වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
රටට බරක් නොවී උත්සාහයෙන් දියුණු වෙමු
අඩු වයසේදීම දියුණුවේ ඉහළට ගිය හංසිනී
වයස අවුරුදු 18 පසු වූ සෑම කෙනෙක්ටම ස්වාධීන ලෙසින් ජීවත්වීමේ අයිතිය තිබේ. එහෙත් ඒ අතරින් පවුලට සමාජයට, රටට බරක් නොවී ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනා ද?
පාසල් අධ්‍යාපනය හැරගිය පසුව ඉන් ඉක්බිති උසස් අධ්‍යාපනයට යොමුවීම හැරුණු කොට ඔහුට/ඇයට රටේ ආර්ථිකයට දායක විය හැකියි. මේ ශ්‍රමදායකත්වය ඔවුන්ගේ අනාගතයට සවියකි. රටට ශක්තියකි.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (ඉථචතත ඡ්දබඥපනපඪඵඥඵ ච්ඥමඥතධනථඥදබ ච්ඪමඪඵඪධද - ඉඡ්ච්)
මඟ පෙන්වීම ඇත්තේ දිරියෙන් නැඟී සිටින එවන් උදාර මිනිසුන් වෙනුවෙන්මය.
ඇය හංසිනී බණ්ඩාර. වයස අවුරුදු 21කි. පාවහන් නිෂ්පාදනාගාරයක් සහ පාවහන් අලෙවිසල් දෙකක හිමිකාරිනියකි. නුදුරු දිනයකදී ඇගේ නවතම පාවහන් අලෙවිසල ඔබ වෙනුවෙන් විවෘත වීමට නියමිතයි. රටේ ආර්ථික වර්ධනයට ඇගේ දායකත්වය මෙතරම් ප්‍රබල වීම ඔබ පුදුමයට පත්කරන කරුණක් විය හැකියි. සැබැවින්ම ඒ ඇගේ උත්සාහයේ, ධෛර්යයේ, අධිෂ්ඨානයේ ප්‍රතිඵලයකි.
“මගේ උපන් ගම කෑගල්ල. ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් 2017 වසරේදී උසස් පෙළ හැදෑරුවා. ඒ තාක්ෂණවේදය විෂයන්වලින්. ඉන්පසුව රත්මලාන ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට එකතු වුණා. මම කාලය තත්පරයකින්වත් අපතේ යවන්න අකැමැති කෙනෙක්. ඒ නිසාම සති අන්තයේ ගැෆ්‍රික් ඩිසයින් පාඨමාලාවකටත් යොමු වුණා. මේ පාඨමාලාවල නිවාඩු ලැබෙන කාලයේ දී කළමනාකරණ පුහුණු වැඩසටහන් කීපයකටත් සහභාගී වුණා. මෙහෙම වසර 1 1/2 ක් විතර කාලයක් මම රත්මලානේ බෝඩිමක නැවතී අමතර පාඨමාලා කීපයක්ම කළා. කාලයත් එක්කම මගේ බෝඩිමේ ගාස්තුව පියවීමට මුදල් ගෙදරින් එවුවේ නැහැ. මට කෑම එකක් ගන්නවත් අතේ සල්ලි නොතිබුණ දවසුත් තිබුණා. ඇත්තටම එවන්න සල්ලි ගෙදර අයට තිබුණේ නැහැ.
අපේ ගෙදර දූවරුම තුන් දෙනයි. මම පවුලේ වැඩිමලා. ලොකු නංගි 10 වසරේ. පොඩි නංගි එක වසරේ. ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. අපේ තාත්තා රැකියාවක් විදිහට පාවහන් නිෂ්පාදනය කරන කෙනෙක්. මේ පවුල නඩත්තු කරන ගමන් මගේ බෝඩිං ගාස්තුව එවන්න, වියදමට සල්ලි දෙන්න තාත්තාට නොහැකි බව මට වැටහුණා. තවදුරටත් රත්මලානේ බෝඩිමේ ඉන්න බැරි නිසා මා ආපසු ගමට ආවා. ඒ තාත්තා පුංචියට කරගෙන යන පාවහන් නිෂ්පාදනයට එකතු වෙන්න සිතාගෙන.
