පිරිසුදු පලා... ගෙනෙනවා රස ගුලා...

පවුලේ පෝෂණය ගෙවත්තෙන්....
සැප්තැම්බර් 19, 2022

 

නිවෙසේ ඉන්න ගෘහණියට වගේම රැකියාවක් කරන ගෘහණියටත් ඉටු කළ යුතුම වගකීමක් තිබෙනවා. ඒ ආහාරපාන පිළියෙල කිරීම, පිළිගැන්වීම සහ පිරිසුදු කිරීම යන මුළුතැන්ගෙය ආශ්‍රිත ක්‍රියාකාරකම්. ඒවා නිසි පරිදි ඉටු කිරීම මතයි පවුලේ පෝෂණය, නිරෝගී බව, සතුට, සමඟිය රඳා පවතින්නේ. එම නිසා මෙය ගෘහිණියට පැවරෙන ලොකු වගකීමක්. පවුලේ අයගේ රුචි අරුචිකම්, පෝෂණ අවධි පිළිබඳ සැලකිලිමත් වෙමින් ඒ දේවල් කිරීමට ගෘහ ආර්ථික විද්‍යාව විෂයයෙන් හොඳ මඟ පෙන්වීමක් ලබා දෙනවා. ඒ මඟ පෙන්වීම තරුණී වගකීමක් වී මෙසේ දිග හැරෙනවා.

 

ආහාර පිසීම හා පෝෂණය එහි එක විෂය ක්ෂේත්‍රයක්. එහි අන්තර්ගත වන්නේ සරල දේවල්. සමහර විට ඔබ, මා දන්නා දේවල් වෙන්නත් පුළුවන්.

 

තක්කාලි රැගෙන එන විට තැළෙනවා. ඒවා විසි කරන්නට එපා. ඇල් වතුර ටිකකට ලුණු ස්වල්පයක් එකතු කර මේ තක්කාලි එහි දමා තියන්න. පැය හයකින්, හතකින් පමණ තැළුණු ගතිය මඟහැරී හොඳින් සවිමත් වී තිබෙනවා ඔබට දක්නට ලැබේවි.

 

බණ්ඩක්කා, අමුමිරිස් සහ දෙහි සමඟ එකට තැබීමෙන් බණ්ඩක්කා ඉක්මනින් මේරීමට ලක්වෙනවා. ඒ නිසා ඒවා වෙන වෙනම ගබඩා කරන්න. තරමක් මේරූ බණ්ඩක්කා ඇත්නම් සියඹලා ටිකක් මිශ්‍ර කර ගෙන තෙල් හොඳින් රත් කර බැදගන්න. එසේම බණ්ඩක්කා පිසින විට ඇතිවන සෙවල ගතිය නැති කර ගැනීමට ගොරකා කැබැලි කීපයක් එකතු කර පිස ගන්න. නැත්නම් කබලේ යන්තම් බැද පිසගන්න.

 

බිත්තර, අර්තාපල් අල තම්බා ගන්නා විට පිපිරීම වළක්වා ගන්න නම් ජලයට ලුණු කැට ටිකක් එකතු කර තම්බා ගන්න. එමඟින් පහසුවෙන් පොතු ගලවා දැමීමට ද හැකියි.

 

ආහාර පිළියෙල කිරීමේ දී හා පිසීමේ දී සිදු වන නාස්තිය අවම කරගෙන ආහාර වේල සකස් කිරීමට ඔබ සැලකිලිමත් වන්න. ඒ වගේම ආහාර වේල සඳහා විටමින් හා ඛනිජ ලවණ එකතු කර ගැනීම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. වත්තෙන් සොයා ගත හැකි පලා වර්ගවලින් මැල්ලුම්, සම්බෝල සකස් කර ගන්න. එමඟින් අඩු වියදමකින් පෝෂ්‍යදායී ආහාර සකසා ගන්න ඔබට පුළුවන්.

