කතුරුමුරුංගා කොළ මිශ්‍ර මයිසූර් පරිප්පු වඩේ

ජනවාරි 10, 2022

 

අවශ්‍ය වන්නේ

මයිසූර් පරිප්පු කෝප්පයක්

සෝදා පිරිසුදු කර වතුර බේරා ගත් කතුරුමුරුංගා කොළ ටිකක්

ලියා ගත් අමුමිරිස් හා රතු ලුනු

කෝන් පිටි තේ හැඳි 1ක්

දෙහි ඉස්ම ටිකක්

පදමට ලුණු

අවශ්‍ය නම් කෑලි මිරිස් ස්වල්පයක්

බැදීමට තෙල්

හදන්නේ මෙහෙම

මුලින්ම පරිප්පු ටිකට වතුර දමා පැයක් පමණ පොඟවා ගන්න. දැන් හොඳින් වතුර බේරා ගත් පරිප්පු කොටස් දෙකකට බෙදා එක් කොටසක් ග්‍රයින්ඩ් කරන්න. (වතුර ටිකක්වත් නැතුව කරන්න වග බලා ගන්න) දැන් ග්‍රයින්ඩ් කරපු කොටස හා නොකරපු කොටස එකට දමා මිශ්‍ර කරන්න. ඉතිරි සියලුම අමුද්‍රව්‍ය ටික ඒකට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් විනාඩි 15ක් පමණ වඩේ මිශ්‍රණය ශීතකරණයේ තබා ගන්නත් පුළුවන්. දැන් අත්ලේ වතුර ස්වල්පයක් ගා, මිශ්‍රණයෙන් කුඩා බෝල‍යක් අත්ල මත තබා හොඳින් තූනීවට රවුමට පැතලි කර ගන්න.

කතුරුමුරුංගා කොළ දෙක තුනක් වඩේ එකේ උඩ තියා තද කරන්න. රත් වූ ගැඹුරු තෙලේ දමා දෙපැත්ත හරවමින් අඩු ගින්දරේ රන්වන් පැහැ වනතුරු බැද ගන්න. හොඳින් තෙල් බේරා උණුවෙන්ම රස විඳින්න.

 

 

--------------------------

 ඉස්සෝ වඩේ

අවශ්‍ය වන්නේ

මයිසූර් පරිප්පු ග්‍රෑම් 250ක්

හොඳින් සෝදා පිරිසුදු කර හරි මැදින් දෙකට පලා ලුණු ස්වල්පයක් තවරා ගත් ඉස්සෝ

ලියා ගත් අමුමිරිස් හා රතු ලුනු

කෝන් පිටි තේ හැඳි 1ක්

දෙහි ඉස්ම ටිකක්

පදමට ලුණු

අවශ්‍ය නම් කෑලි මිරිස් ස්වල්පයක්

බැදීමට තෙල්

හදන්නේ මෙහෙමයි

මුලින්ම පරිප්පු ටිකට වතුර දමා පැයක් පමණ පොඟවා ගන්න. දැන් හොඳින් වතුර බේරා ගත් පරිප්පු කොටස් දෙකකට බෙදා එක් කොටසක් ග්‍රයින්ඩ් කරන්න (වතුර ටිකක්වත් නැතුව කරන්න වග බලා ගන්න) පසුව ග්‍රයින්ඩ් කරපු කොටස හා නොකරපු කොටස එකට දමා මිශ්‍ර කරන්න. ඉස්සෝ හැර ඉතිරි සියලුම අමුද්‍රව්‍ය එයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් විනාඩි 15ක් පමණ වඩේ මිශ්‍රණය ශීතකරණයේ තබා ගන්නත් පුළුවන්. දැන් අත්ලේ වතුර ස්වල්පයක් ගා, මිශ්‍රණයෙන් කුඩා බෝල‍යක් අත්ල මත තබලා හොඳින් තූනීවට රවුමට පැතලි කර ගන්න. දෙකට පලාගත් ඉස්සෙක් අරන් වඩේ එකේ මැද තියා පරිස්සමෙන් තද කරන්න. අවශ්‍ය නම් ඉස්සන් දෙකක් වුණත් තියෙන්න පුළුවන්. දැන් ළිපේ ගින්දර අඩුවෙන් දා ගැඹුරු තෙලේ දමා දෙපැත්ත හරවමින් රන්වන් පැහැ වනතුරු බැද ගන්න. හොඳින් තෙල් බේරා උණුවෙන්ම රස විඳින්න. (කෝන් පිටි දැමීම අත්‍යවශ්‍ය නෑ. නමුත් කෝන් පිටි මඟින් අමුද්‍රව්‍ය එකිනෙක හොඳින් බැඳ තබා ගනිමින් වඩේ බෝල නිසි හැඩයට සකස් කර ගැනීම පහසු කරයි)

 

---------------------

අට්ටික්කා බීම

අට්ටික්කා,අත්තික්කා, උදුම්බර, දිඹුල් ආදී නම්වලින් හැඳින්වෙන අට්ටික්කා ගංඟා, ඇල දොළ ඉවුරු ආශ්‍රිතව සුලබව හමුවන ශාකයකි.

අතීතයේ බෞද්ධයන්ගේ පිළිගැනීමට අනුව කෝණාගම බුදුන්ට සෙවණ දුන් වෘක්ෂය ලෙස හඳුන්වනු ලැබේ. තවද, හින්දු භක්තිකයන්ගේ භක්ති ආදරයට පාත්‍ර වූ මෙම ශාකය "ගණදෙවි" වාස භවන ලෙස සලකන බැවින් අදටත් හින්දු බැතිමතුන් විසින් පුද සත්කාර කරන ශාකයකි.

ඇඟ සිසිල් කරන ගුණයෙන් යුත් අට්ටික්කා රුධිරය සම්බන්ධ රෝග, මුත්‍රා රෝග හා ප්‍රජනන රෝග රැසකට ගුණදායක බව ආයුර්වේදයේ සඳහන්. ඒ වගේම අට්ටික්කා ගෙඩි මැල්ලුම දියවැඩියාවට ද කදිම ඖෂධයකි.

 

අවශ්‍ය වන්නේ

හොඳින් ඉදුණු අට්ටික්කා ගෙඩි කිහිපයක්

ලුණු හා සීනි ඔබේ රස අනුව

දෙහි යුෂ

අයිස් කැට

 

හදන්නේ මෙහෙමයි

සෝදා පිරිසුදු කරගත් අට්ටික්කා ගෙඩි, අයිස් කැට, ලුණු හා සීනි සමඟ හොඳින් බ්ලෙන්ඩ් කරන්න. දැන් ජූස් එක පෙරා දෙහි යුෂ මිශ්‍ර කර රස විඳින්න.