පතා ආව ජීවිතයට අසුබ ඉතා ඇතුගල වගේ මුහුණ දුන්න දිරිය ලතා

අප්‍රේල් 15, 2024

 

පිරිමියෙක්ගෙ හව්හරණක් නැතුව ළමයි එක්ක තනිවෙච්ච බොහොමයක් ගැහැනු ජීවිතය හෙව්වෙ,දරුවොත් එල්ලගෙන පාරවල්වල, ලොතරැයි කූඩුවල, එහෙමත් නැත්තම් අරාබියෙ කුස්සිවල.

 

ඇඟ තරම් හිත් හයිය නැති සමහර පිරිමින්ට ජීවිතේ අහිමිවීම්වලට පියවි සිහියෙන් මුහුණ දෙන්න අමාරු වුණාට, ඇඟට වඩා හිත හයිය ගොඩක් ගැහැනු ආත්ම, කප්පරක් දුක් ළඟත් දරුවොත් උස්සන් කට පුරා හිනා වුණා, ඒ.. පියවි සිහියෙන්ම ....

ගැහැනුත් හරියට බිත්තර වගේ, නිකම් තියෙද්දී ලේසියෙන් කැඩුණට රත් කළොත් වතුර නටන තරමටම හයිය වෙනවා.... පුදුමෙ කියන්නෙ ඒ හැමදේකටම පස්සෙ වුණත් ගැහැනු හරි ලස්සනට හිනා වෙනවා ..

ඇත්තටම මේ ලෝකෙ හරි පුදුම සුන්දර ගැහැනු ඉන්නවා. මේ කියන්න හදන්නෙත් එහෙම ගැහැනියක් ගැන. ඇය ප්‍රියංකා රම්‍යලතා. ගඩොල් කර්මාන්තයෙන් ජීවිතය ජයගත් ප්‍රියංකාට කුරුණෑගල කවුරුත් කිව්වේ ලතා කියලා. කුරුණෑගල ගනේවත්තේ පදිංචි ඇගේ කතාව සියලු ගැහැනුන්ටම ආදර්ශයක්. හැමෝම ලතා කියලා කතා කරන නිසා මමත් ඇයට ලතා කියලම ආමන්ත්‍රණය කරන්නම්.

 

ඉතින් කොහොමද ලතා?

 

සතුටින් ඉන්නවා.

 

රටේ මෙච්චර ආදායම් මාර්ග තියෙද්දි ඇයි ලතාට ගඩොල් කපන්න හිතුණේ?

 

ගඩොල් කපන තැන් කිහිපයක්ම මේ අවට තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති මම මුලින්ම කුලියට ගඩොල් කපන්න ගියේ. අනිත් එක එයා මාව අතහැරලා ගියාට පස්සේ මට ලොකු ශක්තියක් ලැබුණා. එයා ගියාම මම දරුවන්ට කිව්වේ අද ඉඳන් ඔයාලගේ අම්මයි තාත්තයි දෙන්නම මම කියලා. මට ඕනේ වුණා පිරිමියෙක් වගේ වැඩ කරන්න. පිරිමින්ගේ වැඩ ගැහැනුටත් කරන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනේ වුණා.

කොහොමද ඔබ මේ ව්‍යාපාරය පටන් ගත්තේ?

 

සැමියා මාව අතහැරලා ගියාට පස්සෙයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. මුලින්ම මම කුලියට ගඩොල් කැපුවා. ඒකෙන් එදිනෙදා වේල හොයාගත්තා. ඒක කාලයක් කරගෙන යද්දි මට හිතුණා මමත් පස් ටිකක් ගෙනල්ලා මගේම කියලා ගඩොල් කපන ව්‍යාපාරයක් පටන් ගත්තොත් මීට වඩා මුදලක් හොයාගෙන දරුවො දෙන්නගේ අනාගතය ගැන බලන්න පුළුවන් වෙයි කියලා.

ඊට පස්සේ මම future life ආයතනයෙන් ණයක් ගන්න ඉල්ලීමක් කළා.

