වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කොරෝනා වෛරසය මැද පෑයූ තරු
අමෙරිකාවේ සුද්දන්ට පිරිත් අස්සවන කොත්තමල්ලි පොවන අපේ දොස්තර නෝනා
වෛද්‍ය ශිරාණි මාලිකා ජයසූරිය සුව විරුවන් ගැන කතා කරද්දි අන්තර්ජාතිකව සුපතල මේ දියණියගේ නම සිරි ලක් මවට අමතක කළ නොහැකිය.
අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් ගණනාවක අධ්‍යක්ෂිකාවක වන ඇය දකුණු කැරොලිනාවේ රොක්හිල් රෝහලේ සේවය කරන්නීය. රෝගය කලින් වළක්වා ගැනීමට නිසි පියවර මුලින්ම නොගැනීමෙන් ජනතාව දහස් ගණනින් මියයන ලක්ෂ ගණනින් ආසාදිත වන රටක, රෝගය අසාධ්‍ය වන තුරු රෝහල්ගත වීමට ඉඩක් නොලැබෙන රටක මිනිස් ජීවිත බේරා ගැනීමට ඇය දිවි පරදුවට තබා මහත් සේ කැප වන්නීය.
වෛද්‍ය මාලිකා නොරටක සිටියත් අපේ දේ අමතක නොකරන වෛද්‍යවරියකි. " අනේ මට කොරෝනා හැදිලා. බෙහෙත් ටිකක් දෙන්න. " ලෝකයේ මහා බලවතා මවුබිම කරගත් පුරවැසියන් එසේ අයදිද්දී අපේ වෛද්‍යතුමිය ශ්‍රී ලාංකේය ඔසුවලින් බුදු දහමේ පිරිත් බලයෙන් අමෙරිකානු ජනතාවට සහනයක් ලබා දෙන්නීය. ජීවිතයේ පළමු වරට එරට වැසියන් කොත්තමල්ලි පානය රස විඳීයි. ඇයත් සමඟ සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය ද කෝපි කෝප්පයේ තැන කොත්තමල්ලි කෝප්පයට ලබාදී ඇත. සියල්ලන්ම පෙරුම්කායම් දෑත්වල බැඳ ගෙන සිටියි.
බොදුනුවන්නොවූව ද වාට්ටුව සිසාරා ඇසෙන රතන සූත්‍ර දේශනාවෙන් රෝගීන් සැනසෙයි. සෑම රෝගියකුගේම අතේ පිරිත් නූලක් ඇත. වෛද්‍ය මාලිකා අපේ කමේ වටිනාකම් අමෙරිකාවේ හුදෙකලාවූ අසරණ රෝගීන්ට පිළිසරණක් බවට පත්කර ඇත්තේ එලෙසිනි.
ශිරාණි මාලිකා කහෙගාල්ල විදුහලේත්, ගවරවෙල කනිටු විදුහලේත්, බණ්ඩාරවෙල විශාකා බාලිකා විද්‍යාලයේත් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේත් ආදි ශිෂ්‍යාවකි. පාසල් වියේ සිටම ඇය සිහින මැව්වේ වෛද්‍යවරියක වීමටයි. මලණුවන්, ගස්වැල් පවා රෝගීන් කරෙගන මාලිකා ඒ සිහින ලොවෙහි ජීවත් වූවාය. ගුරුවරුන්වූ මාපියන් ගෙන්ද ඇයට ලැබුණේ විශාල පිටුබලයකි. නිදහස් අධ්‍යාපනයේ උපරිම පල ලබා ඒ සිහිනය සැබෑකරගත් ඇය 1987 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තාය. පසුව අමෙරිකාවට ගොස් කායික වෛද්‍ය විද්‍යාව සහ පුනරුත්ථාපනය (පීඑම්ආර් ) පිළිබඳ නේවාසික පුහුණුවක් ලැබුවාය. අද ඇය එරට හොඳම වෛද්‍ය අධ්‍යක්ෂිකාව ලෙස සම්මානයට පාත්රවූ කායික සහ පුනරුත්ථාපන වෛද්‍යවරියකි. ඒ වගේම ඇය ලේඛිකාවද වන්නීය.
නව කොරෝනා වසංගතය එරට ආක්‍රමණය කිරීමට පෙර ද ඇය වෙනස් දෙයක් කරන වෛද්‍යවරියක ලෙස කා අතරත් ජනප්‍රිය චරිතයක් විය. ඇය පිළිකා රෝගයෙන් සුවය ලබන රෝගීන් පුනරුත්ථාපනය කිරීමේදී භාවනාව, සංගීතය වැනි විවිධ ක්‍රම උපයෝගී කර ගත්තාය. ඇයගේ රෝහලේ ඒ සේවාව ලබා දෙන කාමරය මාලිකාගේ ආදර්ශවත් කාමරය ලෙස රෝගීන් අතර ජනප්‍රිය විය.
"රට දැය සමය වෙනුවෙන් කරනා සේවය අපට ලබා දෙන ලොකුම උපහාරයයි. " පියා සමරු පොතේ ලියූ වගන්තිය ගෙල් කෙටූ අකුරු මෙන් අදටත් ඇයගේ සිත්හි තැන්පත්වී පවතියි. අදට ද ඇය ලංකාවට වසරකට තෙවරක් පමණ පැමිණ කුමන හෝ සද් කාර්යයක නියැළෙන්නට අමතක නොකරන්නීය.