සාර්ථක ව්‍යවසායිකාවක් වීමට වයස ප්‍රශ්නයක් නැහැ

මාතර චමිල ඇන්තූරියම් හි හිමිකාරිණිය නන්දා
ඔක්තෝබර් 2, 2019

ඉගෙනුමට වයස් සීමාවක් නොමැත. ඒ වගේමයි තමන්ගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් නියමිත වයසක් නොමැත. ඇය අපට ගෙන දෙන්නේ එවන් පණිවිඩයකි.

මාතර, මිල්ලවැව, ගන්දර පදිංචි මේ දිරිය මාතාවට දැන් වයස අවුරුදු 71 ක්. ඇය සාර්ථක ව්‍යවසායිකාවක් වීමේ සිහිනය දැක ඇත්තේ මීට වසර කිහිපයකට පෙරය. අද වන විට තම පවුලේ ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත කරවීමට තරම් ඇගේ උත්සාහය මල්පල ගැන්වී තිබේ. මේ ඒ දිරිය මවගේ දිරිය කතාවයි.

මම නන්දා විතාරණ. මාතර බටහිර කපුගම. මා විවාහ වූයේ කපුගම නැගෙනහිර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් සමඟ ඔහු මාව කැන්දාගෙන ගිය දා පටන් මගේ ජීවිතයට කිසිදු අඩුපාඩුවක් කළේ නැහැ. සැබැවින්ම ආදරණීය සැමියෙක්. ඔහු ව්‍යාපාරයක් ලෙසින් ඇඳුම් තොග සහ සිල්ලරව අලෙවි කළා. ඇත්තෙන්ම ඔහු හරිම හිත හොඳ සංවේදී පුද්ගලයෙක්. මේ නිසාම ඇඳුම් ණයට ලබා දී නැවත මුදල් ගන්න බැරිවන තරමට ඔහු අසරණ වුණා. කාලයක් යද්දි ව්‍යාපාර බංකොලොත් වුණා. මේ වන විට අපේ පවුලට දියණියන් දෙදෙනක් සහ පුතෙක් එකතුවෙලා. ඒ නිසා පවුලේ වගකීම් වැඩිවුණා.

ඒ අයගේ කටයුතු කරන්න, අධ්‍යාපනයට මේ සියල්ලට මුදල් අපට තිබුණේ නැහැ. දරුවෝ තුන්දෙනෙක් එක්ක ජීවිතේ ගැටගහගෙන යාම මට ලොකු අභියෝගයක් වුණා. සැමියාටත් ආර්ථික ශක්තියක් ලබාදීමේ අරමුණින් මා මල්පැළ තවානක් ආරම්භ කළා.

ඒ වන විටත් මම මිදුලේ ලස්සනට මල් විශේෂ ගණනාවක් හිටවලා තිබුණා. ඉතිං ඒක ස්වයං රැකියාවක් කර ගන්න හිතුණා. ඇත්තටම මට ටික දවසකින් ස්වයං රැකියාවක් කියන ආකල්පය බැහැර කර ගත්තා. මට ඕනෙ වුණේ සාර්ථක ව්‍යවසායිකාවක් වීමටයි.

ඒ සංකල්පය ඇති කළේ මාතර ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයයි. (ඉථචතත ඡ්දබඥපනපඪඵඥඵ ච්ඥමඥතධනථඥදබ ච්ඪමඪඵඪධද) හි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඉඡ්ච් යයි.

ඇත්තෙන්ම මා මගේ වයසත් එක්ක ව්‍යාපාරයක් ගොඩනගාගන්න හැකිවේදෝයි බයකින් හිටියේ. එහෙත් ව්‍යවසායිකාවක් වෙන්න ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න වයස් භේදයක්, ස්ත්‍රී පුරුෂ භේදයක් ඇතිවන්නේ නැහැයි ඔවුන් මාව දිරි ගැන්වූවා.

එයින් දිරිමත් වුණු මා මගේ පුතුගේ නමින් චමිල ඇන්තූරියම් පැළ තවාන ආරම්භ කළා. මුලින්ම තිබුණේ පැළ ටිකයි. අද වන විට අක්කර 1 1/2 ක් දක්වා මෙය ව්‍යාප්ත කරගන්න මට හැකිවුණා.

කුඩා ව්‍යාපාර අංශයෙන් වෙළෙඳපොළ, පර්යේෂණ, සැලසුම්, වැඩසටහන් රැසකට මාව එකතුකර ගත්තා. එමඟින් තායිලන්තයේ සංචාරයකටත් අවස්ථාව උදා වුණා. තායිලන්තයේ වැඩමුළු වලටද සහභාගි වෙලා මල්වගාව පිළිබඳව දැනුම ලබාගත්තා.

අද මගේ දරවෝ තුන්දෙනාම විවාහකයි. පුතාත් පුතාගේ බිරිය ඉරේෂා මගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න වෙර දරනවා. ඇත්තෙන්ම මා නැවත නැවතත් කියන්න කැමැතියි වයස ගැන පසුතැවී හෝ මට මේක කරන්නට බැහැ යන සෘණාත්මක සිතිවිලිවලින් ඔබ ඈත් වන්න. මම අත්දැකීම් ඇති මවක් ලෙසින් දැයේ සුවහසක් දූවරුන්ට ආදරණීය පණිවිඩයක් දෙන්න කැමැතියි.

ඔබ, ඔබේ සැමියාගේ මුදල් පසුම්බිය බලා නොඉඳ යමක් උපයන්නට උත්සාහ ගන්න. නිවෙසේ දෛනික රාජකාරි දරුවන්ගේ කටයුතුත් සමඟින් කළ හැකි ව්‍යාපාර ඕනෑ තරම්. ඇත්තෙන්ම කුඩා ව්‍යාපාර අංශයට යොමු වී නොමිලයේ උපදෙස් ලබා ගෙන අද මා ඉන්න සාර්ථකත්වය හෙට ඔබට ළඟාකර ගත හැකියි.