මම එතකොට සැමියත් නැතුව දරුවෝ දෙන්නෙක් එක්ක තනි වෙලා, ඉන්න තැනක් නැතුව බොහොම අසරණ වෙලා හිටියේ. ඒ විස්තරේ කියලා තමයි ණයක් ගන්න ඉල්ලීම් කලේ. සැමියා දාලා යද්දි පොඩි දුවට මාස 7යි. ලොකු දුවට අවුරුදු 11යි. 25,000ක ණය මුදලක් ලැබුණා ඉතින් මට. ඒ ණය ගන්නත් ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. මොකද ණය ගන්න ඇප වෙන්නවත් කවුරුත් කැමැති වුණේ නැහැ. මොකද කිසිම ආදායම් මාර්ගයක් නැති කෙනෙක්ගේ ණයකට කවුද ඇප වෙන්න කැමැති වෙන්නේ. එහෙම වෙද්දිත් future life ආයතනය මට ණය දුන්නා.

 

ණය ලැබුණට පස්සේ මුලින්ම මොකක්ද කළේ?

 

මම ඒකෙන් පස් ලෝඩ් 4ක් ගෙනාවා. ගෙනැල්ලා කුලී වැඩට යන ගමන් රෑට ගඩොල් දෙසීය ගානේ කැපුවා. ඒ කියන්නේ මම උදේට කුලී වැඩට යනවා. රෑට මගේ ව්‍යාපාරයට මම තනියම ගඩොල් කපනවා.

 

දරුවෝ දෙන්නෙක් එක්ක කොහොමද මේ තරම් දෙයක් කළේ?

 

මම කුලී වැඩට ගියේ දරුවෝ දෙන්නත් අරගෙන. මම විඳින දුක දරුවෝ දෙන්නා බලාගෙන හිටියා. ලොකු දුව පොඩි දරුවවත් බලාගෙන පාසලේ වැඩත් කළා. ඒ දෙන්නට මම කැව්වෙ පෙව්වෙ ගිනි ගහන අව්වේ වැඩ කරන ගමන්. රෑට පොඩි දරුවා බේසමක තියාගෙන හඳ එළියෙන් තනියම ගඩොල් කැපුවා. ඒ කාලේ කරන්ට් තිබුණෙත් නැහැ අපිට. හඳ එළිය විතරයි මගේ දුක, මහන්සිය, ධෛර්යය බලාගෙන හිටියේ. ඒ කාලේ දැන් වගේ ටැප් තිබුණේ නැහැ අපිට. මම ගඩොල් හදන්න හැම රෑකම වතුර කළගෙඩි 200කට වඩා ඇදලා තියෙනවා මේ මගේ අත්දෙකෙන්. මේ අත්දෙක දන්නවා මේ තැනට එන්න මම විඳපු දුක. එහෙම වතුර ඇදලා ඒ වතුර පස්වලට දාලා පස් ටික පදම් වෙනකම් මම මැටි පෑගුවා. එහෙම දවස ගානෙම ගඩොල් කපලා මාසයක් යද්දි ගඩොල් 5000ක ප්‍රමාණයක් කපලා තිබුණා. ඊට පස්සේ මම තනියම පෝරණයක් ගැහුවා. උදේට කුලී වැඩට ගිහින් ඇවිත් කරුවල වැටෙන්න කලියෙන් ටික ටික පෝරණය හැදුවා. මම පෝරණයක් කලින් ගහලා නැති නිසා මට ලොකු දැනුමක් තිබුණෙත් නැහැ ඒක හරියට කරගන්න. මම කුලියට ගඩොල් කපපු තැන්වලදී පෝරණය හදලා තිබුණ හැටි බලන් ඉඳලයි මගේ පෝරණය හැදුවේ. පෝරණය හැදුවට මට දර ගන්න සල්ලි තිබුණේ නැහැ. ඊට පස්සේ මේ ගම වටේම ඇවිදලා දර එකතුකර ගත්තා. ඊට පස්සේ ගඩොල් ටික පුච්ච ගත්තා.

