මෙන්න ලංකාවෙන් ලෝක වාර්තාවක්

කෝවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමකින් සිවු නිවුන් දරුවන් ලබයි
ද සොයිසා කාර්යමණ්ඩලයේ අප්‍රතිහත කැපවීමෙන් මවත් දරුවනුත් නිරෝගී සුවයෙන්
දෙසැම්බර් 23, 2020

 

මාස නවයක් පුරාවට දරුවකු කුස තුළ තබාගෙන ගර්භණී මවක උතුම් මව් පදවිය අභියස සිටිමින් කරනා කැපකිරීම අතිමහත් වූවකි. එය සිවු නිවුන් දරුවන් බවට පත්වද්දී ගර්භණී මව කායිකව විඳීන අපහසුතාවත් මොනවට විස්තර කරම්ද?

විසිපස් හැවිරිදි හංසිකා ශ්‍යාමලීත් විසි හය හැවිරිදි පොලිස් නිලධාරියකු වන ඇගේ සැමියාත් විවාහ දිවියේ අසිරිමත්ම ඵලය බුක්ති විඳීන්නට එසේත් නැත්නම් තම කුරුලු කැදැල්ලට පැටවකු කැන්දාගෙන ඒමට සැදී පැහැදී සිටි කාලයයි. ගැබිනියක වීමේ ලක්ෂණ පහළවත්ව ඔවුන් යොමුවූයේ ද සොයිසා කාන්තා රෝහලටයි. සාමාන්‍ය ගැබිනියකට වඩා වැඩි වෙහෙසක් දරන්නට වූයෙන් මොකක්ම හෝ සුවිශේෂී බවක් ඇතැයි ඔවුන්ට ඉවෙන් මෙන් දැනුණි. ස්කෑන් පරීක්ෂණවලට අනුව කුලුඳුලේම එක් දරුවකු වෙනුවට දරුවන් හතරදෙනකුගේම කලල වැඩෙමින් පවතින බව තහවුරු විය.

දරුවන් හතරදෙනකුම එකවර...

තරමක චකිතයක් දැනුණත් දරුවන් හතරදෙනාම පිළිගන්නට මේ තරුණ මාපිය දෙදෙනා සැදී පැහැදී කල්ගත කරන්නට විය. ගර්භණියක වීමත් සමඟ පෞද්ගලික ආයතනයක සේවය කළ හංසිකා රැකියාවෙන් ඉවත් වූවාය.

මේ කෝවිඩ් පළමු රැල්ල අවසන් වී දෙවැනි රැල්ල ද උපරිමය දක්වා ගමන් කරමින් සිටින කාලයයි. සාමාන්‍ය ගැබිනි මවකට වඩා හංසිකා සිවු නිවුන් දරුවන් ම කුස තුළ තබාන සිටින නිසා සෑම සායන වාරයක්ම ඔවුනට සුවිශේෂී විය. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ඇය මනාව ලක්විය. හිටිහැටියේම ස්වසන අපහසුතාවක් ඇති වූයෙන් හංසිකාට රෝහල් ගතවන්නට සිදුවිය. ඒ නොවැම්බර් 30 දාය. ඒ වනවිට ඇගේ දරුගැබට සති 28කි.

ඒ වනවිටත් ද සොයිසා කාන්තා රෝහල රෝගීන් බාරගැනීම ක්‍රම කිහිපයක් යටතේ කරන්නට විය. රෝහල ආශ්‍රිත ප්‍රදේශය ඇතුළු කොළඹ කෝවිඩ් රෝගීන් වැඩිවැඩියෙන් හසුවන ප්‍රදේශයක් නිසා ගර්භණී අම්මාවරුන්ගේ යහපත උදෙසා මෙලෙස ක්‍රියා කෙරේ. මෙයට පැමිණෙන රෝගීන්ගේ 70%කට වඩා ගැබිනියන් කෝවිඩ් ආසාදිත යැයි සැක කෙරෙන අයයි. කාණ්ඩ හතරක් යටතේ රෝගීන් වර්ග කෙරෙද්දී කෝවිඩ් ලක්ෂණ ඇති ඇය එක් කාණ්ඩයකටත්, කෝවිඩ් රෝගියකු සමඟ පළමු, දෙවැනි පෙළ ආශ්‍රිතයෙක් දැයි දෙවැනි කාණ්ඩය යටතේත්, තෙවැනි කාණ්ඩය යටතේ මේ රෝගියා පැමිණෙන්නේ හුදෙකලා කළ ප්‍රදේශයකින්ද, නිරෝධායන ඇඳීරිනීතිය ඇති ප්‍රදේශයකින් දැයි කියාත් සිවුවන කාණ්ඩය යටතේ මේ රෝගියා සත්‍ය වසංකරමින් කටයුතු කරන අයෙක් දැයි සැකය මත ඉදිරි කටයුතු කිරීම ලෙස වර්ග කෙරේ.

