ගුරුවරු යනු අපගේ දෙවිවරුය. ඔවුහු අපට ගු රුහරුකම් මෙන්ම සමාජයේ ජීවත් විය යුතු යහපත් මාර්ගය නිබඳවම පෙන්වා දෙති. මේ එවන් ගුරු දෙවිවරුන් පිරිසක් එක්ව සංවිධානය කරන සුවිශේෂ අංගයක් ගැන කතාවකි. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ පානදුර නව නගර ශාලාවේය. පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ආදි ගු රු සංගමය විසින් මෙම ප්‍රසංගය සංවිධානය කරයි. දහසක් දරුවන්ගේ නුවණැස පාදා ඉසිඹු ලැබුවද ඉන් නොනැවතී දරුවන්ගේ සතුට සහ විනෝදය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන මේ ගු රු මව්වරුන් ගැනයි මේ…
පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයීය ආදි ගුරු සංගමය විසින් ඒ ආකාරයෙන් සංවිධානය කරන ‘ස්වර රංග අභිමානි’ ප්‍රසංගය මැයි 24 වැනි ඉරු දින පානදුර නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
දෙවැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ පළමුවැන්න මීට දස වසරකට පෙර 2016 වසරේදී පැවැත්විණි. සාමාන්‍යයෙන් පාසලක හෝ ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රසංගයක් සංවිධානය වන්නේ ජනප්‍රිය ආරාධිත කලාකරුවකු, කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙනි. එහෙත් පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයීය ආදි ගුරු සංගමය සිදු කරන මෙම ප්‍රසංගය වෙනස් මුහුණුවරක් ගනියි. මෙම ප්‍රසංගය සාම්ප්‍රදායික, නූතන, හින්දි මෙන්ම බටහිර ආදී වශයෙන් නර්තනාංග රැසකින් සමන්විතය. මෙහිදී රසිකයන්ට ලැබෙන සුවිශේෂ විනෝදාස්වාදය ගුරුවරුන්ට දරුවන් සමඟ සම්මුඛ වීමට ලැබෙන රසමුසු අත්දැකීම හරහා මෙම ප්‍රසංගය සමඟ ගෙවන හෝරා කිහිපය ප්‍රේක්ෂකයන්ට පෙර නොවූ විරූ අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානය.
සුමංගල බාලිකා විද්‍යාලයේ 1980, 1990 සහ 2000න් පසු විශ්‍රාම ලැබූ ගුරුවරු මෙම ප්‍රසංගයට දායක වෙති. මෙහි පරම්පරා කිහිපයක ගුරුවරුන් සිටීම ද විශේෂත්වයකි. ඒ අනුව ඇතැම් ගුරුවරුන්ගේ ගුරුවරුන්ද මෙම ප්‍රසංගයේදී එක්ව නර්තනයේ යෙදීම ප්‍රේක්ෂකයන්ට මෙන්ම ආදි සුමංගල බාලිකාවන්ට ද ලබා දෙන්නේ නැවුම් රසාස්වාදයකි.
මෙහි නැටුම් ගුරුවරුන් මෙන්ම ජීව විද්‍යාව, රසායන විද්‍යාව, වාණිජ ගුරුවරුන්, ශ්‍රේණි භාර ආචාර්යවරුන්, විවිධ සංගම් භාර ආචාර්යවරුන්, විදුහල්පතිවරුන් ආදී නර්තනයට කිසිදු සම්බන්ධයක් නොමැති, ජීවිත කාලය පුරා නර්තනය හදාරා නොමැති, නර්තනය ප්‍රගුණ නොකළ ගුරුවරුන්ද මෙම ප්‍රසංගයට සහභාගි වෙති. මෙම ප්‍රසංගයෙහි ගුරුවරියන් 50 දෙනකු පමණ නර්තනයෙන් දායක වන අතර මෙම කණ්ඩායමේ වයස්ගතම ගුරු මෑණියන් අනූ තුන්වැනි වියෙහි පසු වන්නීය. ඇය ස්වර්ණමාලි රුද්‍රිගූ ගුරුතුමියයි.
මෙම ප්‍රසංගය පානදුර සුමංගල බාලිකා විදුහල් ආදි ගුරු සංගමයේම සංකල්පයක් අනුව සංවිධානය වන්නකි. ශ්‍රී සුමංගල විදුහල් ආදි ගුරු සංගමය හැරුණු විට මේ සඳහා වෙනත් අංශවල සහභාගිත්වය අවම අගයක පවතී. එහෙත් මෙම ප්‍රසංගය සඳහා සුමංගල බාලිකා විදුහලේ වත්මන් ශිෂ්‍යාවන්ගේ මෙන්ම ආදි ශිෂ්‍යාවන්ගේ ද නොමඳ සහයෝගය හිමි වෙයි.