 

මේ ප්‍රශ්නත් එක්ක කොයිම වෙලාවකවත් දැන් ජීවත් වුණා ඇති කියලා හිතිලා නැද්ද?

 

එයා මාවයි දරුවන්වයි දාලා ගියාම මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි වුණා.

කන්න බත් ඇටයක් ගෙදර නැති අවස්ථා තිබිලා තියෙනවා. කීප සැරයක්ම මම ජීවිතය නැතිකර ගන්න හැදුවා. එක දවසක් මම මැහි තෙල් එකක් ගෙනල්ලා බොන්න ලෑස්ති වුණා. ලොකු දරුවා ඒක දැකලා අඬ අඬ කිව්වා අනේ අම්මා නැති වුණොත් අපිට කවුරුත් නැති වෙනවනේ. එයාට අවුරුදු 11ක් නිසා ටිකක් තේරෙනවා. පොඩි එක්කෙනාට මාස 7යි. ඒ දරුවට ඉතින් මොනවා තේරෙනවද. ඊට පස්සේ මම දරුවෝ දෙන්නගේ ඔළුව අතගාලා මම කවදාවත් මෙහෙම දෙයක් කරගන්නේ නැහැ කියලා බදාගෙන ඇඬුවා.

ඊට පස්සේ තමයි ගිය කෙනා ගැන හිතලා වැඩක් නැහැ අත පය හතර තියෙන නිසා කුලී වැඩක් හරි කරලා පොඩි වුන් දෙන්නව ජීවත් කරවනවා කියන තීරණයට ආවේ. එයා මාව දාලා යද්දි මට වයස අවුරුදු 35යි. දැන් මට 49ක් වෙනවා.

 

මුලින්ම හදපු ගඩොල් ටික විකුණගත්තේ කොහොම ද?

 

හදපු ගඩොල් විකුණගන්න එක හිතපු තරම් පහසු වුණේ නැහැ. මොකද මේ ගමේ ගඩොල් කපන තැන් කිහිපයක්ම තියෙනවා. මම මේ ව්‍යාපාරයට අලුත්. මේවා විකුණගන්නේ කොහොමද කියන ගැටලුව මට ආවා. ඊට පස්සේ අඟුරු කෑල්ලකින් මගේ දුරකථන අංකය ලියලා ගඩොල් විකිණීමට ඇත කියලා පොඩි බෝඩ් කෑල්ලක ලිව්වා. ඒක හන්දියෙන් ගැහුවා. මට අකුරු ලියන්න බැහැ. මම කවදාවත් ඉස්කෝලෙකට ගිහින් නැහැ. ලොකු දුව තමයි ඒකත් ලියලා දුන්නේ. ඒ බෝඩ් ලෑල්ල දැකපු කීප දෙනෙක් මට කතා කළා. කොහොම හරි එහෙම කතා කරලා මම හදපු ගඩොල් 5000න් 4000ක් විකුණාගන්න පුළුවන් වුණා. ඒකෙන් මං රුපියල් ලක්ෂයක මුදලක් හොයාගත්තා. ඒ මුදලින් මම ආයේ පස් ලෝඩ් හතක් ගෙන්න ගත්තා. ඒ කාලේ පස් ලෝඩ් එකක් රුපියල් 1000යි. ඒ පස් ලෝඩ් ප්‍රමාණයට මට තනියම ගඩොල් කපා ගන්න අමාරු නිසා මම එක්කෙනෙක්ව උදවුවට ගත්තා. එතකොට එයා කුලියට ගඩොල් ටික කපලා දෙනවා. අපි දෙන්නම ඒ විදිහට ගඩොල් කැපුවා.

 

එතකොට ඔබ වෙනත් තැන්වල කුලියට ගඩොල් කපපු එක නැවැත්තුවද?

