මවුනි සදා වඳින දෑත
ඔබ කිරි කර පෙවූ
කිරේ ණය ගෙවන්නට
මා වැන්දත් නිරතුරු…
දයාන් විතාරණ කියන්නේ අප කවුරුත් හඳුනන ප්‍රවීණ ගායන ශිල්පියෙක් වගේම ඡායාරූප ශිල්පයේද ප්‍රවීණයෙක්. ඔහු විසින් ගායනා කරන මේ ගීතය දයාන් සහ ඔහුගේ මව හා බැඳුණු ජීවිතය කියාපාන කැඩපතක් වන් නිර්මාණයක්. ඒ ගීතය පමණක් නොව මව වෙනුවෙන් සිය යුතුකම් කොටස මැනවින් ඉටු කළ පුතෙක් වන දයාන් විතාරණ ගායකයෙක් ලෙස මවු ගුණ ගීත සියයකට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර ඇත. ලංකාවේ කිසිදු ගායකයෙක් එතරම් මවු ගුණ ගී සංඛ්‍යාවක් ගායනා කර නොමැති බව ද කිව යුතුයි. මව වෙනුවෙන් ජීවිතයේ බොහෝ අවස්ථා කැප කළ උතුම් පුතෙක් වන දයාන් විතාරණ සිය මව ගැන මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගය වෙත අදහස් පළ කළේ මේ ආකාරයෙනි.
මගේ අම්මා නාලිනී ඩේසිබෙල් ජයසූරිය. අපේ අම්මා මගෙ ජීවිතය එකලු කළ මහා පහන කිවුවොත් වැරදි නෑ. ඒ කාලේ කාන්තාවන්ට සාපේක්ෂව අපේ අම්මා විලාසිතාවන් ප්‍රිය කළ කාන්තාවක්. නියපොතු දිගට, ලස්සනට වවපු ඇය හරි ලස්සනට ඇන්ඳා පැලඳියා. අම්මාට මාව ලැබෙන්නේ අඩු මාසෙන්. ඉතින් මාව වීදුරු පෙට්ටියක දාලා ආරක්ෂා කරන්නට රෝහලේ කාර්ය මණ්ඩලය කටයුතු කළා. මං පුංචි කාලේ තාත්තාගේ අතේ ඉන්නවාට වඩා ප්‍රිය කර තිබෙන්නේ අම්මාගේ අතේ ඉන්නයි. ඉතින් අම්මාට වොෂ් රූම් යන්න මාව… තාත්තා අතට දුන්නාම මං නිතරම අතේ නියපොතු දිගට තියෙනවාදැයි ස්පර්ශ කර බැලුවාලු. ඒ විදිහට අම්මාගේ අතේ මං නැති බව සැල වූ වහාම මං සෑහෙන්න හැඬූ බව මට අම්මා කියා තිබෙනවා. ඒ තරමටම පුංචි කාලේ ඉඳන් අම්මාට මං සමීපයි.
මට වයස අවුරුදු දහතුනක් වෙද්දී තාත්තා අපෙන් සමු ගන්නවා. ඒ වනතුරු අම්මා වගේම… තාත්තාත් මා ළඟින්ම මා එක්ක හිටියා. ගෘහිනියක් ලෙස අම්මා එක්ක දවසම අපි ඈ ළඟින්ම හිටියත් තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවාම තාත්තාට වැඩි වශයෙන් සමීප වන ගතියක් අපට තිබුණා. මං අවුරුදු හය – හතක් වන තුරුම නිදා ගත්තේ අම්මා තාත්තා දෙන්නට මැදි වෙමින්.
ඒත් තාත්තා හෘදයාබාධයක් නිසා හදිසියේම අපිව දාලා මෙලොවින් සමු ගන්නවා. එදා පටන් අම්මා අපිව රැක බලා ගන්නට විශාල මහන්සියක් ගත්තා. මීගොඩ ගාමණි ජයසූරිය පරම්පරාවෙන් පැවත ආ අපේ අම්මා උපතින්ම ධනවත් කාන්තාවක්. ඒ නිසා ඇය පුංචි කාලේ ඉඳන්ම සුඛෝපභෝගී දිවියක් ගත කර තිබුණා. අපේ සීයාත් නයිට් නාමයක් ලැබූ ගම්මුලාදෑනිවරයෙක්.
