වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නෙල්ලිගල සොබාදහමේ අසිරිය මැද ඉදිවූ පුදබිමේ අසිරිය බැතියෙන් විඳගනිමු
නෙල්ලිගල පුදබිමේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමියෝ
නෙල්ලිගලට පිවිසෙන මාර්ග.
අලදෙනියේ සිට නෙල්ලිගලට කි. මී. 7.5 කි.
පොල්ගහමුල්ල සිට නෙල්ලිගලට කි.මී. 7.5 කි.
පිළිමතලාවේ සිට නෙල්ලිගලට කි. මී. 8.8 කි.
ගල්නොරුව සිට නෙල්ලිගලට කි. මී. 6.5 කි.
කිරිබත්කුඹුර සිට නෙල්ලිගලට කි. මී. 8.3 කි.
කඳු වළල්ල සිසාරා පිස එන සිසිල් සුළඟ.... හිමිදිරි උදෑසන මීදුමෙන් වටවුණු වළාපටලයක මිහිර ගතට කෙතරම් සැහැල්ලුවක්ද? එවැනි පරිසරයක සුවය අප සැමවිටම සොයන්නේ අපත් සොබාදහමේ කොටස් කරුවන් බැවිනි. මෙවන් සුන්දර වූ පරිසරයක් සොබාදහමේ ආශිර්වාදයෙන් අපට උරුමව තිබේ.
අප අදත් ඒ සුවය සොයාගෙන යන්න වෙහෙසෙන්නේ ඒ නිසයි. විඩාබර වූ දිවියේ අපට ලැබුණු පුංචි විවේකයකදී හෝ එවැනි අධ්‍යාත්මික සුවය ලැදි පුදබිමක රැඳෙන්න හැකිනම් එය අපට විශාල භාග්‍යයක්.
අප ඔබව මෙවර පරිසර චාරිකාවේදී රැගෙන යන්නේ එවැනි අධ්‍යාත්මික සුවය රැඳි පරිසරයක සුවය පිරි ඉතිරී ගිය පිංබිමකටයි. සැබැවින්ම ඔබත් එවැනි අසිරිමත් පුණ්‍ය භූමියක සුවය ජීවිතයට එක්වරක් හෝ වින්දනය කළ යුතුමයි.
ඓතිහාසික සෙන්කඩගල දළදා සමිඳුන්ගේ ස්පර්ශයෙන් ඔදවැඩුණු වතුරකුඹුර ග්‍රාමය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වුණු මේ පින්බිම ඉදිකිරීමේ යෝධ ශක්තිය බවට පත්වන්නේ වතුරකුඹුරේ ධම්මරත්න හිමියන්ය. සෙන්කඩගල දළදා සමිඳු වැඳපුදා ගන්නට එන බැතිමතුන් තවත් ආකර්ශණීය වූ පින්බිමක් නිර්මාණය කිරීම රටටම ආදර්ශයකි. ඒ නිසාම උන්වහන්සේ එවැනිම වූ පින්බිමක් වන කූරගල ඓතිහාසික පුණ්‍යභූමිය සුරක්ෂිත කිරීමේ කටයුත්තට මුලපුරා සිටිති.
නෙල්ලිගල පුදබිම නිර්මාණය වූ කතාව ඉතාම දිගු එකකි. එම දිගු කතාවේ වැදගත් වූ සිදුවීම් ගොන්නක් අප හට හෙළි කළේ නෙල්ලිගල නිර්මාණය කිරීමට පුරෝගාමී වූ වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ය. ‘‘මම පැවිදි දිවියට පිවිසෙන්නේ අවුරුදු 14 ක කාලයේදී. මම මුලින්ම නෙල්ලිගලට නැග්ගේ අවුරුදු 6 ක් තරම් කුඩා වයසෙදි. එදා අවුරුදු 06 දී මම නෙල්ලිගලට නැග්ගේ තනියම සරුංගලයක් යවන්න. ඒ තමයි පුංචි කාලේ මම කරපු ලොකුම දඟකාරකම. මේ අවට ගම්වල අයගේ තිබුණු ජනප්‍රවාදයක් තමයි මේ ගලේ සුවිශාල ආයුධ ගබඩාවක් තිබුණු බව. මේ ගබඩාවේ රන් රිදීයෙන් කළ වටිනා ආයුධ තිබෙන බව තමයි මේ පුරාණයේ සිට පැවත එන විශ්වාසය. ගබඩාවේ යතුර කුඹුරකට වැටී සොයාගැනීමට බැරිවී තිබෙනවා. එදා පටන් මේ ආයුධ ගබඩාවේ කිසිම දෙයක් පරිහරණය කරන්න බැරිවූ නිසා යතුර වැටුණු කුඹුර ඇතුළත් ප්‍රදේශය යතුරකුඹුර ලෙස හැඳින්වුණා. කාලයාගේ ඇවෑමෙන් මේ යතුරුකුඹුර වතුරකුඹුර බවට වෙනස්වී තිබෙනවා.
