වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කෑම සංස්කෘතිය
උදේට අම්මා කෙසෙල් කොළේ ඔතලා බැඳලා දෙන බත් මුල උණු උණුවෙම සුවඳ ගහනවා. සුදෝ සුදු කුරුලු රෑන් අතරට පාට පාට සාරි ඇඳපු ගුරුවරියෝ පාසල දිහාවට ඇදෙනවා. දුර ඉඳලා එන අලුත් ගුරු පිරිසක් මාතර සිට පාන්දර පහට පිටත් වෙන වෑන් රථයකින් මොරවක, කොටපොල, දෙනියාය දක්වා පාසල්වලට මාරු වෙනවා. එයාලා පාන්දර කීයෙ ඉඳන් ඇහැරිලා ද? වාහනයේ නිදාගෙන, පාසලට ඇවිත් මුහුණ ආයෙම තෙමා ගන්නවා. ඒ බොහෝ දෙනා කෑම කන්නෙ පාසලේ ආපණ ශාලාවෙන්.
ඒ අතරින් කිහිපදෙනෙක් ම කාර්යාල රැකියා කරලා දරුවෝ නිසා ගුරු වෘත්තියට මාරු වුණ අය. තව සමහරු පුද්ගලික අංශයට වඩා රාජ්‍ය සේවයේ ස්ථිර බව නිසා ආව අය. තවත් සමහරු ඉහළ වැටුප් ලබමින් සිටි රැකියා අතහැර ඉහත කරුණු දෙකම නිසා ගුරු වෘත්තියට ආව අය. ඒ අතර ඉන්න ගුරු සොයුරකුට මම හැමදාම මගේ කෑම එක දුන්නා. එක මගේ පුරුද්දක් වුණා.. "අම්මත් අක්කලාගෙ ගෙදර ඉන්නෙ මිස්... තාත්තයි මමයි විතරයි ගෙදර... කඩෙන් ම කාලා දැන් එපා වෙලා..." ඒ වචනවලින් පස්සෙ තමයි මගේ ඒ පුරුද්ද ඇති වුණේ.
විවේක කාලයට කන්න ගෙනාව බත් එක ගුරු සොයුරාට දුන්නත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නම් නෑ කවදාවත්. අපූරු කෑම සංස්කෘතියක් නියෝජ්‍ය විදුහල්පතිතුමිය විසින් පවත්වාගෙන ගියා. ගුරු විවේකාගාරයේ ලොකු මේසය මත තම තමන් ගෙනාව බත්මුල්වල කඩදාසි එළනවා. ඒ මත බත් මුල් ඔතපු කෙසෙල් කොළ කිහිපයක් අතුරනවා. එයට බත් මුල් සියල්ල සීරුවට දමනවා. මිශ්‍ර කිරීම නියෝජ්‍ය විදුහල්පතිතුමිය අතින් "ආ.. දැන් හරි, එන්න ළ...මා...යි...." ඒ ඇගේ සුපුරුදු හඬ. මේසය වටේ පුටුවල ඉඳගත් අය, ඒ අතර හිටගත් අය, එයාලගේ අත් වරින් වර එවරස්ට් කන්ද වගේ තියන බත් කන්දට පහත් වෙලා හෙමි හෙමින් ඒ කන්ද කපාගෙන යනවා. රස සාගරයට මදි පාඩුවට කතන්දර අටුවා... , ටිකා... ටිප්පිණි සපයමින් එතැන එක හිනා සතුටු සාගරයක් ම වෙනවා. ඒ අතරම ගුරු විවේකාගාරයට එන අයටත් කටක් දෙකක් කවලාත් යවනවා.
විවේකය වේගයෙන් ගෙවිලා යනවා. එක එක්කෙනා "ඇති" කියලා නැඟිටින අතර ඉවර කරන්න බැරිව ඉතිරි වෙන පරිවාර කඳු තරණය කිරීම සඳහා ගුරු විවේකාගාරය අසලින් යන කෙනෙක්ව වුවත් බලෙන් ඇදලා ගන්නත් සිදුවෙනවා. " බත් විසිකරන්න හොඳ නෑ... පව්" ඒ සූරි මිස්ගෙ හඬ. සූරියආරච්චි මිස්... එයා තමා මේ වැඩේට මුල් වුණ නියෝජ්‍ය විදුහල්පතිතුමිය. සරසවියට ගෙදරින් ගෙන යන බත් මුලට අත්වන ඉරණම මතක් කළ ඒ සංස්කෘතිය මම වෙන පාසලක අත්විඳ නෑ. එදා අපි ආදරේට "සූරි මිස්" කියපු ඒ පරමාදර්ශී, ආදරණීය ගුරු චරිතය...., අවවාදයට වඩා ආදර්ශය හා අපට දිරිය දුන්...., දරුවන් වෙනුවෙන් ම කැප වුණු ආදරණීය ගුරු මවක්.
එක්තරා දිනෙක කාලච්ඡේද හතක් එක දිගට උගන්වා හෙම්බත් වී ගුරු විවේකාගාරයට වී අභ්‍යාස පොත් කිහිපයක හරි වැරැදි බලමින් ඉන්න අතරේ හවස එකට පමණ හදිසියේ විදුහල්පතිතුමා පැමිණෙනවා. අට වැනි කාලච්ඡේදය මම නිදහස්. 'ඇයි මිස් මෙතැන ඉන්නේ...?' " සර් මම පීරියඩ් හතක් වැඩ කළා. මේක මට පන්තියක් නෑ." "හා... ගුරුවරයෙක් වුණා ම පීරියඩ් අට ම වැඩ කළාට කමක් නෑ. අන්න අට බී පන්තිය දඟල දඟල ඉන්නවා. මොනවා හරි කියා දෙන්න මිස්... කතාවක් වුණත් කමක් නෑ." "හා... සර්, මම යන්නම්" මම පොත් ටිකත් අරගෙන නැඟිටිනවා. අදටත් මට ඒ විදුහල්පතිතුමාගේ වචන ටික ගලක කෙටුවා වගේ මතකයි. හේතුව...? " මම දන්නෙ නෑ..." අදට ඇති නේද?
මං ගුරුතුමී
කුමාරි ලියනගේ
වාණිජ අංශය මහින්ද විද්‍යාලය
ගාල්ල