වෛද්‍යවරියක වීමේ සිහිනය බොඳ වූ චාරුණීගේ ජීවිතය

අප්‍රේල් 25, 2022

 

මෙතෙක් වෙලාවක් භාවනාවකට සමවැදිලා වාගේ පරිගණකයට නෙත් යොමාගෙන හිටි චාරුණී පුටුවෙන් මඳක් නැඟිට්ටෙ රිදුම් දෙන ඇස්වලට අස්වැසිල්ලක් ලබාදෙන්නයි. මද්දහන හරිම උණුසුම්. ඒත් හැමදාමත් වාගේ බස් නැවතුම්පොළේ නතරවෙලා ආදර බස් තෙපළන යුවළට නම් ඒ ගැන වගක්වත් නෑ. ඒ විතරක් නෙවෙයි අවට ලෝකයේ තමන් දිහා බලාගෙන ඉන්නෙ කවුරුන්ද කියලාවත් මතක නැති තරමට ඔවුන් ප්‍රේමණීය කතාබහක පැටලිලා.

පාසල් ඇඳුමින් සැරසුණු ළාබාල මේ පෙම් යුවළ දකින වාරයක් පාසා චාරුණීගේ හිත අතීතයට ඇදීයන එක වළක්වන්න බෑ.

චාරුණී සමරදිවාකර කියන්නෙ ඒ දවස්වල පාසලේ හිටපු දක්ෂතම සිසුවියක්. ඒ වගේම තමයි ඇයගේ සොඳුරු පෙනුම. ඉගෙනගන්න වාගේම දුවන්න, පනින්න, නටන්න, ගයන්න මේ හැමදේකටම චාරුණී හරිම දක්ෂයි. ඒ නිසාමදෝ ඇය ගුරු මණ්ඩලයේ කාගෙත් සිත දිනාගත් සිසුවියක් වුණා.

චාරුණීගේ තාත්තා පියතිලක. රැකියාව විදිහට කළේ මේසන් වැඩ. වැඩි කතාබහක් නැති පියතිලක තමන්ට පුළුවන් විදිහට හරි හම්බ කරලා චාරුණීටයි, මල්ලි වසන්තටයි හොඳට උගන්වන්න මහන්සි වුණේ තමන්ගේ දරුවන් සමාජයේ උසස් තැනකට ගේන අධිෂ්ඨානයෙන්. ඒත් මේසන් වැඩ හැමදාම තිබුණේ නැති නිසා අගහිඟකම් එන්න එන්නම වැඩි වුණා. මේ ආදරණීය පවුලට කණකොකා හැඬුවේ චාරුණීගේ අම්මා අනුලා ගෘහ සේවිකාවක් විදිහට විදේශ ගතවුණාට පස්සෙයි. wපියතිලකගේ දැඩි අකැමැත්ත මැද අනුලා රට රැකියාවට ගියේ චාරුණීලාගේ තනිවට ආච්චි අම්මා නවත්තලයි. ඒත් වයස්ගත ඇයට පුළුවන් වුණේ දරුවන්ට උයා පිහා දෙනවා ඇරෙන්න නිවෙසේ අලුත්ම සාමාජිකයා වෙච්චි රූපවාහිනිය දිහාවේ දවස පුරාම බලාගෙන ඉන්න එක විතරයි. කාලය ගත වුණා. අනුලා ආපසු ලංකාවට එන දිනය වසරින් වසරට ඈතට ගියා. කවදාවත් මත්පැන් පොදක රස නොබලපු පියතිලක බිරිය නැති ශෝකය නිවා ගත්තෙ මත් වතුරෙන්. තමන් කීයක් හරි උපයාගත්තු

රැකියාවට පවා නොගිහින් දවස පුරාම පියවි සිහියෙන් ඔබ්බට ගිහින් ඉන්න පියතිලකට දරුවන් ගැන හොයා බලන්න බැරි වුණා.

පිපීගෙන එන මල් කැකුළු දෙකක් වෙච්චි වසන්තගෙයි, චාරුණීගෙයි ජීවිත නූල කැඩිච්ච සරුංගල් වාගේ වුණා. වැඩිහිටියකුගේ හොයා බැලීමක් නැතිව තමන්ට හිතුණු හිතුණු දේ කළා. වසන්ත නම් පාසල් ගියෙත් ඉඳහිට. දවස පුරා කොල්ලොත් එක්ක රවුම් ගැහුවා. තමන් නැති අඩුව නොදැනෙන්න අනුලා කළේ දරුවන්ට හැමදේටම සල්ලි එවපු එක. ඒක වසන්තට නම් පනින රිලවුන්ට බඳින ඉණිමගක් වුණා.

චාරුණීට කියලත් වෙනසක් නෑ. අම්මගෙන්, තාත්තගෙන් නොලැබෙන සෙනෙහස, ආදරය පිටස්තරයකුගෙන් ලබාගන්න ඇය දෙපාරක් කල්පනා කළේ නෑ. අම්මා එවන සල්ලිවලින් ලස්සනට සැරසිලා ටවුමේ ටියුෂන් පන්තියට යන එන චාරුණී වටා කොලු ගැටවු කීපදෙනකුම කැරකුණා. යෙහෙළියන්ගෙ බල කිරිල්ලට විතරක්ම නෙමෙයි චාරුණීටත් පෙම්වතියක් වීමේ වුවමනාව හොඳටෝම දැනුණා.

චාරුණීගේ පෙම්වතා ෂෙහාන්. හැමදාමත් ටියුෂන් පන්තිය ගාවට එන්නෙ මෝටර් සයිකලයෙන්. ඊටත් පස්සෙ චාරුණීවත් දමාගෙන රවුමක් එක්කගෙන ගිහින් තමයි ගෙනැත් ඇරලුවේ.

"හෙට මගේ උපන්දිනේ. මොනවද ඔයා මට දෙන්නෙ."

දවසක් පන්තිය ගාවට ආපු ෂෙහාන්, චාරුණීගෙන් ඇහුව්වා.

"අනේ ඇත්තද අයියෙ. මොනාද ඉතින් ඔයාට ඕනේ."

"චාරු... හෙට නම් ඔන්න පන්ති ගිහින් හරියන්නෙ නෑ බබා. අපි උදෙන්ම ඇවිදින්න යමු. ඔයා මට දෙන ලොකුම තෑග්ග තමයි දවස පුරාම මාත් එක්ක ඉන්න එක."

තමන්ගෙ ප්‍රාණසම පෙම්වතාගේ ආදරණීය ඉල්ලීම අහක දමන්නෙ කොහොමද? පන්තියේ මඟ හැරෙන වැඩ ටික යාළුවෙක්ගෙන් ඉල්ලගන්න පුළුවනි. උපන්දිනේ දවසේ එයාගේ හිත රිදුණොත් පව්. චාරුණී එහෙම හිතුවා.

එදා හවසට ගෙදරට ආවේ උදේ නිවෙසින් පිටත් වුණු නොඉඳුල් යෞවනිය නෙවෙයි.

 . යුවතියක් විදිහට රැකගත්ත සියලු වටිනාකම් තමන්ගෙ පෙම්වතා හමුවේ නැති වුණා කියලාවත් චාරුණීට දැනුණේ නෑ. මොකද මේ ලෝකෙ ඇයට ඉන්න ලොකුම හිතවතා ඔහු. ඉතින් එයාගේ උපන්දිනේ දවසේ හිත රිද්දවීම පවක් කියලා නැවත නැවතත් මතක් කරගනිමිනුයි ඇය හිටියේ.

ඒ විතරක්ද.... එක දවසක් කරපු වැරැද්ද ආයෙ ආයෙමත් කරන්න චාරුණීවත්, ෂෙහාන්වත් පසුබට වුණේ නෑ. සතියකට වතාවක් පන්ති යනවා කියලා ෂෙහාන් එක්ක කොහේ හරි හෝටලයක තනිවෙන එක චාරුණීට පුරුද්දක් වුණා.

මේ විදිහට ප්‍රේම ලෝකේ සැරිසරන චාරුණී අතින් පොතපතේ වැඩ ගිලිහුණා. කිහිප සැරයක් ගුරුවරුන්ගෙ අවවාද, අනුශාසනා ලැබුණත් ඒවා වචනවලට පමණක් සීමා වුණා.

හිටිහැටියේම පාසලේ දී චාරුණීට අසනීප වුණා. කරකැවිල්ල, වමනය එක්ක ක්ලාන්ත වුණු ඇයව රෝහලකට රැගෙන ගියේ පන්තිභාර ගුරුවරියයි. දැන් දවස් ගාණක් පුරාවට චාරුණී වෙතින් දුටු වෙනස්කම් පිළිබඳ අවධානයෙන් හිටපු ගුරුතුමියට ඇය ගැන දැනුණේ බියක්. තවත් මාස කිහිපයකින් සාමාන්‍ය පෙළ විභාගයට වාඩිවෙන්න හිටි පාසලේ දක්ෂතම සිසුවිය චාරුණී දෙමස් ගැබිනියක් වෙලා. මේ තත්ත්වය චාරුණීට තේරුම් කරවන්නත් වෛද්‍යවරියට සහ ගුරුතුමියට තරමක් වෙලා ගත වුණා. ඒ මෙතෙක් දවසක් තමන්ගෙ පෙම්වතා අතින් වුණේ වැරැද්දක් කියන එකවත් චාරුණීට තේරුමක් නැති නිසා.

ඒ වෙනකොටත් චාරුණීට වයස අවුරදු 15යි. ඇය පාසල් සිසුවියක්. ඇගේ පෙම්වතාගේ නම විතරයි දැනගෙන හිටියේ. ඔහුගේ පදිංචියක් හෝ රැකියාවක් කරන තැනක් දැනගෙන හිටියේ නෑ. ඒ නිසා චාරුණීව අතරමං කරපු පෙම්වතාව නීතියට හසුකරගන්නත් බැරිවුණා. කාරුණික වෛද්‍යවරියගෙත්, ගුරුතුමියගේත් මැදිහත්වීම මත ඇයව පරිවාසගත කළා.

"ටීචර් මම හොඳට ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක් වෙන්නයි හිතාගෙන හිටියේ. අනේ ඉතින් මට ආයේ කවදාවකවත් ඒ හීනය හැබෑ කරගන්න බෑ නේද?"

පරිවාසගත වෙන්න මොහොතකට කලින් තමාව තේරුම් ගත්තු ගුරුතුමියගේ දෙපාමුල වැඳ වැටෙමින් චාරුණී හඬා වැටුණා.

"නෑ දරුවෝ... ඔයාට ඔය කරදරය වෙන්න කලින් මට බේරාගන්න බැරිවුණා තමයි. ඒත් මෙතැනින් එහාට ඔයාට අනාගතය ගොඩනඟා ගන්න අපි උදවු කරනවා. ඔයාට පුළුවනි පරිවාස භාරයේ ඉන්න ගමන් ඉගෙනගන්න. ඊට පස්සෙ ඔයාගේ ඉලක්කවලට යන්න පුළුවනි පහසුවෙන්ම."

ගුරුතුමිය කිව්වා වාගේම පරිවාසයේ දී චාරුණී හොඳට ඉගෙන ගත්තා. හිරිමල් යෞවනයේ නොදැන වූ වරදට ලැබුණු තිළිණය වුණෙත් මළදරු උපතක්. ඒ නිසාම චාරුණීට තමන්ගෙ හිත හදාගෙන ජීවිතය අලුතින් පටන් ගන්න හැකියාව ලැබුණා.

පරිවාසයෙන් එළියට එද්දි චාරුණී බාරගන්න ආවේ ආදරණීය ගුරුතුමිය එක්ක අම්මා. ඇය වසර ගණනාවකට පස්සෙ යස ඉසුරු පොදි බැඳගෙන ලංකාවට එනකොට හැමදේම විනාශ වෙලා ඉවරයි. වයස්ගත අම්මා විතරක් නෙවෙයි සැමියා පියතිලකත් ආකාලයේ ජීවිතයෙන් සමු අරන්. නොගැළපෙන මිතුරු ඇසුර නිසා හොරකමකට පැටලුණු වසන්ත හිරේ විලංගුවේ වැටිලා. චාරුණී දරුගැබක් එක්ක පරිවාස ගතවෙලා. ගෙවල් දොරවල් සියල්ල අහිමි වෙලා.

අවසානයේ ගුරුතුමියගේ උදව්වෙන් චාරුණීයි, අම්මයි තමන්ගෙ ගම් පළාතේ බොහෝ දුරකට ගියා. විදෙස් ගතවෙලා හරිහම්බ කරගත් මුදල් වැය කරලා කඩ කෑල්ලක් එක්ක පුංචි නිවහනක් හදාගන්න ඔවුන්ට හැකි වුණා. වෛද්‍යවරියක් වෙන්න හීන දැක්ක චාරුණීට තමන්ගෙ හීනයට ළඟා වෙන්න බැරිවුණත් පරිවාසයේ දී ඉගෙනගත් දේ හරහා සැලසුම් නිර්මාණ ශිල්පිනියක් විදිහට ජීවිතය දිනන්නට පුළුවන් වුණා. ඒත් තවමත් ඇය තනිකඩයි.

අදටත් සුදු ගවුමින් සැරසුණු යුවතියක් දකින ගානේ ක්‍රමානුකුලව අවසන් නොකළ පාසල් ජීවිතය ගැන කඳුළක් නෙත තෙත් කරන එක නවත්වාගන්න චාරුණීට බැහැ.

චාරුණීගේ මේ කතාව දසමාසයක් කුසේ තියාගෙන මේ ලෝකයේ තිබෙන ඉහළම වේදනාව උහුලා දරුවන් මෙලොවට බිහිකරනා සෑම අම්මා කෙනකුටම හොඳ පාඩමක් කියා දෙනවා. අද කාලයේ දරුවන්ට අම්මා කෙනකුගේ ආදරය සමඟ රැකවරණය, විතරක් නෙමෙයි නිරන්තර අවධානයකින් සිටිය යුතුයි කියන දේට මේ කතාව අපූරු නිදසුනක්.