සාමාන්‍ය මැෂිමක් සහ අධිවේගී මැෂිමක් අතර වෙනස හඳුනා ගනිමු

ගාමන්ට් එකක සිහිනය දකින ඔබට මේ දැනුම අවශ්‍යමයි
ජනවාරි 31, 2022

 

පුරාණ ලංකාවේ රෙදිපිළි තාක්ෂණය සහ ඇඳුම් භාවිතය පිළිබඳ විධිමත් තොරතුරු පෙළගැස්මක් ලෙස වාර්තා වී නොමැති නමුදු වෘත්තියක් වශයෙන් තහවුරුවී තිබූ බවට අවශ්‍ය සාධක අතීත මූලශ්‍ර විමසා බැලීමෙන් මනාව හඳුනා ගැනීමට පුළුවන.

මහනුවර යුගය වනවිට දේශීය වශයෙන් තිබූ රෙදිපිළි කර්මාන්තයට ඉන්දිය ආභාසය දැඩිව බලපා ඇති අයුරු දක්නට ලැබේ.

එයට පෙර පවා කුවේණියගෙන් පසුව විජයගේ සිට බොහෝ රජවරු බිසෝවරුන් ඉන්දියාවෙන් ආනයනය කළ බැවින් ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසේ අගභාගයේ සිටම ඉන්දියානු ආභාසය ලැබුණු බව නිගමනය කළ හැකිය. මහනුවර යුගය වඩාත් කැපී පෙනෙන්නේ විහාරාරාම ආශ්‍රිතව තිබෙන බිතු සිතුවම් ආශ්‍රයෙන් සහ සංරක්ෂණය කර තිබෙන ඇඳුම් පැළඳුම් (ජාතික කෞතුකාගාරය) නිසා නියත සාධක හමුවන බැවිනි. මහනුවර යුගයේ ක්‍රියාත්මක වූ වෘත්තීමය ශ්‍රේණි ලෙස වඩු, කුඹල්, පන්, කම්මල් ආදී වූ කුල දොළහක් පිළිබඳ තොරතුරු හමු වේ. ඒ අතරට මැහුම් - ගෙතුම් සම්බන්ධව ක්‍රියා කළේ සන්නාලි කුලයයි. අතිශයින් විසිතුරු මෙන් ම සංකීර්ණ නිර්මාණ පිළිබඳ දෘෂ්‍යමය සාක්ෂි තිබීම සතුටට කරුණකි. ඉඩකඩ ලැබෙන අයුරින් ඒ අභිමානවත් අතීතයට යොමු වෙමු.

අධිවේගී මහන මැෂින් මධ්‍යම සහ මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලාවල භාවිත වේ. මෙම මැෂිමක සාමාන්‍ය වේගය මිනිත්තුවකට ඉඳිකටු සිදුරු 5500 කි. මේ මැෂිමට සම්බන්ධ කර ඇත්තේ බලගතු මෝටරයකි. ඇඟලුම් කොටස් තබා මසන විට එය තදවීමට උපකාරීවන ප්‍රෙෂර් ෆුට් එක එසවීම සහ පහත දැමීම අතින් සහ දණහිස ආධාරයෙන් සිදු කළ හැකිය.

නිවෙසේ ඇති සාමාන්‍ය මැෂිමේ තිබෙන්නේ ප්‍රමාණයෙන් කුඩා අඩු කාර්යක්ෂමතාවක් සහිත මෝටරයකි. එහි ප්‍රෙෂර් ෆුට් එසවීම හා පහත දැමීම කළ හැකි වන්නේ අතින් පමණි. නූල් එතීමේ ක්‍රියාවලියේ දී ද සාමාන්‍ය මැෂිමකට වඩා අධිවේගී යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පහසුය. එමඟින් ඇඳුමක් මහන අතරේම නූල් ඔතා ගැනීමේ පහසුව පවතී. සාමාන්‍ය මැෂිමක එම පහසුව නොමැත. එහිදී මැසීම නතර කර නූල් ඔතා ගැනීමට සිදුවේ.

සාමාන්‍ය මහන මැෂිමේදී ෆුට් එක ඔසවා රෙදිකඩ හසුරුවා ගත යුතුය. මහන අතරතුරදී එබඳු අවශ්‍යතාවක් මතු වුවහොත් මැසීම සම්පූර්ණයෙන්ම නවතා ෆුට් එක අතින් ඔසවා ඇඳුම හරවා ගැනීම කළ යුතු වේ. අධිවේගී මැෂිමක මෙය දණහිස ආධාරයෙන් කළ හැකිවීම විශාල පහසුවකි. සාමාන්‍ය මැෂිමේදී මේ ක්‍රියාවෙන් අනතුරුව හෑන්ඩ් වීල් එක අතින් කරකවා පාදයෙන් ඉදිරියට සහ පසුපසට පෑගීමෙන් ක්‍රියාකරවීමකට පුළුවන.

සාමාන්‍ය මැෂිමක හෑන්ඩ්වීල් එකට අත තබා නතර කළ යුතු අතර, අධිවේගී මැෂිමක මෙම අවශ්‍යතාව සඳහා වේග පාලකය (Foot Padle) පසුපසට පෑගිය යුතුය. අධිවේගි මහන මැෂිම ඝනකම් සහ තුනී රෙදි මසා ගැනීම සඳහා වඩාත් පහසු මෙන්ම වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව සකස් කර තිබේ.

දැන් සාමාන්‍ය මැෂිමක සහ අධිවේගී මැෂිමක මූලික වෙනස්කම් පිළිබඳ දැනුම ඔබ සතු ය.

“මහන මැෂිම ක්‍රියා කරවීම සඳහා නිවැරැදිව අසුන් ගන්නේ කෙසේද?“

කියා ලබන සතියේ අවධානය යොමු කරමු.