ඒ වුණත් තාත්තාගේ වියෝවත් එක්ක දරු තිදෙනෙකුගේ මවක් ලෙස අපේ අම්මාගේ කර මතට විශාල වගකීමක් පැටවෙනවා. තාත්තා හදිසියේම මියගිය නිසා ඒ වන විට ඔහු ලොකු මුදලක් ඉතිරි කර තිබුණේත් නෑ. අපේ අම්මා උරුමයෙන් ලද මීගොඩ ග්‍රාමයේ ඉඩකඩම් පවා යන්න එන්න කරදර නිසා ඒ වන විට විකුණා දමා තිබුණා. ඒ නිසා ඇයට අප උස් මහත් කරන්නට ලොකු වීරියක් ගන්නට සිදු වුණා. ඒ කාලේ අපි හිටියේ නුවරඑළියේ. ඉතින් ඒ වන විට මැහුම් ඩිප්ලෝමාවක් තිබුණු අපේ අම්මා මැහුම් පාසලක් ආරම්භ කරන්නේ සේනාලි නමින්. නිවෙසේම පැවැත්වූ ඒ මැහුම් පාසලට නම තැබුවේ අම්මාගේ සහ තාත්තාගේ නම් දෙක එකතු කරමිනුයි. අපේ තාත්තාගේ නම සේන, අම්මාගේ නම නාලිනි යන නම් දෙකේ සුසංයෝගයෙන් ඒ පන්තියට නම තැබුණා.
සතියේ දිනවල මැහුම් පාසල කළ අපේ අම්මා සති අන්තයේ ඉවුම් පිහුම් පාසලක්ද පැවැත්වුවා. අම්මා අපි තුන්දෙනාගේ වුවමනා එපාකම් සැපිරුවේ එයින් ලැබුණු මුදල්වලින්. අපේ අම්මා, අක්කා එක්ක පන්තියට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන එන්නට කූඩ උස්සාගෙන නගරයට ගිය හැටි මට මතකයි. ඒ වන විට තාත්තාගේ වාහනය තිබුණත් අම්මා රිය පදවන්න දැන ගෙන හිටියේ නෑ. ඒත් තාත්තාගේ වියෝවෙන් පස්සේ අම්මා රියදුරු පාසලකට ගිහින් රිය පැදවීම පවා විධිමත් ලෙස ඉගෙන ගත්තා. ඒ විදිහට ඒ කාලේ ඇය ගෙවා දැම්මේ ඉතා ධෛර්යවන්ත ජීවිතයක්.
ඒ කාලේ පාසලේ ළමයි අතර ඔරලෝසු පැලඳීමේ විලාසිතාවක් තිබුණා. අද වගේ ඔරලෝසුවක් මිලට ගැනීම ඒ කාලේ පහසු කාර්යයක් වුණේ නෑ. ඉතින් අපේ අම්මා මං වෙනුවෙන් ඔරලෝසුවක් අරන් දෙන්නට පවා කටයුතු කළා. ඒ ඔරලෝසුව මිලට ගත් බිල්පත පවා අම්මා ආරක්ෂා කර තිබුණා. අම්මා පරිස්සම් කළ එය අදටත් මා සතුව තිබෙනවා. ඒ කාලේ ඔරලෝසුව දැම්මාම “පුතාගේ අත බරයිද” කියා ඉතා සෙනෙහසින් යුතුව අම්මා මගෙන් අහපු හැටි මට අද වගේ මතකයි.
නෑදෑයින් ඉදිරියට අප යන විට හැම මොහොතකම ඈ අපට අලුත් ඇඳුම් ඇන්දවුවේ තාත්තා නැති අඩුව ලෝකයට නොපෙන්වන්නයි. ඇය ඉතින් ඒ හැම දෙයක් වෙනුවෙන්ම හරි හම්බ කළා.
ඒ වගේම මං තුරුණු වියට එළැඹිලා ඡායාරූපකරණයට එද්දි මගේ සහයට හිටියේ අම්මා විතරයි. මං නිට්ටඹුවේ රන්පොකුණුගම ගෙදර සාලයේ ආරම්භ කළ පුංචි ස්ටුඩියෝවේ ලයිට් එක අල්ලමින් ඇය මට දුන්නු සහය කවදාවත්ම අමතක වෙන්නේ නෑ. ඇය මගේ පුංචි ස්ටුඩියෝවට එන ගැහැනු ළමයින්ව පවා මේකප් කරලා දුන්නා.
