මුළුතැන්ගෙයි උද්‍යානයක් සකසා ගැනීමේ මූලික පියවර

පෙබරවාරි 14, 2022

 

ගෙවත්තක් සැලසුම් කිරීමේ දී බොහොමයක් දෙනෙක් වරද්දා ගන්නා තැනක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ වැඩේ මහා ව්‍යාපෘතියක් කරගෙන, වැඩ පටන් ගන්න වෙනම දින එහෙමත් සැලසුම් කරනවා. ගෙදර සාමාජිකයො හැමෝමත් සම්බන්ධ කරගෙන වත්ත අනිත් පැත්ත පෙරළන්න සූදානම් වෙනවා.

හැබැයි ඔබ හිතන්නෙ නැහැ ඒක කරන්න පුළුවන් දෙයක් ද කියලා. හැමෝම ගෙදර ඉන්න දවසක් වුණාට ඒ වෙද්දි හැමෝම ඉන්නෙ හෙම්බත් වෙලා. සැමියා සතිය පුරාම වැඩ කරලා, දරුවො පාසලේ සහ ටියුෂන්වලින් විවේකයක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. එහෙම දවසට මේක හරිම අසාර්ථක ව්‍යාපෘතියක් වෙනවා. ඊළඟ සතියේ වැඩ කන්දරාවට මුහුණ දෙන්න ඔබටත් විවේකයක් අවශ්‍යම යි.

ඒත් ඉතින් අරමුණ ඉවත දාන්නත් බැහැ.

දැන් මොනවද කරන්නෙ? සම්පූර්ණ නිමාවක් පිළිබඳ සංකීර්ණ සැලසුම් සකස් කරන්නට එපා.

සතියට එක බැගින් පුංචි ආරම්භයක් ගන්න. මෙහෙම හිතන්නකො... මාසෙ පඩිය ගත්තාම රුපියල් දහසක් විතර වෙන් කරගන්න. (අමාරුවෙන් හරි) රම්පෙ, කරපිංචා, සේර පැළ වගේ දේවල් නම් ගම්බද යාළුවන්ගෙන් සපයා ගන්නත් පුළුවන්. ඒ නැතත් පැළ තවාන්වල ලොකු මිලක් වෙන්නෙත් නැහැ. අනික ඒක ඉක්මන්.

කොම්පෝස්ට් කිලෝ එකක් දහයියා / ළිපේ අළු, දිරාගිය කොළ රොඩු ටිකක්, වැස්සට සෝදා නොගිය තැනකින් මතුපිට පස් ටිකක් (හියුමස්), දිරා ගිය පිදුරු හොයා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඔබ මිලදී ගන්නා පැළයට අමතරව වියදම් වන්නේ කොම්පෝස්ට් කිලෝව සඳහා යන රුපියල් තිහ පමණයි.

එකවර නිම නොකළත් මුළුතැන්ගෙ උද්‍යානයේ (Kitchen Garden) දළ සැලසුමක් ඔබ විසින් පිළියෙල කර ගතයුතුයි. එහෙම නොවුණොත් එයින් ගෙවත්තට අලංකාරයක් ඇති වන්නේ නැහැ.

මොන දේ කළත් එහි පිළිවෙළක්, කලාවක් තිබීම අවශ්‍යයි. භාවිතයට ගැනීම තරමක කාලයක් ගතවෙන නිසා කරපිංචා පැළයක් මුලින්ම සිටුවන්න.

එය අතු ඉති විහිදා අඩි හතරක් පමණ වැඩෙන තුරු එයින් කිනිති කඩන්නට එපා.

මේ සඳහා අඩිය x අඩිය x අඩිය (1x1x1) ප්‍රමාණයේ වළක් කපා ගන්න. එය දවසක් පරණ වීමට තබන්න. ඒ අතරේ,

කොම්පෝස්ට්, කොළ රොඩු, අළු, මතුපිට පස් හොඳින් මිශ්‍ර කර ආස්තරණයක් (ඇතිරිල්ලක්) සේ සකසා ජලයෙන් තෙමන්න. අනතුරුව තණකොළ, කොළ රොඩු ඒ මත තුනීකර ගිනිදල්වන්න.

(මෙය රම්පෙ / කරපිංචා සිටුවීමේදී අත්‍යවශ්‍යම නොවේ) කහ, ඉඟුරු, එළවළු ආදිය වගා කිරීමේදී මෙය සුදුසුයි.

දැන් පැළය සිටුවීමට අවශ්‍ය සියල්ල සූදානම්.

වළේ අඩියට තරමක් පැරැණි පොල්ලෙලි කැබැලි 4 - 5ක් කොහු උඩු අතට සිටින සේ අතුරන්න. දැන් වගා මිශ්‍රණයෙන් වළ පුරවන්න.

(පොළොවේ මතු පිටට අඟලක ප්‍රමාණය දක්වා) පැළය රෝපණය කර ඇති ඉටිකවරය දෙපසින් කපා පහත් කර පස් කුට්ටිය ප්‍රවේසමෙන් පිටතට ගන්න. එහි ප්‍රමාණය වළ තුළ ඉඩක් සකසා ගෙන, පැළය සහිත පස් කුට්ටියේ අඩියෙන් අඟලක දෙකක පමණ ප්‍රමාණයක් ඉවත් කර වළ තුළ තබා වටේට පස් තද කරන්න. ජලය සපයා පැළය වටේට වසුනක් යොදන්න.

දින දෙකකට වරක් ජලය සැපයීම ප්‍රමාණවත්. එහිදී පැළය මුලට නොව පැළය තිබූ පස් කුට්ටියේ පිටත සීමාව වටා ජලය යොදන්න. වළ මඩ වන තරමට කිසි විටෙකත් ජල සැපයුම නොකරන්න. මඳ වශයෙන් පසේ තෙතමනය තිබීම ප්‍රමාණවත්. පැළය අතු ඉති වැඩෙද්දී අතු වලයේ පිටත සීමාව ආසන්නයට ජලය සැපයීම කළ යුතුයි.

 

උපදෙස් - අජන්ත ජයසේකර