මේ බිම පෙර පැවැතියේ මඩු බිමක් ලෙසයි. එය නිදහස් කර ගැනීම සඳහා විශාල පිරිසක් දායක වුණා. එසේම මේ පුණ්යභූමියටම ළඟාවීමට මාර්ගයක් ඉදිකිරීම ඉතාම දුෂ්කර කටයුත්තක් වුණා. මේ නෙල්ලිගල භූමියට ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර නගරය හොඳින්ම දර්ශනය වෙනවා. එසේම මේ කන්ද මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ හොඳින් දර්ශනය වෙන ස්ථානයක්. මේ පර්වත මස්ථකයට අලගල්ල, බතලේගල, හුන්නස්ගිරිය, ලෝක උරුමයක් වූ දුම්බර කඳුවැටිය, මෙන්ම සමනළ කන්දත් පේනවා. එයට අමතරව බහිරවකන්ද, අම්බුළුවාව, මුණ්ගිරිය, උඩුනුවර පිහිටි ගඩලාදෙණිය විහාරය, ලංකාතිලකය වැනි ආගමික වශයෙන් ඉතාමත් වටිනා තවත් බොහෝ ස්ථාන මේ අතර ඔබට දැකගන්න පුළුවන්.
මේ බෞද්ධ මධ්‍යස්ථානය අප ඉදිකර තිබෙන්නේ ආගමික කලාප තුනකටයි. ඒ අනුව ආමිස, අධ්‍යාපනික, අධ්‍යාත්මික කලාප වශයෙන් තමයි මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙන්නේ. එසේම ශාක්‍යසිංහ ප්‍රතිමා තුනක් නිර්මාණය කර තිබෙන්නේ බුරුමයේ ස්වේදගොන් සෑයේ ආකෘතියක් ලෙසයි. බුරුමයේ මෙම සෑය තමයි බුදුන් වහන්සේගේ කේශධාතූන් වැඩසිටින රන් සෑය ලෙස වඩාත් ප්‍රසිද්ධ. මෙයට සමානව ඉදිවූ අපගේ රන් සෑය ඉදිකරනු ලැබුවේ අඩි 60 ක් උසට. එයට සමගාමීව ශාක්‍යසිංහ පුස්තකාලයක් අප ආරම්භ කළා.
එසේම මේ සෙන්කඩගල පුරවරයට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවට තිබූ ලොකුම අඩුපාඩුව තමයි විශ්‍රාම ශාලාවක් නොවීම. අපගේ අධ්‍යාත්මික කලාපය තුළ 'ශාක්‍ය පියස' නේවාසික විශ්‍රාම ශාලාව ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙනවා. මෙම විශ්‍රාම ශාලාවේ එක්වර ජනතාව 1000 කට නවාතැන් ගන්න පුළුවන්. සිවුවැනි මහල සුවපහසු කාමරවලින් යුක්තයි. එසේම මෙයටම වෙන්වූ රථවාහන අංගයනයක් ද තිබෙනවා.
මේ ආකාරයෙන් ඉදිවූ අප මධ්‍යස්ථානයේ ආගමික වශයෙන් සියලු ඉදිකිරීම් කටයුතු රැසක් තවත් ඉතිරිව තිබෙනවා. එසේම අප මෙම ස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සහ ආගමික වත්පිළිවෙත් සඳහා විවිධ වූ ඉදිකිරීම්කටයුතු රැසක් තවමත් සිදුකරනවා. ඉතින් අප මේ පින්බර වෙසක් මාසයේ ඔබට ආරාධනා කරන්නේ ඔබට මෙහි පැමිණ මේ ස්ථානය වැඳපුදාගෙන හැකි ආකාරයෙන් ඒවාට දායකත්වය දක්වන්න.
ඔබ කොළඹ නුවර මාර්ගයේ පැමිණි විට පිළිමතලාවෙන් හෝ පේරාදෙණියෙන් නෙල්ලිගලට පිවිසෙන අතුරු මාර්ගය හමුවෙයි. එසේම ඔබ කුරුණෑගල නුවර මාර්ගයෙන් පැමිණි විට අලදෙණිය හංදියෙන් හැරී ගමන් කළ යුතුවේ. මෙම මාර්ග දෙක ඔස්සේ මේ හැම මාර්ගයකින් නෙල්ලිගල පර්වතය පිහිටි භූමිය අසලටම ඔබට ළඟාවීමේ මාර්ග පහසුව ඇත.
ඡායාරූප - නෙල්ලිගල බෞද්ධ මධ්‍යස්ථානයේ මාධ්‍ය කණ්ඩායම