සාර්ථක කෙම් ක්‍රමයකින් පීඩාකාරී ගැස්ට්‍රයිටිස් රෝගයට නියත පිළියම්

ඔක්තෝබර් 21, 2024

 

වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳින දරුණු රෝගයක් වන්නේ අම්ලපිත්ත රෝගයයි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ගැස්ට්‍රයිටිස් යනුවෙන් ව්‍යවහාර භාෂාවේ හඳුන්වයි. කුමන ආකාරයකින් සඳහන් කළත් මෙය ඉතාම පීඩාකාරී රෝගයකි. ගැහැනු පිරිමි ලිංග භේදයකින් තොරව ළදරුවන් සිට වැඩිමහල් පුද්ගලයා දක්වා මේ රෝගය බහුලව පවතී. මෙහි භයානක තත්ත්වය නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය සිදු කරන දරුවන්ට පවා බහුලව පැවතීමයි. රැකියා කරන තරුණ පරපුර අතරද විශාල වශයෙන් පවතින රෝගයක් වී තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ තමා විසින් අනුගමනය කරන වැරැදි ආහාර රටාවයි. තම නි‍ෙවසේ සාදන ආහාර වේල ගැන නොසලකා කඩ කෑම ගැනීමත්, ක්ෂණික ආහාර, විවිධ පැණීබීම වර්ග ගැනීම වර්තමානයේ විලාසිතාවක් බවට පත් වී තිබේ.

 

එය වැඩිහිටියන් විසින් දරුවන්ට හුරු කරන ලද ව්‍යසනයකි. ඉහතින් සඳහන් කළ ආකාරයට පාසල් සිසුන් හා තරුණ තරුණියන් දවසේ කාල කළමනාකරණ ගැන තැකීමක් ඇත්තේම නැති තරම්ය. උදේ ආහාරය පාසලට හෝ රැකියාවට යෑමට කලින් උදේම ලබා ගැනීම, දිවා ආහාරය හිරු මුදුන් වන විට දහවල් 12.00 අතර ගැනීමත්, රාත්‍රී ආහාරය පස්වරු 8.00ට කලින් ගැනීමට පුරුදු වන්නේ නම් එම රෝගයෙන් ඉතාම පහසුවෙන් මිදිය හැකිවනු ඇත. එමෙන්ම උදෑසන ආහාරය හොඳින් බඩ පිරෙන ලෙස ගැනීමත්, දිවා ආහාරය ඉන් අඩකට ගැනීමත්, රාත්‍රී ආහාරය පහසුවෙන් දිරවන සැහැල්ලු ලෙස ගැනීමත් ඉතාමත් වැදගත් වෙයි. මෙය පොතපතේ සඳහන් වන්නේ උදේ ආහාරවේල රාජ කුමාරයකු ලෙසත්, දිවා ආහාරය රජෙකු සේ ද රාත්‍රී ආහාරය දුගියකු ලෙසත් වළඳන ලෙසයි. උදේ ආහාර රාජ කුමාරයකු ලෙසින් හඳුන්වන්නේ එම පුද්ගලයාට ඕනෑම ආහාරයක් ගැනීමේ අවසරය තිබීමයි. රජෙකුට ලබා දී ඇත්තේ තෝරා බේරා ගත් පෝෂ්‍යදායී ආහාර වේලකි. දුගියකු විසින් ලබාගෙන ඇත්තේ කැඳ වැනි අල්ප ආහාර වේලකි. එය බැරෑරුම් ලෙස එසේ සඳහන් කර ඇත. අද මේ රටාව වෙනස් වී රාත්‍රියට කුමාරයකු ලෙසත්, උදේට දුගියකු ලෙසත් බහුතර ජනතාව ආහාරය ගැනීමට පුරුදු වී සිටී.

 

මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ මල බද්ධය හා බඩ පුරවා දැමීමයි. අප පෙර සඳහන් කළ පරිදි තෙල් සහිත, රසකාරක සහිත ක්ෂණික නූඩ්ල්ස් වැනි ආහාරත්, කට්ලට්, පැටිස් වැනි ක්ෂණික ආහාර ප්‍රධාන ආහාරයට එක්කර ගැනීමත් නිසා ආමාශයේදී මෙම ද්‍රව්‍යයන් මූලිකම දිරවා ගැනීම හරි ආකාරයට සිදු නොවීම නිසා විවිධ සංකූලතා හට ගනී. ආමාශය තුළ ආහාර ද්‍රව්‍ය හරියාකාරයට පැසවීමෙන් ජීර්ණය නොවීම නිසා බඩ පුරවා දැමීම සිදුවෙයි. බඩේ නොසන්සුන්තාවයන් හට ගනී. මෙම අම්ල ගතිය ගලනාලය ඔස්සේ ඉහළට ඒම සිදුවෙයි. එවිට පපුවේ උගුරේ දැවිල්ල ද ඇති කරයි. මෙය වැඩි වන විට වමනය ඔක්කාරය ගතියද ඇතිවෙයි. ඇඹුල් රසය උගුරට ඒම, බඩේ විවිධ ශබ්දයක් හටගනියි. ඇතැම් පුද්ගලයින්ට බඩ බුරුල් ගතියක් දැනෙයි. නමුත් වැසිකිළියට ගිය පසු එසේ සිදු නොවෙයි. එසේ වන්නේ පෙර කී ලෙසම ආමාශගත අම්ල නැතහොත් ඇඹුල් ගතිය පාලනය නොවීමයි.

