ගෙදරක එක මිරිස් ගහක් හදා ගැනීමත් මේ කාලයේ වටිනවා

චම්පිකා ශිරෝමාලී අධ්‍යක්ෂිකා - මිනිස්බල හා රැකීරක්ෂා අමාත්‍යංශය
ජුනි 6, 2022

 

 

 

අපට අවශ්‍ය ආහාර ගන්න නැති වුණොත් තත්ත්වය ඊට වඩා උග්‍ර වේවි

 

 

"උඹලාට අද මම මේ කියන දේ වටිනාකමක් නොදැනේවි. ඒත් කවදාක හෝ දවසක අපේ රටේ සාගතයක් ඇතිවේවි. එදාට උඹලාට මං කියූ දේ වැටහේවි. සෑම පාඨශාලාවකම ශිෂ්‍යයන්ට කිසියම් හස්ත කාර්මාන්තයක් උගැන්විය යුතුයි. මැහුම්, ගෙතුම්, රෙදි විවීම, බීරළු ගෙතීම, ගස් සිටුවීම, කෑම පිසීම, වත්ත පිරිසුදු කිරීම, ඈතින් වළක් කපා කුණු කසල එහි දැමීම, මුස්න බැඳීම, එළවළු කොටු කිරීම, රටට ජාතියට ආගමට භාෂාවට ඇල්මක් ඇති කිරීම මේවා අපේ ගුරුවරුන් විසින් අවංක ආදරයෙන් කළ යුතුය."

 

අනගාරික ධර්මපාලතුමා එදා අනතුරු ඇඟවූ දෙය අද දෑස් මානයට පැමිණ ඇත්තේ භයානක රතු එළියක් දල්වමිනි. එහෙත් එහි භයානකබව බොහෝ දෙනකුට තවමත් නොවැටහෙයි. සෑම බිම් අඟලකම ගහක් සිටුවීම පිළිබඳ සිතන්න කාලය ළඟා වී තිබුණත් තවමත් ඩොලරය මත හැපෙන මානසිකත්වයෙන් මිදෙන්න බොහෝ පිරිසක් නොසිතති. නමුත් මෙහි ඇති භයානකත්වය හදවතට දැනුණ පිරිසක් ඒ වෙනුවෙන් යමක් කරන්න පෙළ ගැසෙති. ඔවුන් ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නේ අප හමුවේ ඇති අභියෝගයට මුහුණදීමේ අපේක්ෂාවෙනි. "සාර ශ්‍රී ලංකා" ආහාර සුරක්ෂිතතා වැඩසටහන රට පුරාම ක්‍රියාත්මක කිරීමේ වගකීම තම උරමතට ගත් පිරිසගේ උත්සාහය බෙහෙවින්ම වටිනා කටයුත්තකි. මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයත් එක්ව ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේ ආරම්භය මැයි 23 සිට 31දා දක්වා සිදුකෙරිණි. ඒ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මුළු දිවයිනම ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ මූලික වැඩසටහන ක්‍රියාත්මක කරමිනි. රාජ්‍ය ආයතන හා විවිධ සංවිධාන රාශියක සාමූහිකත්වයෙන් පවත්වන මේ වැඩසටහන ඉදිරියට ගෙන යෑමේ වගකීම සෑම පුරවැසියකුම සතුව පවතී. මේ පිළිබඳ පාඨක ඔබ දැනුවත් කිරීමට මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චම්පිකා ශිරෝමාලී මහත්මිය මෙලෙස පිළිසඳරට එක්විය.

 

අපට මුලින්ම පැහැදිලි කරන්න පුළුවන්ද "සාර ශ්‍රී ලංකා" වැඩසටහන කුමක්ද, එය ගෘහණියකට වැදගත් වෙන්නේ කොයි ආකාරයෙන් ද කියලා.

 

"දැනටමත් අප ඉන්නේ අර්බූදයක. අප සිහි තබාගත යුත්තේ මේ තත්ත්වය තව තවත් වැඩිවීමක් මිස අඩුවීමක් නොවන බවයි. උදාහරණයක් ලෙස ගෑස් මිල අඩුවෙයි කියා හිතන්න අපහසුයි. එය තමයි යථාර්ථය. ඒ නිසා අප මේ ගැන උපකල්පනය කළ යුත්තේ භයානක තැන සිටයි. එය යමකුට විග්‍රහ කරන්න පුළුවන් මේ අදහස සෘණාත්මක ආකල්පයක් සමාජගත කිරීමක් ලෙසින්. නමුත් ඇත්ත ඒක තමයි. ඇත්ත තිත්ත වුණත් නිවෙසක අම්මා කියන චරිතය තමාගේ හිතට දමාගත යුත්තේ ඉදිරියේ ඇති පීඩනයයි. එය වඩාත් තදින්ම දැනෙන්නේ නිවෙසේ කුස්සියට. ඒක අවම කර ගැනීම තමයි වැදගත්. තනි තනිව මේ පීඩනය අවමකර ගැනීමේ වගකීමත් මූලිකවම අම්මාට පැවරෙනවා.

