ෆැලනොප්සිස් කුමාරියන්ගේ වර්ධනය අඩු කරන හේතු

පෙබරවාරි 7, 2022

 

නෙත වසඟ කරගන්නා සුන්දරත්වයෙන් යුතු උඩවැඩියා මල් යායේ ආකර්ෂණීයම මල් කුමාරියයි ෆැලනොප්සිස්. චමත්කාරබවින් මෙන්ම වටිනාකමින් ද ඉහළ අගයක් ගන්නා මේ සොඳුරු දඟකාරිය යුවතියකගේ මල් මංගල්ලය වඩාත් කලඑළි කරන්නීය.

ගෙමිදුල සේම ගෘහ අභ්‍යන්තරය ද හැඩවැඩ කරන මේ මනලෝලිනිය හරහා ඔබට හොඳ ආදායමක් උපයා ගත හැකියි. ඒ සඳහා මනා නඩත්තුවක් සහිත සරුසාර ෆැලනොප්සිස් වගාවක් ඔබ සතු විය යුතු අතර මේ මඟපෙන්වීම එවැනි අපූරු වගාවක් වෙනුවෙනි.

 

මල් පොහොට්ටු

සාමාන්‍යයෙන් ෆැලනොප්සිස් ශාකයට 60%ක සෙවණක් ලැබිය යුතු බව ඔබ දන්නවා. එමෙන්ම ආර්ද්‍රතාව නිසි ලෙස පාලනය කිරීම හරහා සරු අස්වැන්නක් ද ලබාගත හැකි වේවි. විශේෂයෙන්ම රාත්‍රි උෂ්ණත්වය අඩු වනවිට ෆැලනොප්සිස් මල් පොහොට්ටු හට ගැනීම වැඩි දියුණු වේ. මෙහිදී මල් විවෘතවීමට ප්‍රථම පොහොට්ටුවල කුඩා පිම්බීමක් වැනි ස්වභාවයක් දැකිය හැකියි. නමුත් කාලගුණික ස්වභාවය වියළි තත්ත්වයක් ගන්නේ නම් එම මල්පොහොට්ටු විකසිත වීම වෙනුවට වියළී හැලීයාම වැළැක්විය නොහැකිය. මේ නිසා ඔබේ ෆැලනොප්සිස් වගාවට නිසි පරිදි ජලය සපයන්නට සේම ආර්ද්‍රතාවයේ අඩුවැඩි ස්වභාවය පාලනය කරන්නටත් වගබලාගන්න.

 

සවිමත් මල් කිනිති

බඳුන්ගත ෆැලනොප්සිස් ශාකයට ප්ලාස්ටික් ආවරණය සහිත කම්බියක් සවිකර ගැනීම වඩාත් සුදුසය. එමඟින් මල් කිනිත්ත ඔබ කැමැති හැඩයකට සකසා ගත හැකි වේ. එමෙන්ම මේ මල් කිනිත්තක් කපා ගැනීමේ දී ගැටයකට (Node) මිලි මීටර් කිහිපයක් ඉහළින් කපා ගන්නටත් මතක තබාගන්න. මන්ද එවිට පැළයේ ඉතිරිවන කොටසෙහි නැවතත් අතු දැමීමෙන් මල් හටගැනේ. සමහර අවස්ථාවන්වල දී ඉතිරි කළ එම මල් කිනිත්තේ කොටසින් නව පැළයක් මතුවීමට ද ඉඩ තිබේ. එවිට එම පැළය වෙන්කර වෙනම බඳුන්ගත කරන්න.

 

ෆැලනොප්සිස් පත්‍ර

ෆැලනොප්සිස් පත්‍රයක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 40ක් පමණ දිගු විය හැකියි. මෙහිදී එක එල්ලයේ පතිතවන සූර්යාලෝකයට ඔබේ ඕකිඩ් පැළෑටි නිරාවරණය වුවහොත් පත්‍ර පිලිස්සීයාම වැළැක්විය නොහැකිය. ඝනකම් පත්‍රමත එලෙස පිලිස්සුණු ලප දැකිය හැකියි. එමෙන්ම එවැනි ලප සහිත ස්ථානවලින් පත්‍ර කුණුවීම ආරම්භ වී අවසානයේ පත්‍ර හැලීයාමට ද ඉඩ තිබේ.

එය ඔබේ ෆැලනොප්සිස් පැළයේ වර්ධනය දුර්වල වීමට එක් හේතුවක් විය හැකියි.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