වැඩේ දෙල් නො කර දෙල් හදමු ද?..

ජූලි 28, 2021

 

ඉවුම් පිහුම් කලාවේ දී ප්‍රමුඛත්වය හිමිවන එක් දෙයක් වන්නේ ආහාර සැකසීම සඳහා කපන ආකාරය යි. එකම අමුද්‍රව්‍ය වුවත් එය සකසන ක්‍රමය අනුව කපන විදිය වෙනස් වේ.

අද ඇතැම් දූවරුන්ට මේ පිළිබඳ ඇති අවම දැනුම නිසා අප ඒ පිළිබඳ ඔබ දැනුම්වත් කිරීමට සූදානම්.

පසුගිය සතිවල දී මාළුමිරිස් හා අළු කෙසෙල් එක් එක් ආකාරයට සැකසීමේ දී ඒවා කැපිය යුතු අන්දම ගැන කතා බහ කළෙමු. ඒ අනුව අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ දෙල්, විවිධ ආකාරයට සැකසීම සඳහා කපා ගන්නා ආකාරය යි. මේ දෙල් වාරය නිසා ඉතාමත් පහසුවෙන් ඔබට දෙල් ලබා ගත හැකියි.

දෙල් ගස දේශීය ගසක් නොවේ. විවිධ වූ විදේශික ආක්‍රමණයන්ට හසු වූ ලංකාවේ ස්වදේශිකයන් තුළ ඇති ජවසම්පන්න බව නැති කොට, ඔවුන් වැනසීම සඳහා දෙල් ගස ලන්දේසීන් විසින් මෙරටට ගෙන ආ බවට ඉතිහාසයේ සඳහන් වේ. එසේ ලන්දේසීන් විසින් මෙරටට ගෙන ආ මුල්ම දෙල් ගස තවමත් ගාල්ලේ දී දැක ගත හැකිය. අධික ඌෂ්ණ ගුණයකින් යුතු දෙල් ආහාරයට ගැනීමෙන් සිරුරේ දාහය වැඩි වී රෝගී විය හැකිය.

එසේ වුවත් අපේ ඇත්තෝ දෙල්වල ඇති අධික ඌෂ්ණ බව නැතිකර ඒවා ආහාරයට ගැනීමට විවිධ වූ ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කළහ.

ඒ අනුව මේ වන විට දෙල් අපේ රටේ ජනප්‍රිය ආහාරයකි.

උදේ ආහාරය සඳහා දෙල් තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමෙන් එහි රසය වැඩි වන අතර පොල් නිසා දෙල්වල ඇති ඌෂ්ණය පහව යයි. දහවල් ආහාරය සඳහා දෙල් කිරට ව්‍යාංජන සකසන අතර එයට නිවිති කොළ කිහිපයක් එක් කිරීමත් හොඳට පොල් කිරෙන් උයා ගැනීමත් සිදු කරයි. දෙල් වේළා පැණි දමා රසකැවිල්ලක් ලෙසින් ද භාවිතයට ගනියි. එය ලොකු කුඩා කාගේත් දිව පිනවීමට සමත් වූවකි.

* දෙල් තම්බා ආහාරයට ගැනීම සඳහා දෙල් ගෙඩිය අඟලක පමණ තීරු කපා එම තීරු ද සාමාන්‍ය ප්‍රමාණයේ කැබැලිවලට කපා ගන්න.

ප්‍රමාණයෙන් විශාල කැබැලි තැම්බීමට අපහසු විය හැකි නිසා මේ සියලුම කැබැලි එකම ප්‍රමාණයකින් කපා ගැනීම සුදුසුයි. කුඩා කැබැලිවලට කැපූ විට ඒවා තැම්බී වැඩි වී බෙරි විය හැකියි. එමනිසා මේ සඳහා සාමාන්‍ය ප්‍රමාණයට කැබැලි කපා ගත යුතුය.

*දෙල් සුදට ව්‍යාංජනය සෑදීමේ දී අඟල් එකහමාරක පමණ ඝනකමට කැබැලි කපා ගත යුතුයි. පොල්කිරි දමා හොඳින් පිසගත් විට මෙහි ඇති ඌෂ්ණගතිය පහව යනවා පමණක් නොව, ප්‍රණීත රසයක් ද ලබා ගත හැකියි.

*දෙල් වාරයකට පමණක් ඵලදාව ඇති ගසක් බැවින්, දෙල් කාලයට වැඩියෙන් ලැබෙන දෙල් කපා වේලා කල් තබා ගැනීමට අපේ වැඩිහිටියන් ක්‍රියා කළා. එම දෙල් අවුවේ දමා හොඳින් වේළා තබා ගැනීමෙන්, දෙල් නොමැති කාලයට ප්‍රයෝජනයට ගැනීමට හැකිය. එලෙසින් කල් තබා ගන්නා දෙල්වලින් රසකැවිල්ලක් වූ පැණි දැමූ දෙල් සකසන අතර එය සෑම අයකුම කැමැත්තෙන් රස විඳි සරල රස කැවිල්ලකි.

මෙලෙසින් දෙල් වේළා ගැනීමට දෙල් ගෙඩිය පොතු ඉවත්කර සිරස් අතට දෙකට පලා, නැවතත් එම පලු එම අතටම දෙකට පලා නාරටිය ඉවත්කර ගත යුතුයි. නාරටිය ඉවත්කරගත් දෙල් පලු සිහින් තීරු සේ කපාගන්න. එම තීරු දැන් අගලක එකහමාරක පමණ කැබැලි සේ කපා ගන්න. වියළෙන විට මෙම කැබැලි ඇකිලී ප්‍රමාණයෙන් කුඩා වේ.

මෙසේ වියළා ගත් දෙල්වලින් දෙල් මැල්ලුමක් වුවද සාදා ගත හැකියි. ඒ සඳහා වියළි දෙල් තම්බා මැල්ලුම සකස් කළ යුතුයි.