Monday, June 15, 2026
Epaper
Home වෛද්‍යකම්බි නොදා දත් හදන අලුත්ම ප්‍රතිකර්මය Clear Aligner

කම්බි නොදා දත් හදන අලුත්ම ප්‍රතිකර්මය Clear Aligner

by Shanaka Lakehouse

දත් දෙපළ පිළිබඳ කතාකරද්දි අපි එදා ඉඳලම අසා තිබුණේ මුතුවන් දත් දෙපළක් ගැනයි.

ළගන්නාසුළු සිනහවකට මඟ පාදන දත් දෙපලක් මෙන්ම නීරෝගි දත් දෙපළකට කවුරු නම් ලොබ නොකරයිද?

දත්වල පිහිටීම එක අයකුගෙන් තවත් අයකුට වෙනස් වේ. බොහෝ දෙනාගේ දත්වල යම් යම් විකෘති පිහිටීම් දක්නට ලැබේ. මේ අයට විකලාංග දන්ත ප්‍රතිකාර (Orthodontic Treatments) යොමු වීමට සිදුවේ.

විකලාංග දන්ත ප්‍රතිකාර යනු

මෙයින් සිදු කරන්නේ අපිළිවෙළට පිහිටා ඇති දත් නිසි පිළිවෙළකට සකස් කිරීමයි. අපිළිවෙළට පිහිටා ඇති විට උඩ හනුව හා යටි හනුව සමාන්තරව නොපිහිටයි. මෙහිදී උඩ හනුවේ හා යටි හනුවේ පිහිටි දත්එකිනෙකට ගෑවෙන අන්දමින් ක්‍රමවත්ව සකසා මුඛය හොඳින් වැසෙන පරිදි පිහිටුවයි.

දත් වල පිහිටීමේ කුමන හෝ විකෘතිතා තිබේ නම් විකලාංග දන්ත ප්‍රතිකාර සඳහා ඇති විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් කෙරෙහි යොමු වීම අත්‍යවශ්‍ය වේ. ඔබේ දත්වල පිහිටීම පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔබට අවශ්‍ය වන්නේ කුමන අන්දමේ ප්‍රතිකාරයක්ද, ඒ සඳහා කොපමණ කාලයක් ගතවේද, කොපමණ කාලයකින් ප්‍රතිකර්ම නැවැත්විය යුතුද යන්න නිගමනයට එළැඹේ.

විකලාංග දන්ත ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. ඇතැම් රෝග සඳහා ගැලවිය හැකි උපකරණ(Removeable appliance) සවිකරයි. තවත් අයකුට ගැලවිය නොහැකි උපකරණ( Fixed applliance) සවිකරයි. විකලාංග දන්ත ප්‍රතිකාරවලදී දත් නිසි ලෙස පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩ නොමැති නම් දෙපැත්තෙන් දත් දෙකක් ගැලවීම සිදුකරයි. ඉන්පසු ඇතිවන හිඩැස භාවිත කර දත් නිසි ලෙස පිහිටුවයි. දත් අතර හිඩැස් ඇත්නම් එසේ කිරීම අවශ්‍ය නොවේ.

දත් කැරකී තිබෙන අවස්ථා, හනුවෙන් පිටත ඇති අවස්ථා විකලාංග දන්ත ප්‍රතිකාරවලදී දක්නට ලැබේ. එහිදී විවිධාකාර කම්බි ආදිය භාවිතකර දත් නිසි ලෙස පිහිටුවයි.

Clear Alingners ක්‍රමය

මෙම ප්‍රතිකාරය විකලාංග දන්ත ප්‍රතිකාරවල ඇති නවතම ක්‍රමයකි. මෙම ප්‍රතිකාර ක්‍රමය සඳහා යොමු වීමට නම් රෝගියාගේ මුඛ සෞඛ්‍යය ඉතාම යහපත් මට්ටමේ පැවතිය යුතුයි. විදුරු මස් රෝග, දත් දිරා යෑම…වැනි තත්ත්ව ඇත්නම් ඒවා සියයට සියයක්ම සුව වූ පසුවයි ප්‍රතිකර්මය කරා යා යුතු වන්නේ.