 

මගේ ව්‍යාපාරයෙන් මට ලාභයක් ලැබුණා කියලා මම කුලියට ගඩොල් කපන්න යන එක නැවැත්තුවේ නැහැ. මම දවල්ට කුලියට ගඩොල් කැපුවා. රෑට මගේ ව්‍යාපාරයට ගඩොල් කැපුවා. ව්‍යාපාරයෙන් ලැබෙන මුදල් මම එදිනෙදා ගෙදර දොරේ වියදම්වලට යෙදෙව්වේ නැහැ. ඒ මුදල් ව්‍යාපාරය වෙනුවෙන් ඉතිරි කළා. මම කුලියට ගඩොල් කපද්දි ලැබෙන මුදල් තමයි මම එදිනෙදා වියහියදම්වලට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටයි යෙදෙව්වේ.

 

සේවකයින් යොදවලා ගඩොල් කපන්න තරම් මේ ව්‍යාපාරය දියුණුකර ගත්තේ කොහොමද?

 

දෙවැනි සැරේ මම ගඩොල් 10,000ක් ගැහුවා. එතැනින් ලක්ෂ දෙකහමාරක් හොයාගත්තා. ඉතින් මට ඒක කියාගන්න බැරි තරමේ සතුටක්. ඒ විදිහට ලක්ෂ පහක් විතර අතට එනකම් අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව ව්‍යාපාරය දියුණු කරගත්තා.

ඊට පස්සේ මම තවත් කෙනෙක් වැඩට ගත්තා. ඊටත් පස්සේ තමයි මම කුලී වැඩට යන එක නතර කළේ. ඒකෙන් මගේ ව්‍යාපාරයට වැඩි කාලයක් යොදවන්න පුළුවන් වුණා. මගේ හැම තත්ත්පරයම ව්‍යාපාරය වෙනුවෙන් යෙදෙව්වා.

 

දැන් කී දෙනෙක් ඔයා ළඟ වැඩ කරනවද?

 

දැන් මගෙ ළඟ හය දෙනෙක් වැඩ කරනවා. පිරිමි අය දෙන්නයි. ගැහැනු අය හතර දෙනයි. දැන් පෝරණු ගහන්නෙත් කුලියට පිරිමි අය. සාමාන්‍යයෙන් මම මාසෙකට ගඩොල් පෝරණු දෙකක් ගහනවා. පෝරණුවකින් ගඩොල් 15,000ක් ගහන්න පුළුවන්. මාසෙකට මම ගඩොල් 30,000ක් වගේ ගහනවා. මාසෙකට ලක්ෂ හයක පමණ ආදායමක් ලැබෙනවා.

 

ලතා ගෙවල් දොරවල් හදා ගත්තෙත් ලතා හදපු ගඩොලින්මයි...

 

ඉස්සර මට ඉන්න තැනක් තිබුණෙත් නැහැ හරියට. වැස්සටත් තෙමෙන පොඩි පැල්පතක් තිබුණේ. මේ ව්‍යාපාරයෙන් මම ගේ දොර හොඳට හදාගත්තා. ටිකෙන් ටික තමයි ඒ දේවල් කරගත්තේ. මගේ ගේ හැදුවෙත් මගේ ගඩොල්වලින්මයි. මම මේ තත්ත්වයට එන්න ගොඩක් දුක් වින්දා. දරුවො දෙන්නා හරි මහන්සියෙන් උස් මහත් කරගත්තා. මගේ උදවුවට කිසි කෙනෙක් හිටියේ නැහැ. තනියම තමයි හැමදේම කරගත්තේ. සතුටක් පේනතෙක් මානෙකවත් නැති දුක්බර ජීවිතයක් මම ගෙව්වේ. ලොකු දුව දැන් විවාහ වෙලා. අනිත් දුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා.

 

ලතා සැමියත් එක්ක එකතු වෙලා කරපු කඩේට මොකද වුණේ?

