වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සල්ලි ගස වනසන මාරයා හඳුනාගනිමු
*මේ රෝගය දිලීරයක් මඟින් හට ගනී
ශ්‍රී ලංකාවේ තිබෙන කුළුබඩු භෝග අතරින් දිව්‍යමය කුළුබඩු භෝගයක් ලෙස සාදික්කා හඳුන්වන්න පුළුවන්. සාදික්කා භෝගය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ 19 වන සියවසේයි.
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බහුලවද තෙත් හා අතරමැදි කලාපවලද දක්නට ලැබෙන කඳුකරයේ කප්රුක ලෙස විරුදාවලි ලබන සාදික්කා භෝගයෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ සාදික්කා හා වසාවාසි ලෙස කුළුබඩු නිෂ්පාදන දෙකක්ම ලබා ගත හැකි වීමයි. සාදික්කා සහ වසාවාසි යන කුළුබඩු ඉහළ ආර්ථික වටිනාකමක් ලබාදෙන අතර සල්ලි ගස ලෙසින්ද විරුදාවලි ලබන සාදික්කා ගස ගෙවත්තට එක් කරන්නේද අපුර්වත්වයක්.
නමුත් මෙවැනි ප්රතිලාභ රැසක් අත්කර දෙන්නා වු සාදික්කා වගාව පසුගිය කාලය තුළ විවිධ රෝගාබාධයන්ට ගොදුරු වූ අතර එහිදි විශාලතම හානියක් සිදු වුයේ සාදික්කා කොළ හැලීමේ රෝගයෙනි. මෙය සාදික්කා පත්‍ර පතන රෝගය (Nutmeg Leaf Fall Disease ) නමින්ද හඳුන්වනු ලබන අතර සාදික්කා වගා කරන බොහෝ දෙනකුට මේ පිළිබඳ තවමත් නිසි අවබෝධයක් නොමැති බව පෙනේ.
රෝග ලක්ෂණ
මේ රෝගය කොලෙක්ට්රොට්රිකම් විශේෂයට ( collectrotricm spp ) අයත් දිලීරයක් මඟින් හට ගන්නා බව හඳුනාගෙන ඇති අතර මෙම රෝගයේ ආරම්භක රෝග ලක්ෂණ වනුයේ ළපටි පත්‍ර මත ඉතා කුඩා කළු දුඹුරු පැහැති ලප ඇතිවීමයි. පසුව මෙම ලප විශාල වී පත්‍ර කෙළවරෙහි සිට පත්‍ර හැලීම ආරම්භ වේ. රෝගය උත්සන්න අවස්ථාවේදී මුළුමනින්ම පත්‍ර හැලීයාම සිදු වේ. මෙහිදී පත්‍රයේ හැලීගිය අතු ඉදල් බේරුණ ආකාරයෙන් දක්නට ලැබේ. අවසානයේ සිදුවන්නේ ශාකය මියයාමයි. සාදික්කා ශාකය මෙවන් තත්ත්වයකට පත් වු කළ බොහෝ දෙනෙක් සිතනුයේ එය වැඩි වයස් ශාකයක් නම් එහි ආයු කාලය අවසන්වීමෙන් ගස මියැදෙන බවයි. නැතිනම් පසේ තිබෙන දිලීර හෝ බැක්ටීරියා රෝගයක් නිසා ගස විනාශ වු බවයි. මෙසේ වුයේ වියළි කාලයක නම් ජලය හිඟවීමෙන් සාදික්කා ශාකය මිය යන්නට ඇතැයි යනුවෙනි. නමුත් සාදික්කා ශාකයක් මෙවැනි රෝග සහිතව මියැදෙන්නේ නම් ඒ සඳහා බොහෝවිට හේතු කාරණය වන්නේ මෙම කොළ හැලීමේ රෝගයයි. නැතිනම් සාදික්කා ගසක් වසර සියයක පමණ ආයු කාලයක් භුක්ති විඳියි.