මෙසේ සිදුකරන්නේ කෝවිඩ් ආසාදිත හෝ ආසාදිත යැයි සැක කරන මවක් කිසිසේත්ම සාමාන්‍ය මවක් සිටින වාට්ටුවකට නොයෑමට වගබලා ගන්නටයි. මෙවැනි මව්වරුන් පොදුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයටත් දෙවනුව පීසීආර් පරීක්ෂණයටත් යොමු කරයි. කෝවිඩ් නෙගටිව් වන මව්වරුන් සාමාන්‍ය වාට්ටුවලටත් පොසිටිව් වන මව්වරුන් කෝවිඩ් මධ්‍යස්ථානවලටත් යැවේ. මෙහිදී ගැබිනි මව්වරුන් වැඩිපුරම යැවෙන්නේ මුල්ලේරියාව රෝහලට හෝ හෝමාගම රෝහලටයි. එහෙත් ප්‍රසූතිය ආසන්නයේ සිටීනම් මේ රෝහලේදීම සීසර් සැත්කමකින් හෝ සාමාන්‍ය ක්‍රමයට හෝ සිදුකෙරේ.

මේ ලෙසටම හංසිකා රෝහල් ගතවද්දී කෝවිඩ් ලක්ෂණ තිබුණු නිසා පී.සී.ආර්. පරීක්ෂණයෙන් ද පොසිටිව් විය. සිවුනිවුන් දරුවන් කුස දරාන සිටින මවක් කෝවිඩ් තත්ත්වයකටත් ගොදුරුවද්දී ඇයට මෙන්ම ඇගේ පවුලේ උදවියට ඇති වූයේ තැතිගැන්මකි. වෙනත් රෝහලකට යවා මේ ප්‍රසූතිය සිදු කළහොත් ගැටලු ඇතිවිය හැකිය. නවජන්ම දැඩිසත්කාර ඒකක හතරක්ම ඇති කෝවිඩ් මධ්‍යස්ථාන නොවන හෙයින්, ද සොයිසා කාන්තා රෝහලේම සීසර් සැත්කම සිදුකිරීමට සියල්ල සීරුවෙන් සිටී. දරු ප්‍රසූතිය සිදුවන දින වන විට (දෙසැම්බර් 17 දා) දින 18ක කාලයක් තිස්සේ හංසිකා වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිටී. දරුවන් හැකිතරම් මවගේ ගර්භාෂයේ සිටියදී තව තවත් වැඩෙන්නට කාලය ලබා දුනි.

රෝහලේ කාර්යමණ්ඩලයක් ම හංසිකා පිළිබඳ සැලකිල්ලෙන් සිටී. මේ අතරතුරේ නවජන්ම දැඩිසත්කාර ඒකකය සඳහා වූ පහසුකම් තව තවත් වැඩි කෙරුණි. නව ජන්ම දැඩිසත්කාර ඒකකය දරුවන් හය, හත් දෙනකු සඳහා සූදානමින් තිබුණි. මේ දරුවන් හතරදෙනා එයට යොමු කොට එහි ඒ වන විටත් සිටි දරුවන් හතරදෙනා නොමේරූ ළදරු ඒකකයට ඒ අයගේ දැඩිසත්කාර ඇඳ සමඟින්ම මාරු කෙරුණි.

සිවුනිවුන් දරුවන් සිටින කෝවිඩ් ගැබිනි මවක් මේ රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව ඒ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය, පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය දැනුවත් කෙරුණි. මේ දරුවන් කෝවිඩ් ආසාදිත වේදැයි සැක සහිත නිසා ඔවුන් වෙනුවෙන්ම නව ජන්ම දැඩිසත්කාර ඒකකයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයෙන් අලුත්ම උපකරණ ගෙන්වා ගැනීමට හැකි වුණි.