සැමියා මාව දාලා යන්න කලින්.. ඒ කියන්නේ අපි සතුටින් හිටපු කාලේ මම පුංචි කඩයක් දාලා තිබුණා. සිල්ලර බඩු, රෙදි තමයි ඒකෙ අලෙවි කළේ. සැමියා මාව දාලා ගියේ වෙනත් කාන්තාවක් සමඟයි. ඉතින් සැමියා එහෙම ගියාට පස්සේ දවසක් ඇවිත් මගේ කඩේට ගිනි තිබ්බා. ඒ ගින්නෙ රස්නෙට වඩා මගේ පපුව පිච්චුණු රස්නේ වැඩියි.. මොකද මම කීයක් හරි හොයාගත්තේ ඒකෙන්. ඒක තමයි මගේ අන්තිම බලාපොරොත්තුව වෙලා තිබුණෙත්. ආදායම් මාර්ගයක් නැති නිසා අඳින්න ඇඳුමක් ගන්න බැරි තරමටම මායි මගේ දරුවෝ දෙන්නයි දුක් වින්ඳා. ඉතින් මට දැන් තියෙන බලාපොරොත්තුව තමයි එයා පුච්චලා අළු කරලා ගිය කඩේ මට අයේ අලුතෙන් පටන් ගන්න ඕනේ. දැනටත් මට ඒක කරන්න පුළුවන්.

 

 

ලතා දැන් දරුවෝ දෙන්නෙකුත් හදාගෙන ව්‍යාපාරයකුත් කරගෙන ලොකු ගමනක් ඇවිත් තියෙනවා. මොකද හිතෙන්නේ?

 

මට මං ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා. කාත් කවුරුත් නැතිව තනියම ගැහැනියක් දියුණු වෙනවා කියන්නේ ඒ කෙනාගේ හිතේ ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. ඒ ශක්තිය මං ළඟ තිබුණා. මුළු රටටම මේ විදිහට මගේ කතාව කියන්න පුළුවන් වුණේ මගේ මහන්සිය නිසයි. මට වචනයකින් හරි උදව් කළේ future life ආයතනය විතරයි. ගමේ අය පවා මං දිහා බැලුවේ මිනිහා නැති ළමයි දෙන්නෙක් එක්ක තනි වෙච්ච ගැහැනියක් විදිහටයි. දිරිය කන්තාවන් වෙනුවෙන් පැවැත්වුණු අභිමානි සම්මානි උලේළදී මටත් සම්මානයක් ලැබුණා. එවේලේ මට ලක්ෂ දෙකහමාරක තෑගි මුදලකුත් ලැබුණා. අපිටම කියලා වාහනයක් ගත්තා, බයික් එකක් ගත්තා, අත්ට්‍රැක්ටරයක් ගත්තා. මට ඒ ශක්තිය ආවේ එයා අපිව අතහැරලා ගියාට පස්සෙයි. එයාට පේන්න මමයි දරුවෝ දෙන්නයි දවසක හොඳ තැනක ඉන්නවා කියන දේ තමයි මගේ හිතේ තිබුණේ. අද ඒ තැන අපි ඉන්නවා. ඒත් මේ දේවල් දකින්න අද එයා නැහැ. මොකද එයා පිළිකාවක් හැදිලා නැති වුණා කියලා අපිට දැනගන්න ලැබුණා.

 

මේ ලෝකේ ඔබ වැනි තනි වුණ ගැහැනු ඕනෙ තරම් ඇති. ඒ අයට දෙන්න ති‍ෙයන පණිවිඩ මොකක් ද?

 

ආදායමක් එන මොකක්ම හරි ව්‍යාපාරයක් කරන්න ඕනේ. කඩේකට කඩයප්පම් හරි දාන්න ඕනේ. මම කලින් කඩවල්වලට ඉඳිආප්පත් හදලා ගිහින් දුන්නා. උදේ පාන්දර නැඟිටල ඉඳිආප්ප හදලා මම බයිකලයෙන් ගිහින් කඩවල්වලට ඉඳිආප්ප දැම්මා. මාව දැකලා හැදිච්ච ගැහැනු ඕනෙ තරම් ඉන්නවා. ගැහැනියක් තනි වෙනවා කියන්නේ අලුත් පියවරක් තබන්න ලොකු ශක්තියක් ලැබෙනවා කියන එකයි.

 

 

ඡායාරූප

සුනිල් එස්. පැල්ලන්දෙණිය

කුරුණෑගල