සාර්ථකත්වය යනු ධනය ඉපැයීම ම නොවේ... එසේ නම්..?

සැප්තැම්බර් 30, 2020

මිනිසකු ලෙස ඉපි ද අසාර්ථක පුද්ගලයකු ලෙසින් මෙලොවින් සමු ගැනීමට හැම අයෙක් තුළම ඇත්තේ අකැමැත්තකි. මේ නිසාම කෙසේ හෝ සාර්ථකත්වයේ අමා පලය බුක්ති විඳීමට සෑම අයකුම විවිධාකාර අයුරින් උත්සාහ දරයි. එහෙත් ඇතැම් අය දරන එම උත්සාහය නිරර්ථක වන්නේ ජීවිතය තුළ මංමුලා වීමෙනි.

බොරුවළවල්වල වැටීමෙනි. අතරමං වීමෙනි. මේ නිසා අප ඔබට සාර්ථකත්වයේ ජයටැඹ කරා ගමන් කිරීමට ඉලක්ක සපුරාගෙන යා යුතු නිවැරැදි මාර්ගය පිළිබඳ යම් අවබෝධයක් ඔබට ලබා දෙන්නෙමු.

සාර්ථකත්වය ලබා ගැනීමට ප්‍රවීණයෙක් විය යුතුද.. බොහෝ දෙනෙක් සිතනුයේ ජීවිත සාර්ථක කරගත් පුද්ගලයන් යනු අපට සිතා ගැනීමටවත් බැරි තරම් දක්ෂ, ඉතාමත් වාසනාවන්ත, ප්‍රවීණතාවකින් යුතු අය බවයි. එහෙත් ඔවුන් අරුමපුදුම මිනිසුන් කොටසක් නොවන බව ඔබේ සිතට වටහා දීම වැදගත්. ඔවුන් ද අප මෙන්ම සාමාන්‍ය මිනිසුන් වුවද අපට වඩා වෙනසකට ඇත්තේ ඔවුන්ගේ පුරුදුවල, වැඩ කරන ආකාරයේ හා ඔවුන්ගේ හැසිරීමේ ඇති වෙනස්කම් ය. ඒ වෙනසේ ප්‍රතිඵලය වන්නේ ඔවුන් දැන් ගතකරන සාර්ථක ජීවිතයයි. නමුත් එම වෙනස්කම් අපට ඇතිකර ගැනීමට නොහැකි යැයි කිසිසේත් ම සිතිය යුතු නැත.

අප මේ ලිපි පෙළ තුළින් ඔබට ඉදිරිපත් කළේ එවැනි ජීවිත ජයගත් මිනිසුන්ගේ ජීවිතවල තිබූ වෙනස්කම්ය. නැතිනම් සාර්ථකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයකු තුළ පැවැතිය යුතු එහෙත් මෙතෙක් ඔබට ළඟාකර ගත නොහැකි වූ වෙනස්කම් පිළිබඳයි. එනම් ජයග්‍රහණයක් ලබා ගැනීමට අවශ්‍ය වූ කුසලතා හා ආකල්පයි.

යම් කිසිවකුගේ ජයග්‍රාහී ජීවිතය දකින විට එක්වරම ඔබගේ ආත්මවිශ්වාසය නැතිව ගොස් මට නම් කිසි දිනෙක මෙවැනි තැනකට එන්න ලැබෙන එකක් නැහැ යැයි සිතෙන්නට පුළුවන්. අද හිමාල කඳුකරය ආශ්‍රිතව ජීවත් වූ එක් තාපසයෙකුගේ කියමනක් සම්බන්ධව සාර්ථකත්වයට අවශ්‍ය කාරණා පිළිබඳ අවධානය යොමු කරමු.

දිනක් හිමාලය තරණය කිරීමට යන තරුණයෙක් කන්ද තරණය කරමින් සිටින විට කන්දේ සිට පහළට බසින තාපසයකු මුණගැසෙනවා. එවිට එම තරුණයා ඔහුගෙන් අසන්නේ තාපසතුමනි, කඳු මුදුනට තව බොහෝ දුර ද ලෙසයි. එවිට තාපසතුමා බොහොම නිවුණු වදනින් තරුණයාට පිළිතුරු ලබා දුන්නා. "පුත.. ඉදිරියට තබන සෑම පියවරක් ම ස්ථාවරව තබව. සෑම පියවරක් ම වැටී ඇත්තේ කඳු මුදුන දෙසටයි.." ලෙසින්.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

 

2020/09/30 තරුණි පුවපත බලන්න