මම පුංචි කාලෙදි තාත්තා සෙරෙප්පු හදනා අයුරු බලන් හිටියා. සෙරෙප්පු හදන්න පොඩි පොඩි සහයෝග දීලත් තියෙනවා. ඒ නිසා මේ ගැන අවබෝධයක් තිබණා. ඉන්පසුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ (ඉඡ්ච්) සහයෝගය ලබාගත්තා. ඔවුන්ගේ උපදෙස් බෙහෙවින් වැදගත් වුණා. මොකද තාත්තා මේක කරගෙන ගියේ මගේ නමින්. ඒත් පාවහන් ව්‍යාපාරයක් කාන්තාවකගේ නමින් ගෙන යාම හරිම අමාරුයි. එබැවින් වෙළෙඳපොළ ජයගන්න බැරිබව ඉඡ්ච් එකෙන් කිවුවා. ඒ අනුව අන්තර්ජාලයේ දැනුමත් එකතුකර ගනිමින් ‘ක්‍රොකඩයිල් ලෙදර් ප්‍රඩක්ට්ස්’ ‘ඛ්පධජධඤඪතඥ තඥචබඩඥප ර්‍ථපධඤභජබ’ නම මා ලියාපදිචි කළා. ඇත්තටම ඒ නම මේකට ගැළපුණා.
නම වගේම නිෂ්පාදනයේ ගුණාත්මක බවත් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණා. සමහර දවස්වල තුන්වේල කෑම ගන්න වෙලාවක් නැතිවුණා. මම අසනීප වේවි යැයි බියකුත් ඇතිවුණා. ඒ තරමට මම මගේ ස්වයං රැකියාව දේවකාරියක් කරගත්තා. කාලයක් ගතවූ පසුව පුංචි ණය මුදලක් ගත්තා. අමුද්‍රව්‍ය වැඩිපුර ගෙනාවා. එයින් නිෂ්පාදන ප්‍රමාණය කොහොමහරි වැඩිකර ගත්තා. ඒත් පාරිභෝගික විශ්වාසය දිනාගන්න හරිම අපහසුයි. කිසිදා පියවරක් පිටුපසට නොතබන්න මා පුරුදු වී සිටි බැවින් එයින් කඩා වැටුණේ නැහැ. ටික කාලයකින් මුලින් ගෙන ගිය අය නැවත මගෙන් නිෂ්පාදන ඉල්ලාගෙන ආවා.
කොහොමහරි කාන්තා, පිරිමි දෙපාර්ශ්වය සඳහාම මා අද ලෙදර් පාවහන්, සපත්තු නිෂ්පාදනය කරනවා. ඇත්තෙන්ම තරුණී කියවන සුවහසක් පාඨක ඔබට මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමන්ව සහ තමන්ගේ ගෙදර සාමාජිකයන් වෙනුවෙන් කළ යුතු දෙයක් වේ නම් ඒ වගකීම ඔබ අතට ගන්න. අපේ තාත්තාගේ ව්‍යාපාරය කඩාවැටුණු වෙලාවෙ ඒකට මැදිහත් වුණේ නැතිනම් අපේ පවුල අසරණ වෙනවා. ඒ වෙලාවෙ මේ තරම් දියුණුවක් මා අපේක්ෂා කළේ නැහැ. එහෙත් කළයුතු දේ හොඳම වෙලාවට හොඳම විදිහට කළා.
අද අංක 49/9, යුද හමුදා කඳවුර අසල, බෙරගල පාර, දික්ඇල්ල, කෑගල්ල. නගරයේ ‘ක්‍රොකඩයිල් ලෙදර් ප්‍රඩක්ට්ස්’ නමින් විරාජමාන වන්නේ මගේ අපරිමිත උත්සාහයේ කැඩපතයි.
ඉන්පසුව අතරමඟ නවතා දැමූ මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ පාඨමාලාව මා දැන් සති අන්තයේ දී හදාරනු ලබනවා. අපේ නිවෙස ලස්සනට ගොඩනැඟෙනවා. නංගිලා දෙන්නා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මේ සියල්ල දෙස මගේ ආදරණීය අම්මායි, තාත්තායි බලා හිඳිමින් ආශීර්වාද කරනවා.
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් නිරතුරුවම මා දිරිගැන්වීම් කරනවා. ඉදිරියේදී විදෙස් පුහුණුවක් සඳහාත් ඔවුන් මාව යොමුකරන්නට කටයුතු සුදානම්කර අවසන්. එමෙන්ම ගල්කිස්ස නගරයේ දී මගේ නවතම පාවහන් නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමට නියමිතයි.
ඇත්තටම පුංචිම වයසකද මම ව්‍යාපාරික ලෝකයේ ආ දුර ගැන නිහතමානී ආඩම්බරයක් නැතුවාම නොවේ."