නාරි හා ප්‍රසව වෛද්‍ය වරුන් තීරණය කරනුයේ සිවුනිවුන් දරුවන් සිටින මවකට සති 34ක් පමණ වනතුරු ගැබිනි කාලය පවත්වා ගැනීමටයි.

දැඩි අවදානම් ඇති මවක ලෙස නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ ගේ වාට්ටුවේ සහ සායනයේ ලියාපදිංචි මවක් වූ හංසිකා රෝහල් ගත වද්දී ඇගේ අක්මාවේ එන්සයිම වැඩිවී තිබුණි. ඒ සඳහා විවිධ හේතු බලපෑ හැකි නිසා එම හේතු පිළිබඳ සොයා බලද්දී ඒ සියල්ල සාමාන්‍ය තත්ත්වයේ තිබුණි. කෝවිඩ් සඳහා මෙවැනි දේ සිදුවෙතැයි කලින් හඳුනාගෙන නොතිබුණි. හංසිකාගේ අක්මාවේ අසාමාන්‍යතාව සාමාන්‍ය අතට හැරෙමින් පවතිද්දී වකුගඩුවල අසාමාන්‍යතාවක් දක්නට ලැබුණි.

සති 30 පසුවූවා පමණි. දරුවන් කොයි මොහොතේ ප්‍රසූත කරන්නට වේවිදැයි වෛද්‍යවරු පෙර සූදානමකින් පසුවිය. ඇගේ මුත්‍රා කළු පැහැයට හැරෙන්නට වූයෙන් රතු රුධිරානු කැඩි කැඩී පිටතට එන්නට වූ නිසා බ්‍රහස්පතින්දා එනම් දෙසැම්බර් 17දා දරු ප්‍රසූතිය සිදුකරන්නට තීරණය කෙරිණි. ඒ සඳහා මුළු කණ්ඩායමම එක්විය.

මවගේ කායික රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කළේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන යි.

සීසර් සැත්කම සඳහා හංසිකා සූදානම් කළේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සරෝජා ජයසිංහ ඇතුළු පිරිසයි. වෙනත් මව්වරුන්ට වඩා මේ මව නිර්වින්දනය කිරීමේ යම් අවදානමක් තිබිණි. ඒ රුධිර පට්ටිකා සහ රුධිර සංඝටකවල අඩුවක් දක්නට ලැබුණු නිසායි. මේ නිසා මවට රුධිර පට්ටිකා ආදිය ලබාදීමෙන් පසු කොන්ද හිරිවැට්ටවීම සිදු කරන්නට විය. දරුවන් ගණන වැඩිවූවා කියා නිර්වින්දනයේ වෙනසක් වන්නේ නැහැ. නමුත් මවගේ කුස විශාල නිසා සිවුනිවුන් ගැබිනියක් නිර්වින්දනය කිරීම පහසු නැත. අවදානමත්, සැත්කමත්, කෝවිඩ් ප්‍රශ්න සහ රුධිර පට්ටිකා පිළිබඳ අවදානමක් ඇති නිසා සීසර් සැත්කම සැළසුම් කළ පරිදිම සිදුවිය. සාමාන්‍ය සීසර් සැත්කමකට විනාඩි 40ක පමණ කාලයක් ගතවද්දී මෙම සිවුනිවුන් දරු උපත සඳහා පැය දෙකක ආසන්න කාලයක් ගතවුවද පළමු දරුවා පිරිමි දරුවෙකු ලෙසත් ආදී වශයෙන් විනාඩි 6 - 7ක් අතර කාලය ඇතුළත පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැනු දරුවන් දෙදෙනකු මෙළොවට එළිය දුටුවෝය. ඔවුන් මෙළොව එළිය දුටුවේ නිකම්ම නිකම් නොවේ 'කෝවිඩ් ආසාදිත මවක් සිසේරියන් සැත්කමකින් සිවුනිවුන් දරුවන් බිහි කළා...' යන අසමසම ලෝක වාර්තාවක්ද සමඟිනි.

මේ වාර්තාගත සිසේරියන් සැත්කම සිදුකරන ලද්දේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ ගේ උපදෙස් මත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය දිලුක් සේනාධීර වෛද්‍යවරයා විසිනි.