දරුවන්ගේ පෝෂණය, වැඩිහිටියන්ගේ ආහාර ගැන ගෘහණියකට නිරන්තරයෙන්ම හිතන්න වෙනවා. ඇත්තටම බොහෝ නිවෙස්වල දරුවන් වගේම වැඩිහිටි රෝගී අයත් ඉන්නවා. ඔවුන්ට හැම දෙයක්ම කන්න බැහැ. ඒ අයගේ සෞඛ්‍ය ගැනත් දරුවන්ගේ පෝෂණය ගැනත් හිතන ගමන් වැඩිහිටියන්ගේ ඖෂධ ගැනත් සිතන්න වෙනවා. මෙය විශාල මානසික පීඩනයක්. මේ නිසා පවුල් තුළ ආරවුල් ඇති වෙනවා. නමුත් ඒ ගැන ගැඹුරින් මාධ්‍ය තුළ සංවාදයට ලක් වෙනවා අඩුයි.

ගෘහණියක් දැන් කඩේ යනවිට දෙවරක් හිතන්න ඕනේ. මම ඉස්සර ගත්තු ආහාර ප්‍රමාණයෙන් කොයි තරම් දැන් ගන්නවා ද? එයින් කොයි තරම් අපතේ යෑම පාලනය කර ගන්නවා ද? කියලා තමුන් විසින්ම ස්වයං වාරණයක් ඇති කරගත යුතුයි. අංක එකට අප කළ යුත්තේ අපි විසි කරන එළවළු ප්‍රමාණය අවම කර ගැනීමේ සැලසුමක් සාදා ගැනීමයි.

අපට මෙය හොඳින් සැලසුම් කරන්න වෙනවා. ඔබට පුළුවන් කැලැන්ඩරයක දිනපතා උයන දේ සටහන් කරන්න. නරක් නොවෙන එළවළු අවසානයට තබා ගන්න. ඒ ආකාරයෙන් ඔබට පුළුවන් ආහාර නාස්තිය අවම කරගන්න. ඒ වගේම උයන ප්‍රමාණයන් අපට පුළුවන්. හරියටම සැලසුම් කරන්න.

සමහර වෙලාවට සතෙක්වත් නැති ගෙවල්වල තවමත් බත් විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා කුණු කූඩයට දානවා. මෙය පවුලක් වශයෙන් පොඩි ප්‍රමාණයක් වුණත් මේ කාලයේ එය ඉතාම වටිනවා. දරුවෝ අපතේ යවනවා. මේ සෑම දෙයක්ම ගෘහණියක් හොඳින් පාලනය කර ගත යුතුමයි. මුලින්ම ගෙදර උයන හාල් ප්‍රමාණයෙන් මේ වැඩේ පටන් ගන්න පුළුවන්."

 

ගෙදරක ඉතිරිය වගේම ගෙදරට ප්‍රමාණවත් එළවළු ටිකක්, පලා ටිකක් වවා ගන්න වැඩෙත් පටන් ගන්න ක්‍රමයක් තියෙනවා ද?

 

"අපි මේ වැඩසටහනෙන් උත්සාහ කරන්නේ ගෙදරක එක මිරිස් ගහක් හරි වගාකරන්න උනන්දු කිරීමයි. නාගරික මහල් නිවාසවල වගා කිරීමට ඉඩක් නැහැ. නමුත් පස් නැති වුණත් වගා කරන්න පුළුවන් සාර්ථක වගා ක්‍රම තියෙනවා. කොහුබත් යොදාගත් වගා මලු,  ඇල්බට් දියරය තුළ වගා කිරීම සිදු කරන්න පුළුවන්. ඔබේ ගෙදර එක පැළයකින් මේ වැඩේ පටන් ගන්න. එයින් වෙළෙඳපොළ ඉලක්ක කරගෙන වගා කරන අයට එන පීඩනය පොඩ්ඩක් හරි අඩු වෙනවා. ඒ වගේම ගෙදරට ගේන එක එළවළුව ක්‍රම කිහිපයකට උයා ගන්න පුළුවන්. උදාහරණයකට කොස් ගෙඩිය. එක දවසක කොස් තම්බනවා. තව දවසක මාළු උයලා කනවා. කොස් ඉරි ටික පවා උයන්න පුළුවන්. ඉදිරිය ගැන අපට කියන්න බැහැනේ... ඒ නිසා ඉතිරි කිරීම දැන් පටන් ගන්න."

 

මේ කටයුත්ත ආහාර ඉතිරිකර ගැනීමෙන් විතරක්ම කරන්න අපහසුයිනේ. අපට දැන් බල ශක්ති අර්බූදයකුත් තියෙනවා. ඒකට කරන්න පුළුවන් මොකක්ද?

"නාගරික ගෘහණියකට මේ සඳහා සාර්ථක පිළියම තමයි උයන වේල් ප්‍රමාණය පාලනය කිරීම. අපට පුළුවන් වේල් තුනක් උයන එක දෙකකට සීමා කරන්න. බලශක්තිය එක වේලකින් ඉතුරු කළොත් එය රටට ලොකු ඉතිරියක්. අපි උයන ප්‍රමාණය අඩු කරනවා නෙවෙයි වේල් ප්‍රමාණය සීමා කරලා එක්වර උයනවා."