ඉස්සර ඡායාරූපකරණයේදී දැන් කාලේ වගේ නොවෙයි.. නිතරම රීල් සුද්ධ කළ යුතුයි. ඉස්සර මට තිබුණේ කැමරා දෙකක් නිසා ඒ කාර්යය නියමිත පරිදි සිදු කළ යුතු වුණා. ඉතින් අම්මා ඒ හැම දෙයකදීම මට උදවු කළා. අම්මා බස් එකේ ගිහින් ඡායාරූප සකස් කරගෙන පැමිණි අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මම ඡායාරූප ශිල්පියෙක් ලෙස ටිකෙන් ටික ජනප්‍රිය වෙද්දී පවා මගේ වෘත්තීය කටයුතු කළමනාකරණය කරගැනීමට අම්මා මට සහය වුණා. ඉතින් මගේ ජීවන ගමනේදී අම්මා කෙනෙක් විදිහට ලබා දිය හැකි උපරිම සහය ඈ මට ලබා දුන්නා කිවුවොත් නිවැරදියි.
ඒ කාලේ මංගල උත්සවයක ඡායාරූප ගන්නට ගෙදරින් පිටත් වෙද්දී සියලු දේ සූදානම් කරන්නෙත් අම්මා විසින්. එවන් දවසක හරි අපූරු දෙයක් සිද්ධ වුණා. අපේ අම්මා උදේ පාන්දරම හදපු තේ එක මට බොන්නම බෑ. මං ඒ ගැන සෝදිසි කරද්දී අම්මා පිටිකිරි වෙනුවට තේ එකට දාලා තිබුණේ පොල් කිරි. ඉතින් අම්මා එක්ක බැඳුණු මතක අතර ඒ වගේ සුන්දර අවස්ථාත් ගොඩාක් තිබුණා.
අම්මා නිතරම අක්කලා දෙන්නට වඩා මට ආදරය කළා. ඒ බව අක්කලා දෙන්නත් නිතරම පැවසුවේ තරහකින් නොවේ. ඉතින් ඒ ගෞරවය මිය යන තුරුම අම්මාව රැක බලාගෙන මං ඇයට දුන්නා.
ගායකයෙක්, ඡායාරූප ශිල්පියෙක් ලෙස දිවි ගමන සාර්ථක කර ගන්නට දයාන්ගේ මවුතොමෝ දුන් සහය දයාන් තවදුරටත් මෙසේ විස්තර කළේය.
මං ගායකයෙක් වන විට මගේ මුදල් පරිපාලනය කළේ අම්මා විසින්. ඒ දවස්වල මං නිතරම කාලය ගෙව්වේ ලොකු නිදහසක් සහිතවයි. එවන් තත්ත්වයකදී “පුතේ ඔයා මේ ගීතය කරන්න. ඒ සඳහා මුදල් තිබෙනවා” යැයි මගේ මුදල් කළමනාකරණය කරමින් ඇය මගේ වෘත්තීය ගමන සාර්ථක කර ගන්නට උදවු කළා. මගේ ගීත ජනප්‍රිය වන විටත් අම්මා බොහොම සතුටු වුණා. ඡායාරූපකරණයේදී ඇති වන වෙහෙස ගීත ගායනයෙන් නිවා ගන්නට හැකි වන බව අම්මා නිතරම මට කියා දුන්නා. ඒ නිසා ගායනය වෙනුවෙන් කැප වෙන්නැයි අම්මා නිතරම උපදෙස් දුන් හැටි මට මතකයි.
සෝම හාමුදුරුවෝ අපවත් වුණු දවස්වල මං ගායනා කළ ගීතය ගැන ප්‍රශංසා කරමින් ගිහි පැවිදි බොහෝ පිරිසක් මා ආමන්ත්‍රණය කළේ ගෙදර දුරකතනයට කතා කරමින්. සෙලියුලර් ෆෝන් නොතිබුණු ඒ කාලේ ගෙදර ඉඳගෙන ඒ හැම ඇමතුමකටම පාහේ කතා කළේ අපේ അඅම්මා. ඉතින් එදා මට ලැබුණු ප්‍රතිචාර ගැන අම්මා බොහොම සතුටු වුණා.