අධික රුධිර වහනයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ තිබෙන සුළු ඉතාම සංකීර්ණ සැත්කමක් එලෙස සාර්ථකව නිමකිරීමට ද සොයිසා රෝහලේ කාර්යමණ්ඩලයට හැකිවිය. මේ සිවුනිවුන් දරුවන්ට මෙලොව එළිය දකින්නට මව වු හංසිකා නිරෝගී සුවයෙන් පසුවේ. කෝවිඩ් ආසාදිතයකු වුවත් ඇය ඉතාම සාමාන්‍ය මවක ලෙසින් සිටී. ඇගේ වකුගඩුවල තත්ත්වය පවා සාමාන්‍ය අතට හැරෙමින් පවතී.

සති තිහෙන් මෙළොව එළිය දුටු සිවුනිවුන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය මනාව පවත්වාගෙන යෑමේ වගකීම නවජන්ම විශේෂ වෛද්‍ය නලීන් ගමඇතිගේ ඇතුළු කණ්ඩායමට පැවරුණි. මෙවැනි දරුවන් ස්වසන අපහසුතාවලට ලක්වීමට ඇති ඉඩකඩ වැඩිය. ඒ පෙනහලු, මොළය, බඩවැල් ඇතුළු අවයව මෝරා නැති නිසාය. නව ජන්ම දැඩිසත්කාර ඒකකය වෙත දරුවන් ඇතුළු කරනුයේ මේ නිසාය.

මව කෝවිඩ් පොසිටිව් නිසා දරුවන් පොසිටිව් ද යන්න පිළිබඳ දරුවන් කුසයෙන් පිටතට ගනිද්දී අවබෝධයක් නැහැ.

එක දරුවකුට එක කණ්ඩායමක් ලෙසින් කණ්ඩායම් හතරක් මේ සඳහා පෙළ ගැසුණි. සියලුදෙනා ර්‍ථර්‍ථඡ් කට්ටලය ඇඳ එක් එක් දරුවන් පිටතට ගන්නට නොමසුරු සහයෝගය ලබා දුනි. මේ සිවුනිවුන් දරුවන්ගේ උපත් බර පිළිවෙළින් ග්‍රෑම් 1600, ග්‍රෑම් 1400, ග්‍රෑම් 1300, ග්‍රෑම් 1100 වශයෙනි. ග්‍රෑම් 1300 ක බරකින් යුතු වූ ගැහැනු දරුවකු ස්වසන ආධාරකයක් වෙත යොමු කරන්නට විය. පහුවදා වන විට එම දරුවාද ස්වසන ආධාරකයෙන් ඉවත් කොට අනෙක් දරුවන් මෙන් නවජන්ම දැඩිසත්කාර ළදරු ඒකකයේ සිටී.

දැනට මෙම දරුවන්ගේ කෝවිඩ් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා නෙගටිව් වන අතර පීසීආර් පරීක්ෂාව සඳහා අවශ්‍ය සාම්පල යවා තිබේ. මව්කිරි පටන් ගැනීමද ඉක්මනින් කිරීමට (දෙසැම්බර් 18) බලාපොරොත්තු වේ.

කෝවිඩ් ආසාදිත මවකට ලැබුණු දරුවන් නිසා මොළය, වකුගඩු.... ආදියට යම් බලපෑමක් ඇත්දැයි පරීක්ෂා කෙරේ. දැනට එම දරුවන්ගේ රුධිරයේ ඇසිඩ් මට්ටම තරමක් වැඩි වී තිබේ. මෙය සාමාන්‍යයෙන් භෞතික තත්ත්වයකි. මේ දරුවන්ගෙන් පමණක් මෙලෙස වන්නේ ඇයිදැයි වෛද්‍යවරුන්ට ගැටලුවකි. මෙවන් දෙයක් ලොව පළමුවතාවට වුණු නිසා ජාත්‍යන්තරයට පවා මෙම පරීක්ෂණ වාර්තා යැවීමට අපේක්ෂා කෙරේ. දැනට පළමු සතිය අවදාානම් තත්ත්වයේ තිබේවි. සති දෙක වන විට එය ක්‍රමක්‍රමයෙන් පහව යාවි.

හංසිකා නුදුරු දිනෙකදීම දරුවන් සිවුදෙනාම තුරුලු කරගෙන නිරෝගීව රෝහලෙන් නික්මව නිවෙසට යාවි. අපි මේ සුවිශේෂී මවටත් ඒ දරුවන්ටත් නීරෝගි චිරජීවනය පතමු.

 

 

ඡායා -  ශාන් රූපස්සර