මිනිස් සිරුර තුළ ජීවත් වන ක්ෂුද්‍රජීවීන් සංඛ්‍යාව ට්‍රිලියන ගණනක් වන අතර, ඒවායෙන් විශාල ප්‍රමාණයක් අන්ත්‍ර පද්ධතිය තුළ වාසය කරයි. මෙම ක්ෂුද්‍රජීවීන්ගේ එකතුව අන්ත්‍ර ක්ෂුද්‍රජීව සමූහය (Gut
Microbiome) ලෙස හැඳින්වේ. පසුගිය වසර කිහිපය තුළ සිදුකළ පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙම ක්ෂුද්‍රජීවීන් ආහාර ජීර්ණයට පමණක් නොව, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, පෝෂක අවශෝෂණය, මානසික සෞඛ්‍යය සහ සමස්ත ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ද වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි. අසමබර ආහාර රටාව, ප්‍රතිජීවක ඖෂධ භාවිතය, මානසික ආතතිය සහ ආසාදන වැනි හේතු නිසා මෙම ක්ෂුද්‍රජීවීන්ගේ සමතුලිතතාව බිඳවැටෙන්නේ ශරීරයේ ද සමස්ත ක්‍රියාකාරීත්වය අඩාළ කරමිනි. එවැනි අවස්ථාවලදී අන්ත්‍ර සෞඛ්‍යය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රීබයෝටික් සහ ප්‍රෝබයෝටික් වැදගත් සහායක් ලබාදේ.
ප්‍රෝබයෝටික් යනු කුමක්ද?
ප්‍රෝබයෝටික් යනු ප්‍රමාණවත් ලෙස ලබාගත් විට සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන ජීවමාන ක්ෂුද්‍රජීවීන් වේ. මේවා සාමාන්‍යයෙන් “හොඳ බැක්ටීරියා” ලෙස හඳුන්වනු ලබන අතර, අන්ත්‍රයේ ස්වාභාවික බැක්ටීරියා සමතුලිතතාව පවත්වා ගැනීමට සහ නැවත ගොඩනැඟීමට උපකාරී වේ. Lactobacillus, Bifidobacterium සහ Saccharomyces boulardii වැනි බැක්ටීරියා සහ යීස්ට් වර්ග ප්‍රෝබයෝටික් ලෙස බහුලව භාවිත කෙරේ.
ප්‍රීබයෝටික් යනු කුමක්ද?
ප්‍රීබයෝටික් යනු ජීර්ණය නොවන ආහාර සංඝටක වන අතර, ඒවා අන්ත්‍රයේ හිතකර බැක්ටීරියා සඳහා ආහාර ලෙස ක්‍රියා කරයි. මේවා ජීවමාන ජීවීන් නොවන නමුත්, හොඳ බැක්ටීරියාවල වර්ධනය සහ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. Inulin, Fructooligosaccharides (FOS) සහ Galactooligosaccharides (GOS) වැනි ද්‍රව්‍ය ප්‍රීබයෝටික් ලෙස බහුලව හඳුනාගෙන ඇත.
ප්‍රීබයෝටික් සහ ප්‍රෝබයෝටික් අතර වෙනස
ප්‍රෝබයෝටික් යනු ජීවමාන හිතකර ක්ෂුද්‍රජීවීන් වන අතර, ප්‍රීබයෝටික් යනු එම ජීවීන් සඳහා ආහාර සපයන ද්‍රව්‍ය වේ. සරලව කිවහොත්, ප්‍රෝබයෝටික් යනු “හොඳ බැක්ටීරියා” වන අතර, ප්‍රීබයෝටික් යනු ඒවා පෝෂණය කරන “ආහාර” වේ. මෙම දෙකම එකට අඩංගු නිෂ්පාදන සින්බයෝටික් (Synbiotic) ලෙස හැඳින්වේ.
ක්‍රියාකාරීත්වය
ප්‍රෝබයෝටික් අන්ත්‍රයේ අඩු වී ඇති හිතකර බැක්ටීරියා නැවත පුරවා දීමෙන් ක්‍රියා කරයි. ඒවා රෝගකාරක බැක්ටීරියා සමඟ තරග කරමින් ඒවායේ වර්ධනය පාලනය කරයි. එමෙන්ම අන්ත්‍ර බිත්තිය ශක්තිමත් කිරීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රිය කිරීම සහ පෝෂක අවශෝෂණය වැඩිදියුණු කිරීම ද සිදු කරයි.
අනෙක් අතට, ප්‍රීබයෝටික් විශාල අන්ත්‍රයට ළඟා වී හිතකර බැක්ටීරියා සඳහා පෝෂණය සපයයි. එම ක්‍රියාවලියෙන් නිපදවෙන කෙටි දාම මේද අම්ල අන්ත්‍ර සෛලවල සෞඛ්‍යය පවත්වා ගැනීමට සහ ප්‍රදාහය අඩු කිරීමට උපකාරී වේ.