ඉතින් අදත් මට කිසිදු පසුතැවිල්ලක් නෑ. මගේ හෘද සාක්ෂියට සතුටු විය හැකි පමණින් මං අම්මා වෙනුවෙන් යුතුකම් ඉටු කළා යන සිතුවිල්ල මගේ හදවතේ තිබෙනවා. අම්මා අපෙන් සමු අරගෙන අද වන විට වසර විස්සකට වැඩි කලක් ගෙවී ගොසින්. අම්මා අද වන තුරුත් හිටියා නම් හොඳයි කියා මට සිතුණත් ඇය අද ජීවතුන් අතර සිටියා නම් මේ වන විට ඉතාම දුබල තත්ත්වයක පසුවන්නට තිබුණා.
අපේ අම්මා මෙලොවින් සමු ගත්තේ පිළිකාවක් වැළඳීමෙන්. ජීවිතයේ අවසන් කාලයේ අම්මා බිව්වේ වතුර පමණයි. ඒ අවස්ථාවේදී වුණත් අම්මා මං වෙනුවෙන් කෑම පිසුවේ මට තිබුණු ආදරය නිසාමයි. ඇය මං එපා කිව්වත් ඒ කාර්යය ඉටු කළේ බොහොම භක්තියෙන්. ඒ දවස්වල නිර්මාංශ ජීවිතයක් ගත කළ මං කළුපොල් මාළුව කන්නට බෙහෙවින් ඇලුම් කළා. ඉතින් අම්මා ඇඳේ ඉඳන් ගෙදර වැඩ කරන අය ලවා ඒවා සකස් කරගෙන තුනපහ, පොල් ආදී අඩුම කුඩුම යොදා වෑංජනය ඒදමින් බොහොම රහට සකස් කළ ආකාරය මට මතකයි. ඒ කාලේ ඇයට ආහාර ගන්නට බැරි වුණත් මගේ ආසාවන් ඉටු කරන්නට ඇය නොපැකිළව කටයුතු කළේ ඒ ආකාරයෙන්.
අපේ අම්මාගේ ඇඳ ඉදිරියේ මගේ පින්තූරයක් සහ ඊට ඉහළින් බුද්ධ රූපයක් එල්ලා තිබුණා. ජීවිතයේ අවසන් කාලයේදී අම්මා මගේ පින්තූරය ගලවා දමන්නැයි අක්කාගෙන් ඉල්ලීමක් කළා. ඇත්තටම ඒ වන විට අම්මා මා සමඟ තිබුණු බැඳීමෙන් ඈත් වන්නට උත්සාහ දැරුවා කියා මා විශ්වාස කරනවා.
මං නැවත කිසිදු ආත්මයක මගේ අම්මාව ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඇය නිසැකවම නිවනට යා යුතු යැයි මා ප්‍රාර්ථනා කරනවා මිස මං ඒ අම්මාව නැවත ප්‍රාර්ථනා නොකරන බව කිව යුතුයි. ඇත්තටම ඒ අම්මා ඒ ස්වරූපය, ගති ලක්ෂණ සහිතව ආයෙත් සංසාරේ මට කවදාවත්ම හමු වන්නේ නෑ. ඒ නිසා මං අම්මා වෙනුවෙන් නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා මිස ඇයව මේ සංසාරයේ කිසිම දිනක ප්‍රාර්ථනා කරන්නේ නෑ.
ඒ වගේම මගේ යහපත් සිතුවිල්ල නිසාමදෝ මගේ අම්මාගේ වයසේම අම්මා කෙනෙක් මගේ ජීවිතයට සමීප වෙලා තියෙනවා. ඇය මගේ රසිකාවියක්. ඇය කමලා වඩුගොඩපිටිය. ඇය අපේ අම්මාට වඩා දවස් 23කට බාලයි. ඉතින් ඇයත් මගේ අම්මා වගේම අද සෙනෙහසින් යුතුව මට සහාය වෙනවා. මේ මොහොතේ ඇයවද සිහිපත් නොකළොත් අඩුවක් යැයි මා විශ්වාස කරනවා.

TEXT – ආර්.පී. මිහිරාන්