වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කෙනෙක් දියුණු වෙන කොට පාර වරද්දන අය බොහොමයි
මිනිසාට උපතේ සිට මියයෑම දක්වාම විවිධ අභියෝගවලට මුහුණපාන්නට සිදුවේ. එය එසේයැයි කියා ජීවිතේ අතහැර දැමීමට කිසිවකුට නොහැකියි. එසේ කළහොත් එය නැවත මිනිසත් භාවයක් නොලැබීමට තමන් විසින්ම කරගන්නා විනාශයකි.
ඇගේ ඉරණමත් එවැනිම එකකි. මාපිය සෙනෙහසට සහෝදර සහෝදරියන්ගේ ළෙන්ගතු බැඳීමකට දෛවය ඉඩ නොතබා ඇත. අහිමි සියලු බැඳීම්වලට වඩා ශක්තිමත් ආදරණීය අත්වැලක් ඇයට දෛවය මුණ ගස්වා තිබේ. ඔහුගේ ලොවේ කිරුළු පැලැඳී ඇයට රූපලාවණ්‍ය හා මංගල සාරි නිර්මාණ කලාවේ ඉදිරියට එන්නට හැකිවී තිබේ. ඇය තුෂාරි සෙනෙවිරත්න නම් දිරිය කාන්තාවයි.
"ඉතින් තුෂාරී...ඔයා අද ඉන්න තැනට ආවෙ කොහොමද? හරියටම කිවුවොත් ඔයා කාපු කට්ට, ඔයාගෙ අසීමිත උත්සාහය සහ ඒ තුළින් ඔයා ලබාගත් ජයග්‍රහණ ගැන කියන්න"
මගෙ ජීවිතේ ලොකු කතාවක් තියෙනවා. ගැහැනියක් විදිහට මම අද ඉන්න තැන ගැන පුදුම අභිමානයක් මට තියෙන්නේ. ජීවිතේ අතරමං වුණ, කාගෙවත් හවුහරණක් නැති කාන්තාවෝ කොච්චර නම් ඉන්නවාද ? ඉන් එක්කෙනෙක් හරි මේ ලිපිය බලලා ජීවත්වෙන්න උත්සාහයක් ගන්නවා නම් ඒක ඇත්තටම පිනක්."
" මම ඉපදුණේ කොළඹ. ඒත් මට අවුරුදු 02 දී දකුණු පළාතට මාව එක්කගෙන ගියා. ඒ මාතර, වැලිගම, බෝදගල ගමේ හිටපු මගෙ ආච්චි ළඟට. ඉතින් මට අම්මා තාත්තගෙ සෙනෙහස ලැබුණේ නැහැ. ආච්චි අම්මා ළඟ අවුරුදු 16 හිටියා. ගමේදි පාසල් අධ්‍යාපනයට සමුදෙන්න සිදුවුණා. එතැනින් එහාට කළ යුත්තේ කුමක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. ආච්චිටත් මට කරන්න ඕන මොකක්ද කියලා කියන්න, මොනවාහරි දෙයකට යොමු කරන්න ශක්තියක් තිබුණේ නැහැ. මෙහෙම කල්පනා කරද්දී කොළඹට එන්න ඕනෙ කියලා සිතුවිල්ලක් ආවා. ඒක හිතට ක්ෂණිකව ආපු දෙයක්. එහෙම හිතලා මම කොළඹ සහෝදරයකුගෙ නිවෙසට ආවා. ඒ ගෙදර සියලු වැඩකටයුතු කළා. ඉර පායනවා. ඉර බැසයනවා. මේ විදිහට අවුරුදු 05 ක් නිකරුණේ කාලය ගත වුණා. මේ අතර මගේ අම්මා ඉඳහිට මාව බලලා යන්න ආවා. කොහොමහරි ඥාති සොහොයුරියක් මට යා යුතු පාරක් පෙන්නුවා.
2020/11/18 තරුණි පුවත්පත බලන්න