භාවිතකිරීම
ප්‍රීබයෝටික් සහ ප්‍රෝබයෝටික් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත බොහෝ ගැටලු සඳහා භාවිත කරයි. ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් පසු ඇතිවන පාචනය, ආසාදනමය පාචනය, මලබද්ධය, බඩ පිපුම, Irritable Bowel Syndrome (IBS) සහ අජීර්ණය වැනි තත්ත්වයන්හිදී ඒවා ප්‍රයෝජනවත් විය හැකිය.
ළදරුවන්ගේ කොලික් තත්ත්වය පාලනය කිරීම, අන්ත්‍ර ආසාදන අවදානම අඩු කිරීම සහ ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම සඳහා ද ප්‍රෝබයෝටික් භාවිත කරයි. මීට අමතරව, ස්ථූලතාව, දියවැඩියාව සහ මානසික සෞඛ්‍යය සමඟ ඇති සම්බන්ධතා පිළිබඳව පර්යේෂණ තවදුරටත් සිදු වෙමින් පවතී.
ස්වාභාවික ආහාර ප්‍රභව
ප්‍රෝබයෝටික් යෝගට්, කෙෆීර්, කිම්චි සහ වෙනත් පැසවූ ආහාරවල ස්වාභාවිකව දක්නට ලැබේ. පැසවූ ආහාර (Fermented Foods) යනු බැක්ටීරියා, යීස්ට් හෝ වෙනත් හිතකර ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මඟින් ස්වාභාවිකව වෙනස් කර සකස් කරන ලද ආහාර වේ. මෙම ක්‍රියාවලිය පැසවීම (Fermentation) ලෙස හැඳින්වේ. ප්‍රීබයෝටික් කෙසෙල්, ලූනු, සුදුලූනු, ඕට්ස්, ඇපල් සහ ධාන්‍ය වර්ගවල බහුලව අඩංගු වේ. සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර රටාවක් මඟින් මෙම සංඝටක ස්වාභාවිකව ලබාගත හැකිය.
අතුරු ආබාධ
බොහෝ පුද්ගලයන් සඳහා ප්‍රීබයෝටික් සහ ප්‍රෝබයෝටික් ආරක්ෂිත ලෙස සැලකේ. කෙසේ වෙතත්, ආරම්භක අවධියේදී බඩ පිපුම, වායු පිටවීම වැඩි වීම, උදර අපහසුතාව සහ තාවකාලික පාචනය වැනි සුළු අතුරු ආබාධ ඇති විය හැකිය. බොහෝවිට මෙම රෝග ලක්ෂණ දින කිහිපයකින් අඩුවෙයි.
ඉතා දුර්ලභ අවස්ථාවලදී අසාත්මික ප්‍රතික්‍රියා හෝ දරුණු ආසාදන ඇතිවිය හැකි බැවින්, දැඩි ප්‍රතිශක්ති ඌනතා ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් යටතේ පමණක් මේවා භාවිත කළ යුතුය.
ප්‍රවේශමෙන් භාවිතා කළ යුතු අවස්ථා
දැඩි රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයන්, පිළිකා ප්‍රතිකාර ලබන රෝගීන්, ICU ප්‍රතිකාර ලබන අය සහ ප්‍රතිශක්තිකරණය ඉතා දුර්වල පුද්ගලයන් ප්‍රෝබයෝටික් හෝ ප්‍රීබයෝටික් භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. එමෙන්ම නිෂ්පාදනයේ සංඝටකවලට අසාත්මිකතා ඇති පුද්ගලයන් ද සැලකිලිමත් විය යුතුය.
ගර්භිණී සහ මවුකිරි දෙන කාන්තාවන් සඳහා භාවිතය
බොහෝ ප්‍රෝබයෝටික් සහ ප්‍රීබයෝටික් නිෂ්පාදන ගර්භිණී සමයේදී සහ මවුකිරි දෙන කාලයේදී සාමාන්‍යයෙන් ආරක්ෂිත ලෙස සැලකේ. කෙසේ වෙතත්, ඕනෑම අතිරේකයක් භාවිතයට පෙර වෛද්‍යවරයකුගේ හෝ ඖෂධවේදියකුගේ උපදෙස් ලබාගැනීම සුදුසුය.
ප්‍රීබයෝටික් සහ ප්‍රෝබයෝටික් යනු
අන්ත්‍ර සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා වැදගත් වන සංඝටක දෙකකි. ප්‍රෝබයෝටික් මඟින් හිතකර ක්ෂුද්‍රජීවීන් සිරුරට ලබාදෙන අතර, ප්‍රීබයෝටික් මඟින් එම ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය සපයයි. මේවා නිවැරදිව භාවිත කිරීමෙන් ආහාර ජීර්ණ සෞඛ්‍යය, ප්‍රතිශක්තිකරණය සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කරගත හැකිය. එහෙත්, ඕනෑම අතිරේකයක් මෙන්ම, ඒවා භාවිත කිරීමේදී පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු වේ.
TEXT – විදුමිණි දිසාකරුණා