 

මේ සඳහා මෙම අම්ල ගතිය පාලනයට ක්ෂාර ගුණයෙන් යුත් ද්‍රව්‍ය ආමාශගත කිරීම ආයුර්වේද දේශීය වෛද්‍ය විද්‍යාෙව් සඳහන් වෙයි. ඒ පිළිබඳ අප පසුගිය සතියේ පුවත්පත හරහා සාකච්ඡා කළෙමු. මෙවැනි අවස්ථාවලදී සාම්ප්‍රදායිකව බැඳි හාල් කැඳ හෝ පොරි කැඳ ලබා දෙන්නේය. හාල් බැඳගත් විට එහි අම්ල ගතිය ඉවත් වී ක්ෂාර ගුණයෙන් යුක්ත වෙයි. වී පොරි ද ක්ෂාර ගුණයෙන් යුත් පදාර්ථයකි. අම්ලපිත්ත රෝගියෙකුට වී පොරි කබලේ බැඳ රන්වන් පාටවන විට ගෙන කුඩු කර එයින් මේස හැන්දකට මී පැණි දමා කලවම් කර ද්‍රව ගතියට සාදා ස්නේහ කිරීම (එනම් දිවේ ගාමින් සූප්පු කිරීම) ඉතා වටිනා ඖෂධයකි. එමෙන්ම අලුත් බෙලිගෙඩියක පිට පැත්ත සමඟ හෝ ළපටි බෙලිගෙඩියක් සිහින් වීමට කපා වියළා කබලේ බැද සිහින් වෙන්නට කුඩු කර මේස හැඳි 2 බැගින් ගෙන මී පැණි සමඟ මිශ්‍ර කර උදේ සවස වළඳා වතුර වීදුරුවක් බීමද අත්දුටු ඖෂධයකි.

 

මෙයට හොඳ කෙම් ක්‍රමයක් ද ඇත. උදේ පාන්දර නින්දෙන් නැඟිට්ට ගමන් පිරිසුදු ඇල්වතුර වීදුරුවකින් කට සෝදා විසි නොකර ගිලීමයි. මෙසේ උගුරු හතක් පානය කිරීමෙන් සුව නොවන තත්ත්වයේ තිබෙන මෙම රෝගය සුවවෙයි. මෙය දින හතක් එක දිගටම කරන්න. මෙහි විද්‍යාත්මක පදනම නම් වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන්නේ විසෙන් තවත් විසකින් නැසීමේ න්‍යායයි. තවත් වටිනා ඖෂධයක් අවසානයේ මෙසේ සඳහන් කරමි. උදේ පාන්දර හිස්බඩ තැඹිලි වීදුරුවකට කෝමාරිකා අඟල් 4 - 5ක් පමණ කැබැල්ලක මදය සූරා දමා අනුපාන ලෙස සීනි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර පානය කරන්න. මෙයද දින හතක් එක දිගට කිරීමෙන් රෝග තත්ත්වය පාලනය සුව කර ගත හැකි වනු ඇත. මෙම ඖෂධය මඟින් රෝගය පාලනය වන විට නියමිත ආහාර රටාවට පුරුදු වන්න. කහට කෝපි තේ වැනි පානයන්ගෙන් වැළකී සිටින්න. උදෑසන ආහාරය දියබත් ලෙස ගැනීම දිරවීමට පහසු වැටකොළු, පිපිඤ්ඤා වැනි එළවළු නිතර ආහාරයට ගැනීමත්, මුංඇට වැනි දෑ ආහාරයට ගැනීම ඉතා යෝග්‍ය වේ. රාත්‍රී ආහාරය ප.ව. 8.00ට පෙර දිරවීමට පහසු ලෙස ලබාගන්න. මෙම සුළු කැපකිරීම ඔබ කළහොත් මෙම පීඩාකාරී රෝගය නිට්ටාවටම සුව කර ගත හැකි වනු ඇත.