සුමංගල බාලිකාවේ විශ්‍රාමික විදුහල්පතිනියක වන සී.ජේ. සිටුගේ, ලලිතා පතිනායක සහ ජයන්ති ප්‍රනාන්දු ගුරු මහත්මීහු මෙම ප්‍රසංගයේ ප්‍රධාන තැනක් ගෙන කටයුතු කරති. ඒ අනුව මෙම ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායකවරුන් අතර ප්‍රමුඛත්වයෙහිලා කටයුතු කරන ගුරුවරුන් දෙපළක් තරුණී අප හා කතාබහට එක් වූහ.
ආදි ගුරු සංගමයේ සභාපති විශ්‍රාමික විදුහල්පතිනි සී.ජේ. සිටුගේ මහත්මිය ප්‍රසංගය ගැන මෙසේ අදහස් පල කළාය.
“ආදි ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම, ඔවුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය වර්ධනය කිරීම, හුදෙකලා බව නැති කර ආශ්වාදයක් ලබා දීම, විශ්‍රාමික ගුරුවරුන්ට වුව සමාජයට කිසියම් මෙහෙවරක් ලබා දිය හැකි පිරිසක් බව පෙන්වා දීම ආදිය මෙම ප්‍රසංගයේ අරමුණු අතර වෙයි. මේ සෑම දෙයකින්ම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උපකාර කර ගැනීම, ලෙඩ දුක්වලදී දුක සැප බෙදා ගැනීම මෙහි වක්‍ර අරමුණු ලෙස පෙන්වා දිය හැකියි.
2016 අප සංවිධානය කළ ප්‍රසංගයට වඩා උසස් ආකාරයෙන් මෙවර ප්‍රසංගය පැවැත්වීමට අප සැලසුම් කර තිබෙනවා. මෙහිදී අපේ පාසලේ ආදි ශිෂ්‍යාවන්ද මෙම ප්‍රසංගය වෙනුවෙන් මහත් කැපවීමෙන් සහාය වෙනවා. ඒ කාලේ අපි ඔවුන්ට ඉගැන්වූවා වගේම මේ ප්‍රසංගයේ පුහුණුවීම්වලදී ඔවුන් අපට උපදෙස් සහ ගුරුහරුකම් ලබා දෙනවා. එය ඉතාම සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. ඒ වගේම මේ ප්‍රසංගය වෙනුවෙන් සුමංගල ආදි ශිෂ්‍යාවන් මූල්‍යමය වශයෙන් මෙන්ම ශ්‍රමයෙන්ද ආධාර උපකාර ලබා දෙන බව කිව යුතුයි.
ඒ වගේම ඔවුන්ට ඉගැන්වූ ගුරුවරු වේදිකාවට නැඟලා නර්තනයේ යෙදෙනවා බලා සිටින දරුවන්ගෙන් උණුසුම් ප්‍රතිචාර මේ වන විටත් හිමි වී තිබෙනවා. ඔවුන් මේ ප්‍රසංගය නැරඹීමට ඉතාම කැමැත්තෙන් පසු වන බව කිව යුතුයි. ඉතින් අපෙන් ඉගෙන ගත් දරුවන් ඉදිරියේ අපට මේ ප්‍රසංගය පැවැත්වීමට හැකි වීම ගැන ගොඩාක් සතුටුයි. අපි වගේම ඔවුනුත් එදාට විශාල ආශ්වාදයක් ලබාවි.”
ආදි ගුරු සංගමයේ සාමාජිකා, ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක ආදි ගුරු ලලිතා පතිනායක දැක්වූ අදහස් මෙසේය.
“2016 ප්‍රසංගයට වඩා මෙවර ප්‍රසංගයේදී පාසලේ ආදි සිසුන්ගේ මෙන්ම වත්මන් සිසුන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබෙනවා. ඔවුන්ගේ සහයෝගයද පෙර ප්‍රසංගයට වඩා හිමිව තිබෙන බව කිව යුතුයි. 2016 වසරේ මෙම ප්‍රසංගය පවත්වද්දී සමාජ මාධ්‍ය ආදිය වඩාත් ප්‍රචලිතව තිබුණේ නැහැ. ඉතින් අද වන විට සමාජ මාධ්‍ය ජනප්‍රිය මාධ්‍යයක්ව පවතින නිසා මෙවර ප්‍රසංගය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති බව කිව යුතුයි.”

තොරතුරු සඳහා සම්බන්ධීකරණය
පානදුර සුමංගල
බාලිකා විද්‍යාලයේ
ආදි ශිෂ්‍යා ශේන්‍යා ප්‍රනාන්දු
TEXT – ආර්. පී. මිහිරාන්