රෝග පාලනය කිරීමේදී ක්ෂේත්රයේ සනීපාරක්ෂාව ඉතා වැදගත් වන්නකි . මෙහිදී රෝගයට ලක්වීමෙන් බිම වැටී ඇති සාදික්කා පත්‍රය සියල්ල වගා බිමෙන් ඉවත්කර ගිනිතබා විනාශ කර දමන්න. (එමෙන්ම ශාකවල ඇති දිය රිකිලි නිසි පරිදි සුදුසු කාලයේ කප්පාදු කරමින් හිරු එළිය හොඳින් වැටීමට සැලැස්වීම මඟින්ද රෝගය පාලනය කළ හැකියි.) තවද රෝග පාලනය සඳහා දිලීර නාශකයක් යෙදීම සිදු කළයුතු වන්නේ ළපටි පත්‍රය මත දුඹුරු පැහැති කුඩා ලප හටගන්නා මුල් අවස්ථාවේදීයි. රෝගය උත්සන්න අවස්ථාවේදී දිලීර නාශක යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත නොහැකියි. මේ සඳහා බෝඩෝ මිශ්‍රණය ඔබට අඩු වියදමකින් පහසුවෙන් නිවසේදී පිළියෙල කර ගන්නට පුළුවන්.
අවශ්‍යවන
ද්‍රාවනය
කුඩු කරන ලද පල්මානික්කම් ( කොපර් සල්ෆේට්) කි. ග්රෑ. 1
හොඳ ගුණාත්මයෙන් යුතු අළුහුණු කි. ග්රෑ. 1
සුදු පැහැති යකඩයක්
විශාල ප්ලාස්ටික් හෝ මැටි භාජනයක් ( ලීටර් 100ක පමණ)
පිළියෙල කිරීම
කුඩු කරනලද පල්මානික්කම් විශාල ප්ලාස්ටික් භාජනයකට දමා උණුවතුර ලීටර 8 – 10 ප්‍රමාණයක හොඳින් දියකර ගන්න. ඉන්පසු ලීටර 60ක් වනතුරු ජලය එකතු කරන්න. එසේම හොඳ ගුණාත්මයෙන් යුතු අළුහුණු කි. ග්‍රෑම් 1ක ප්‍රමාණය ගෝනියක දමා හුණු දියවනතුරු වතුර ලීටර 40ක ගිල්වා තබන්න. ඉන් අනතුරුව හුණු ද්‍රාවණයට පල්මානික්කම් ද්‍රාවණය ටිකෙන් ටික එක්කොට හොඳින් මිශ්‍ර කරන්න. මෙහිදී සුදු පැහැති පිරිසිදු කළ යකඩය මිශ්‍රණය සකස් කරන අතරතුර වරින්වර ගිල්වා බලන්න. එක් අවස්ථාවකදී මිශ්‍රණයෙහි ගිල්වන යකඩයෙහි තඹ තැන්පත්වීම ආරම්භ වන අයුරු ඔබට දක්නට ලැබේ. මෙම අවස්ථාවේදී පල්මානික්කම් එක්කිරීම නවත්වන්න. අවසාන මිශ්‍රණයේ පරිමාව ලීටර 100ක් පමණ වේ.
බෝඩෝ මිශ්‍රණය යෙදීම
මෙසේ සකස් කරගත් බෝඩෝ මිශ්‍රණය සාදික්කා ශාකයට ස්ප්‍රේ යන්ත්‍රයක් ආධාරයෙන් ඉසින්න. මේ ද්‍රාවණය ශාකයේ පත්‍රමත හොඳින් රඳා පැවතීම සඳහා දියර සබන් ද්‍රාවණයකින් මිලිලීටර් 20 - 25 ක් බෝඩෝ මිශ්‍රණයට යොදන්නට පුළුවන්. එසේම මිශ්‍රණය හොඳින් පෙරා ගැනීමට වග බලාගත යුතු අතර පැය කිහිපයක් තුළදී ප්‍රයෝජනයට ගත යුතුයි. නැවත යොදන සෑම වාරයකදීම මිශ්‍රණය අලුතෙන් පිළියෙල කර ගන්න. සාදික්කා ශාකයට බෝඩෝ ද්‍රාවණය යෙදීමේදී උණුසුම් හිරු එළිය සහිත දිනක් නම් වඩා සුදුසුයි.
එච්. ඒ. ලක්ෂිකා සමිත්‍රි
ව්‍යාපෘති නිලධාරි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව