නත්තල ආදරණීය කරන GIFT wrapping ideas

දෙසැම්බර් 18, 2019

සොඳුරු නත්තල ආදරණීය කරන්න කළ හැකි දේ බොහෝයි. ඒ අතරින් විශේෂම දෙයක් වන්නේ තිළිණ දීමයි. තිළිණයක් දෙන්නේ හිතේ තියෙන ආදරණීය බැඳීම මොනතරම් දැයි කියාපන්නයි.

ඒ තිළිණය බොහොම ලස්සනට ආවරණය කරලා තියෙනවා නම් ලබන්නාගේ සිත තවත් ආකර්ෂණය වෙනවා.

නත්තල තිළිණ සඳහා විශේෂත්වයක් දක්වන කාලයක්. මේ කාලයේ දී තිළිණ දෙන පිරිසත් වැඩියි. ඒ හින්දා ලස්සනට තිළිණ ආවාරණය කරන ක්‍රම ගැනත් අපේ ළඳුන් විමසිලිමත්. තෑග්ගේ වටිනාකම කුමක් වුවත් හොඳ හිතකින් දෙනවා නම් එහි වටිනාකම මිල කරන්න බැහැ. ඔබට පුළුවන් ඔබ දෙන තෑග්ග බොහෝම ලස්සනට ආවරණය කරලා දෙන්න. එමඟින් තිළිණයේ වටිනාකම වැඩිවෙනවා. ඔබ සතුව තිබෙන නිර්මාණශීලීත්වය සමඟ අලුත් අලුත් ක්‍රමවලට ගිෆ්ට් රැපිං (ට්ඪටබ එපචනනඪදඨ) කරන්න පුළුවන් නම් අමතර ආදායම් මාර්ගයක් වුණත් සකසා ගැනීම අපහසුවක් වෙන්නේ නැහැ.

පේපර් රිබන්, බේබි රිබන්, සිල්ක් රිබන්, විවිධ වර්ණ කඩදාසි, රැපිං කඩදාසි, කඩදාසි පොයින්සෙටියා මල්, වර්ණවත් බෝල, සීනු, කෝඩ් නූල්, ප්ලාස්ටික් හෝලි කොළ සහ ගෙඩි, ස්වාභාවික කොළ සහ ගෙඩි වර්ග, වියළි පයින් ගෙඩි හෙවත් පයින් කෝන් ආදිය මෙන්ම ඔබේ සිතිවිලි අනුව වෙනත් දෙයක් යොදාගෙන වුවත් තෑග්ගකට ලස්සන පෙනුමක් ගෙන දෙන්නට පුළුවන්. ඒ වගේම විවිධ මෝස්තර අනුව සැකසූ බෝ හැඩත් මේ සඳහා භාවිත කළ හැකියි. රැපිං කඩදාසි වර්ග තෝරාගැනීමේ දී නත්තල සංකේතවත් කරන ඒවා තෝරාගන්න. වර්ණ අනුව තෝරාගන්නවා නම් සුදු, කොළ සහ රතු යන වර්ණ තුන තමයි වඩාත් ගැළපෙන්නේ. ඊට අමතරව තද නිල් හා ළා නිල් වර්ණත් භාවිත කරන්න පුළුවන්. සුදු හා නිල් වර්ණය මිශ්‍රකර සකසා ගන්නටත් හැකියි. ළා නිල් වගේම සුදු වර්ණය හිම නිරූපණය කරනවා. නත්තල කියන්නේ හිම වැටෙන හීතල කාලයක්නේ. රිබන් තෝරාගැනීමේ දීත් ඉහත වර්ණ තමයි වඩාත් ගැළපෙන්නේ. ඒවගේම ඩොට් හා ඉරි සහිත සිල්ක් රිබන් තෝරාගන්නට හැකියි. රිබන්වලින් ලස්සනට බෝ සකසා රඳවන්නට පුළුවන්. ඒ වගේම වර්ණ කිහිපයකින් හා ප්‍රමාණ කිහිපයකින් රිබන් ගෙන ලස්සන රටාවක් නිර්මාණය වන විදිහට ගැට සහ බෝ යොදා සකසාගත හැකියි.

රිබන්වලින් නත්තල් ගසක් නිර්මාණය වන ලෙස සකසා තෑග්ග උඩින් රඳවන්නත් පුළුවන්. ඒ වගේම කොළ සහ මල් රවුම් ලෙස සකසා හෝලි රීත් සාදා ඒවාත් තෑග්ග උඩ ලස්සනට රැඳවිය හැකියි. රිබන් සමඟ කොළ සහ චෙරි ගෙඩි ලෙස දැක්වෙන්නට ප්ලාස්ටික් බෝල හා කොළ රැඳවිය හැකියි. කෝඩ් නූල් කිහිප වටයක් ඔතා වර්ණවත් ප්ලාස්ටිත් බෝල, ටැග් කාඩ් ආදිය රැඳවිය හැකියි. ඔබ රඳවන ටැග් කාඩ් එකේ සුබපැතුමක් ලියා රඳවන්නට හැකියි. එමඟින් වටිනාකම වගේම ලස්සනත් වැඩිවෙනවා. මෙහි දැක්වෙන්නේ එලෙස සැකසූ ලස්සන ගිෆ්ට් රැපිං මෝස්තර කිහිපයකි.