වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
යුග දිවිය අවුල්කරන සෙල්ෆි
“හැම වෙලාවෙම මූණ ෆෝන් එකේ ඔබා ගත්ත ගමන්” ඔයාට ඇහුණ ද? මං දැන් ගෙදර ඇවිත් ඉන්නෙ” අමෝද් බැරිම තැන රිද්මිගෙ උරහිසට තට්ටුවක් දැම්මේය. ඉවසීමේ රතු කට්ට පැනීමට නිමේෂයක්වත් ඉතිරි වී නැත.
උගුර ගිලෙන්න තරම් පිපාසයකින් නිවෙසට පැමිණි අමෝද් බැරිම තැන අසල කඩයකට ගොස් තේ කෝප්පයක් පානය කළේ පළමු විවාහ සංවත්සරයට රිද්මිට ස්මාට් ෆෝනයක් ගෙන දීමේ අනුවණකම ගැන සිතමිනි.
සෙල්ෆි නැත්නම් සෙල්ෆ් -පෝට්රෙයිට් ඩිජිටල් ෆොටෝග්‍රාෆ් /ස්වයං -රූපයේ ඩිජිටල් ඡායාරූප විශ්ව ශබ්ද කෝෂයට එක් වූයේ අලුතිනි. ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්රම්, ස්නැප් චැට් ආදී විවිධ වූ සමාජ වෙබ් අඩවි හරහා සෙල්ෆි රජකරන්නේ ඒවායේ හිමිකරුවන් ඔටුනු හිමි රජුන් රැජනන් කරමිනි. සැමියා/බිරිය පවා සෙල්ෆිය ඉදිරියේ පඹයකු බවට පත්කරන තරමට සෙල්ෆි ගැනීම උන්මාදයක් බවට පත්වී අවසානය.
අමෝද්, රිද්මි පමණක් නොව මෙය අද බොහොී පතිපතිනියන් මුහුණ දෙන බරපතළ ගැටලුවකි. ගැහැනු මෙන්ම පිරිමි ද මේ උන්මාදයේ කොටස්කරුවන්ය. මීට කලකට පෙර හඬ කැවූ බාල ගණයේ ඉන්දියානු ටෙලි නාට්‍ය විකාශය වෙද්දී ආලින්දයේ සෙල් රූ බවට පත්වූ අපේ කාන්තාවන් දැන් ඒ තැනදී ඇත්තේ ස්මාට් ෆෝනයටය. සෑම මොහොතක්ම සෙල්ෆිගත කිරීමට ඇබ්බැහි වූ කාන්තාවන් මොනතරම් අප අතර සිටිනවා ද? වැඩි වශයෙන් සෙල්ෆි ගන්නේ කවුරුන්ද යන්නට නිවැරැදි පිළිතුර කුමක් වුවද ගැහැනිය වේවා පිරිමියා වේවා මීට ඇබ්බැහි වුවහොත් එය යුග දිවියට එල්ලවන විශාල තර්ජනයකි.
2016 වසරේදී ෆ්ලොරීඩා ජනපද සරසවියේ කළ අධ්‍යයනයකට අනුව සමාජ අඩවි හරහා සෙල්ෆි මුද්‍රාව නිරන්තරව තබන්නන්ගේ යුග ජීවිත විශාල අනතුරකය. නිතර පවුල් සංස්ථාව වාද විවාදවලින් උණුසුම් වීමට, ඊර්ෂ්‍යාව, තරගකාරීකම පරවශ චේතනා රෝපණය වීමට සෙල්ෆි මුල් වෙයි.
අමෙරිකානු අධ්‍යයන වාර්තාවන්ට අනුව සෙල්ෆි ඇබ්බැහිය අඹු සැමි සබඳතාවේ ගුණාත්මකභාවය බින්දුවටම පහත හෙළයි. තම සහකරුගේ/ සහකාරියගේ සෙල්ෆිවලට ලැබෙන ප්‍රතිචාර නිසා යුග දිවියේ පැවැත්ම සුරක්ෂිතභාවය ගැන බියක්, තර්ජනයක් එල්ල වූ ස්වභාවයක් කෙනකුට දැනීම ද පුදුමයක් නොවෙයි.
අනෙකා ගැන ඇතිවන සැකබිය නිසා ඔහුගේ/ඇයගේ සමාජ වෙබ් අඩවියට නිරන්තරව පිවිසීමෙන් ආතතියක්, පීඩාවක් ඇති වෙයි. එවිට යුග දිවිය සතුටින් ගතකිරීමට ඉඩ නොලැබෙයි. මේ සියල්ලකම අවසන් ප්‍රතිඵලය දික්කසාදය වීමට පුළුවන.
2020/03/16 තරුණි බලන්න