිම පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ගොඩනගාගෙන නැහැ. යාළුවෝ ආශ්‍රය කරන්න බයයි. ඒ නිසා කවුරු එක්කවත් බලෙන් කතා කරන්න යන්නේ නැහැ. පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා. ඒත් හැමදාම මට මෙහෙම ඉන්න බැහැ කියලා දන්නවා. මාව බන්දලා දෙන්න මේ දවස්වල ගෙදර අය කෙනෙක් හොයනවා. ඒත් කසාද බඳින්නත් බයයි. ලබන මාසයේ මට විභාගයකට මුහුණ දෙන්නත් තියෙනවා. විභාගයට මුහුණ දෙන්න තියෙන බය නිසා පාඩම් වැඩ මුකුත්ම කරන්න හිතෙන්නේ නැහැ. පාසල් යද්දීත් විභාග තියෙන දවස්වලට මට අනිවාර්යෙන්ම මොකක් හරි අසනීපයක් හැදෙනවා. සමහර දවස්වලට විභාගයට කලින් දවසේ වෙව්ලලා උණක් හැදෙනවා. මට මේ දේවල් පාලනය කරගන්න අමාරුයි. මගේ තනියට කවුරුත් නැහැ. මේවට තනියම මුහුණ දෙන්නත් බැහැ. මේ නිසා මම ලොකු පීඩනයක ඉන්නේ. මේ තත්ත්වය වළක්වා ගන්න මා කුමක් කළ යුතුද?

චතුරිකා - දෙබරවැව

පිළිතුර

තමන් පිළිබඳ ධනාත්මක චිත්තනයක සිටිය යුතුයි. ඍණාත්මක ආකල්ප බැහැර කර මනස ධනාත්මක ආකල්පවලින් පුරවා ගැනීමට ඔබට විධිමත් සහායක් අවශ්‍ය වෙනවා. ඔබ යොමු කර ඇති ප්‍රශ්නයේ සඳහන් ආකාරයට ඔබට කාංසාව වැනි තත්ත්වයක් ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට මනෝ වෛද්‍යවරයකු හමුවීම සුදුසුයි. ඔබගේ හැකියාවන් පිළිබඳ මෙහි කිසිදු සඳහනක් නොමැති බැවින් ඔබේ හැකියාවලින් ඉදිරියට යා හැකි ආකාරය පිළිබඳ උපදෙසක් ලබා දීමට නොහැකියි. සංගීතයට කැමැති අයකුට තමන් කැමැති වාදන, ගායන ශ්‍රවණයට, ගීත ගායනයට, වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට පුළුවනි. එලෙසින් තමන්ට ඇති හැකියා හා විශේෂතා හඳුනාගෙන ඒවා දියුණු කර ගැනීමට උත්සාහ දැරීමෙන් කාංසාව වැනි තත්ත්වය පහසුවෙන් මඟහරවා ගැනීමට පුළුවන්. ඒ වගේම මනෝ උපදේශකවරයකු මුණගැසී තමන් පිළිබඳ හිතන විදිහ එනම් ස්වයං තක්සේරුව වැඩි කර ගත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීම සුදුසුයි.

 

 

---------------------

දුරකථන හඬපටය නිසා මැරී මැරි උපදිනවා

 

ප්‍රශ්නය

අප විවාහ වී අවුරුදු 5කි. දරුවන් නැතුව දහදුකක් විඳි අතර එක් වරෙක දරුවෙක් කුසට පැමිණියා. එහෙත් ඒ දරුවා කුස හිඳියේ මාස 5කි. මමයි මගේ මහත්තයායි ගොඩක් දුක් වුණා. එලෙස කාලය ගත විය. දවසක් මහත්තයාගේ දුරකථනයේ පටිගත වීම්වල තිබුණ අඳුරන්නේ නැති ගැහැනු කෙනෙක් එක්ක කතා කරන දුරකථන පටිගත වීමක් අසන්න ලැබිණි. මහත්තයාගෙන් ඇහුවා මේ කවුද කියලා ඇයි ඔහොම කරන්නේ? මාව එපා ද කියලා. මම ගොඩක් ඇඬුවා.