 

"සාර ශ්‍රී ලංකා" වැඩසටහනේ දී අතිරික්ත බීජ හුවමාරු කර ගැනීමේ වැදගත්කම පැහැදිලි කරනවා. මේ කටයුත්ත නිවෙසක ගෘහණියකට කොයි ආකාරයෙන් දායක වෙන්න පුළුවන් ද?

"අපේ ගෙවල්වල මිරිස් පැළ තවානක් දැම්මොත් පැළ විශාල ප්‍රමාණයක් හැදෙනවා. ඒ වැඩිපුර පැළයක් දෙකක් තව කෙනකුට දෙන පුරුද්ද ඉතාම වටිනවා. බෙදා හදාගැනීම අපේ සංස්කෘතිය තුළ තිබුණු හොඳ සංකල්පයක්. අපේ මේ වැඩසටහනේ දී කාර්යාලවල සේවය කරන සේවක සේවිකාවන් මේ කටයුත්ත සඳහා වඩාත් උනන්දු කරවනවා. ඔබත් කාර්යාලයක සේවය කරනවා නම් ඔබට පුළුවන් ඔබේ හෑන්ඩ්බෑග් එකේ ගෙදර තියෙන බීජ ටිකක් ගෙනත් හිතවතියකට දෙන්න."

 

ඔබ කියන මේ සංකල්පය නාගරික කාර්යාලයක ඒ තරම් ප්‍රායෝගික නැහැ නේද? ඇත්තටම නාගරික කාර්යාලයක සේවය කරන සේවිකාවන් තුළ එවැනි වගාබීජ හුවමාරුවක් කිරීම තරමක් ප්‍රායෝගික නොවන බව අපට හිතෙන්නේ...

 

"ඔන්න ඕක තමයි අපේ මිනිස්සුන්ගේ වැරැද්ද. ගෑස් පෝලිමේ ඉන්කොට දැනෙනවා එහි අසීරුව. නමුත් උග්‍ර ආහාර හිඟය ඊට වඩා භයානකයි. අපට අවශ්‍ය ආහාර ගන්න කොහෙවත් නැති වුණොත් තත්ත්වය ඊට වඩා උග්‍ර වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහ කන්නයට බීජ නිෂ්පාදනය කරන්න විශාල සටනක් දෙනවා. අපට මේ වැඩසටහනට වියදම් කිරීම සඳහා රජයේ මුදල් ලැබෙන්නේ නැහැ. තමුන් විසින්ම තමුන්ගේ ගෙවත්ත සාදා ගැනීම සඳහා උදව් කරන්න අපි පසුබිම සකස් කරලා දෙනවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳ එක් එක් ආයතනය තමුන්ගේ කාර්යාලයට ගැළපෙන ලෙසින් මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. උදාහරණ ලෙස බුද්ධ ශාසන අමාත්‍යංශය පවා ඒ ආයතනය යටතේ තිබෙන පංසල්, පිරිවෙන්වල වගා නොකළ ඉඩම්වල වගා කරන්න. මේක වැඩසටහනක් නොවෙයි. මේක දැවැන්ත ප්‍රශ්නයක්. ඒ සඳහා විසඳුමක් සොයා ගත යුතුයි. සාමාන්‍ය ජනතාව මේ ප්‍රශ්නයේ ගැඹුර අවබෝධ කර ගැනීම තමයි වඩාත්ම වැදගත්."

 

ඔබ මේ ප්‍රශ්නයේ ගැඹුර තේරුම් නොගැනීම කියලා අදහස් කළේ...

"මේ ගැටලුවට විසඳුමක් නො ලැබුණොත් රට තුළ විශාල ප්‍රශ්න රැසක් නිර්මාණය වෙනවා. රටේ මිනිස්සු රෝගී වෙනව. ඔවුන්ගේ දැනුම මොට වෙනවා. බුද්ධිමත් ප්‍රජාවක් නැති වෙනවා. ඉදිරි වසර 10 - 15 ට බලපාන දෙයක්. මේ අවදානම අවම කර ගැනීම තමයි අපේ අරමුණ හා ඉලක්කය."

 

මේ සඳහා අපට සම්බන්ධ වෙන්න පුළුවන් කොයි ආකාරයෙන්ද?

"රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විශාල පිරිසක් මේ සඳහා දායකත්වය සපයනවා. තමුන්ගේ තිබෙන සම්පත් බෙදාගෙන සිදුකරන කටයුත්තක් නිසා රජයේ සෑම ආයතනයක්ම මේ සඳහා අපට සහයෝගය දක්වනවා. වගාව සඳහා ඔබට තිබෙන ගැටලුව සඳහා විසඳුම් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන් හා නිලධාරින් ඇතුළු කණ්ඩායමක්ම සූදානම්ව සිටිනවා."

 

 

විශේෂ ස්තුතිය -

මිනිස්බල හා රැකිරක්ෂා

අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්

අනුෂා ගෝකුලගේ