 

කූර කොළ, ඇඹුල් ඇඹිලිය, තම්පලා, නිවිති ආදියෙන් ව්‍යාංජන පිළියෙල කර ගන්න පුළුවන්. පරිප්පු, කොස්ඇට වැනි දේවල් සමඟ මිශ්‍ර කිරීමෙන් ඒවායේ රසවත් බව වැඩි කර ගත හැකියි.

 

ගොටුකොළ, වැල්දොඩම් දලු, තුඹ දලු, කරඳ දලු, අඟුණ කොළ සම්බෝලයක් හෝ මැල්ලුමක් ලෙස රසවත්ව පිළියෙල කරගත හැකියි. තෙබු කොළ, කෝවක්කා කොළ වෙනත් පලා වර්ග සමඟ එකතු කර කලවම් පලා මැල්ලුමක් ලෙස සකස් කර ගන්න. සතියකට දිනක් දෙකක් වගේ මේවා සකස් කර ආහාරයට ගත හැකි නම් නිරෝගී සෞඛ්‍යය සම්පන්න දිවියක් උදාකර ගත හැකියි.

බලන්න, තවත් පලා වර්ග ඔබට ගෙවත්තෙන් සොයාගන්න පුළුවන්. කංකුං, වට්ටක්කා දලු, දඹල දලු, පොල්පලා දලු, ජපන් බටු දලු, අක්කපාන දලු, මුරුංගා කොළ, තෝර කොළ, නීරමුල්ලිය දලු ආදි තවත් බොහෝ පලා වර්ග ඔබට රසවත් මැල්ලුම් සම්බෝල, ව්‍යාංජන ලෙස සකස් කරගන්න පුළුවන්. එසේම අවට පරිසරයෙන් ලබාගත හැකි තවත් පෝෂණීය කොළ වර්ග රාශියක් තියෙනවා. අල කොළ ගොබය, කැරන්කොකු, මඩු කොකු, කොහිල දලු, අත්තික්කා දලු ආදියෙන් ද රසවත් මැල්ලුම් සහ ව්‍යාංජන සකස් කර ගන්න පුළුවන්.

 

එපමණක් නොවේ. ගෙවත්තෙන් සොයා ගන්නා කොළ වර්ග, පලා වර්ග ආදිය යොදා පෝෂණීය, ඖෂධීය කොළ කැඳ වර්ග සකස් කර ගන්නත් පුළුවන්. හාතවාරිය, මොනරකුඩුම්බිය, වැල්පෙනෙල, එළබටු දලු, යකිනාරං කොළ, කුප්පමේනියා කොළ, උඳුපියළිය කොළ, අස්වැන්න කොළ, කටරොඩු කොළ, ඔලිඳ කොළ, ඉරමුසු, කරපිංචා කොළ ආදිය කැඳ සඳහා යොදා ගන්නවා. ඒවා හරිම රසවත්. අලිගැටපේර දලු, මදටිය කොළ, නාරං දලු ආදියත් කොළ කැඳ හදන්න ගන්නවා. සතියකට වතාවක් පවුලේ අය සමඟ කොළ කැඳ වීදුරුවක් කිතුල් හකුරු කෑල්ලක් එක්ක රසවිඳින්න තියෙනවා නම් කොච්චර හොඳ ද?

 

එසේම මේ තේ කොළ ගණන් කාලයේ ඒ වෙනුවට ආදේශක යොදා ගන්න පුළුවන් නම් අගෙයි නේද? ඉරමුසු, පොල්පලා, රණවරා මල්, බෙලි මල්, බෙලි ගැට තැම්බූ වතුර ඖෂධීය පාන වශයෙන් සකස් කරගන්න පුළුවන්.

 

ඒ වගේම ගොටුකොළ, ලුනුවිල තම්බා පානයක් ලෙස සකස් කර ගත හැකියි. බුද්ධි වර්ධනයට මේවා මහෝපකාරී වෙනවා.

 

 

උපදෙස්

හේවාහැට රහතුන්ගොඩ මහා විද්‍යාලයේ

නියෝජ්‍ය විදුහල්පතිනි ඉන්ද්‍රානි විජය බණ්ඩාර