 

එයා කිව්වා, ගෙදර ප්‍රශ්න වැඩියි. දරුවා නැතිවුණා. ඒක එයාට දරාගන්න බැහැ. එයාට මොනවා වුණා ද දන්නේ නැහැ. විහිළුවට කතා කළේ කියලා. මම දැන් ලොකු පීඩනයක ඉන්නේ. මහත්තයා රැකියාව කරන්නේ ආරක්ෂක අංශයක. මාසෙකට සැරයයි ගෙදර එන්නේ. මම ඉන්නේ අම්මා ළඟ. අම්මාත් කියන කතාවලින් මගේ ඔළුව විකාර වෙනවා. මම තාමත් හිතින් මැරි මැරි උපදිනවා. දරුවා නැතිවුණ එකයි, මහත්තයා කරපු වැඩේ ගැනයි. එයා මගෙන් සමාව ගත්තා. ආයේ ඒ වරද කරන්නේ නැහැ කියලා. මට ගමට යන්න බැහැ දරුවා නැතිවුණ නිසා. කන්න ගියත්, නිදාගන්න ගියත්, මට නිතරම මතක් වෙන්නෙත් මහත්තයා කරපු දේ. මට මගේ හිත හදාගන්න උදව් කරන්න.

පිළිතුරු

දරුවාගේ අහිමිවීමත්, සැමියා විසින් සිදු කරනු ලබනවා යැයි කියන ක්‍රියාවත් හේතුවෙන් ඔබ තුළ දැඩි මානසික පීඩනයක් ඇති වී තිබෙන බව දැකිය හැකියි. මේ හේතුවෙන් ඔබට යම් විශාදය තත්ත්වයක් ඇතිවෙන්න හැකියාව තිබේ. සිතේ පවතින මේ ගැටලුකාරි ස්වභාවය නිසා හැඟීම්, දැනීම්. සිතුවිලි වෙනස් වී දෛනික ජීවිතයේ වැඩකටයුතු වලටත් එය බලපෑ හැකියි.

මේ සඳහා මනෝවෛද්‍ය ප්‍රතිකාරයක් අවශ්‍ය බව පෙනී යයි. සැමියාවත් ගෙන්වාගෙන උපදේශනය හා මනෝ ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන්න. සුදුසුම පියවර වන්නේ ඔබ දෙදෙනාම එක්ව විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමු වී උපදේශනයකට යොමු වීමයි.

ඒ වගේම සිත සැහැල්ලුවෙන් සතුටින් තබාගැනීමට උත්සාහ කරන්න. නැවත දරුවකු ගැන බලාපොරොත්තු ඇති කර ගැනීමට නම් ඔබ තුළ පවතින මානසික නිදහස ඉතාම වැදගත් බව සිහියේ තබාගන්න.

ආගමට දහමට ළැදි වෙන්න. නිතරම කුමක් හෝ කටයුත්තක නිරත වෙන්න. පොත් කියවන්න. විනෝදාංශයක නියැළෙන්න.

සැමියා නැවත එවන් වරදක් නොකරන ලෙස, ඔබ ඔහුට සමීප වෙන්න. ඔහු නිවෙසට ආ විට ඔහු සමඟ සතුටින් කාලය ගත කරන්න. ඒ අතරතුර ඔහු ගැන සොයා බලන්න. දුරකථන ඇමතුම් දී කතා බහ කරන්න. කතා කරන හැමවිටම සතුටින් කතා කරන්න.

ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු ද හමු වී තව දුරටත් උපදෙස් ලබා ගතහොත් නැවත දරුවකු ගැන බලාපොරොත්තු තියා ගැනීමට හැකි වනු ඇත.