මෙය තරමක් වියදම් අධික ප්‍රතිකාර ක්‍රමයකි. රජයේ දන්ත රෝහල්වල මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කෙරෙන්නේ ඉතාම අවම වශයෙනි. ඒ සඳහා අවශ්‍ය වන උපාංග අධික මිල ගණනින් යුතුවීම ඊට හේතුවයි. ඒ වෙනුවට මෙතෙක් කල් සිදු කළේ අප කා අතරත් ජනප්‍රිය කම්බි දැමීමේ ක්‍රමයයි. එය විකලාංග දත් මනාව පිහිටුවීම සඳහා ඇති අති සාර්ථක ක්‍රමය වූවත් එය මතුපිටින් පෙනෙන පෙනුමට බොහෝ දෙනා කැමති වන්නේ නැත. උත්සව අවස්ථාවකට වැනි දේකට සහභාගි වද්දී එය ගලවා යෑමට සිදුවේ. සිනහවට, පෙනුමට මෙම ක්‍රමය බාධාවක් එල්ල කළත් Clear Aligners ක්‍රමය එම බාධාවන් සියල්ල මඟහරවයි.

එසේම විදුරු මස් රෝග වැනි දෑ පසු කලකදී සෑදීම අවම වේ.

Clear Alingners ක්‍රමයට දත් දෙපළ සකසා ගන්නේ කොහොමද?

Clear Aligners (පැහැදිලි, ඉවත් කළ හැකි දත් සකස් කිරීමේ තැටි) භාවිතයෙන් දත් සකස් කරන්නේ මෙහෙමයි.

දන්ත වෛද්‍ය පරීක්ෂාව

මුලින්ම Orthodontist (දත් පෙළ සකස් කිරීමේ විශේෂඥ වෛද්‍යවරයකු) හමුවීමෙන් වෛද්‍යවරයා දත් පරීක්ෂා කරයි. දත්වල ඡායාරූප, X-ray සහ 3D scan ලබාගනී.

ප්‍රතිකාර සැලැස්ම සකස් කිරීම

3D scan එක භාවිතකර ප්‍රතිකාරය අවසානයේ දත් දෙපළ කුමන අන්දමින් පෙනේවිද යන්න දක්වන ඩිජිටල් සැලැස්මක් සකස් කරයි.

Aligners සෑදීම

ඔබගේ දත් සඳහාම ගැළපෙන පැහැදිලි තැටි මාලාවක් නිෂ්පාදනය කරයි. සෑම තැටියක්ම දත් ටික ටික අවශ්‍ය ස්ථානයට ගෙන යයි.

දිනපතා පැලඳීම

දිනකට පැය 20–22ක් පමණ පැලඳිය යුතුය.

කෑම කන විට සහ දත් මදින විට පමණක් ඉවත් කරයි.

සාමාන්‍යයෙන් සති 1–2කට වරක් අලුත් aligner එකකට මාරු වේ.

නිරන්තර පරීක්ෂාව

සති කිහිපයකට වරක් වෛද්‍යවරයා හමුවී දත් නිවැරදිව අවශ්‍ය ස්ථානයේ පිහිටන්නේ දැයි පරීක්ෂා කරයි.

Retainer භාවිතය

ප්‍රතිකාරය අවසන් වූ පසු දත් නැවත පෙර ස්ථානයට නොයන ලෙස Retainer එකක් පැලඳිය යුතුය.

වාසි

*එවැන්නක් පැළඳ ඇතැයි බැලූ බැල්මට නොපෙනේ. එනම් මෙම ක්‍රමයට පලඳින්නේ පාරදෘශ්‍ය ට්‍රේ එකක් වැනි දෙයක් නිසා එය පැලඳ සිටීම අපහසුවකින් තොර වන අතර පිටතට එවැන්නක් පැලඳ සිටී යයි එතරම් පැහැදිලිව දිස් නොවේ

*ඉවත් කළ හැකි බැවින් ආහාර ගැනීම පහසුය.

*දත් පිරිසුදු කිරීම පහසුය.

සාමාන්‍ය braces වලට වඩා මුඛයට සුවපහසු විය හැකියි.

අවාසි

*නියමිත වේලාවට නොපැලඳුවහොත් ප්‍රතිඵල අඩුවේ.

*සියලුම දන්ත ගැටලු සඳහා සුදුසු නොවිය හැකියි. එනම් දත්වල විකෘතිතාව වැඩිනම් මෙවැනි ප්‍රතිකාර ක්‍රමයක් සඳහා යා නොහැකි වේ.

*සාමාන්‍ය braces වලට වඩා මිල අධික වේ.


TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?