ගුමු ගුමුව

නොවැම්බර් 14, 2022

හුදෙකලා මධුසමය
 

කුලමලද වත්කම්ද
ගලපන්න බැරිවාට
දෙගුරුන්ගේ කීමකට
පිටින් මං නොගියාට
මළ ඉලවු පොරොන්දම
හරස් ඌ හින්දාම
අන්තිමට මට වුණේ
ඔයාගෙන් වෙන්වෙන්න

ඇවැස්සක් කියාගෙන
නාලිනී බැන්ඳාට
රණ්ඩු සරුවල් එක්ක
කසාදය බිඳුණාම
බෝඩිමේ බිත්තියක
මගේ නම ලිවුවාට
කසාදය කටු ගාපු
නුඹ තාම තනියෙන්ද

ඉතිං තව පවසන්න
කුමක් නම් තියෙනවද
හැමදාම යට ලීයේ
නාරි මල් පිපෙනවද
නෙතු නුහුරු කඳුළු බිඳු
හැමදාම වැටෙනවද
අසම්මත ඇරයුමක්
ලැබුණොතින් ගන්නවද

කැමතිනම් අද රෑට
මගෙ පාළු මකනවද
ක්ෂීර කඳු යුගළ මැද
තුසිත සුව විඳිනවද
රෑ දහයෙ කනිසමට
වැට කඩුලු පනිනවද
දොර අගුලු හැර දාලා
මම යහනෙ ඉන්නම්ද

අංජන පෙරේරා

***************

චන්ද්‍ර ද්වාරය

ඝනැති කළුවන් ඉමක් නොපෙනෙන
හුදෙකලා රෑ ගුවන් තලයේ
අනන්තය වෙත ඇරුණු දොරටුව
සඳය මුදු රැස් දහර විහිදූ
අනන්තයෙ සිට ගලා ආ ඒ
සුමුදු මුදු ආලෝක දහරා
බැලී තුරු පත් මතින් එබෙමින්
හිස් නොවූ හිස් ඇත්ද කියලා
තුරු හිසෙක බැඳි හේන් පැල මත
පියා හා තනි නොතනියට සිටි
සිහින සිත්තර හිස පුරාගත්
පුංචි කොළුවා දිටී සඳ දොර

තාත්තේ අර බලන් සඳ දෙස
මහා කළු ඇතිරිල්ල මැද්දෙන්
දොරක් ඇරිලා ගලා එන්නේ
සුර ලොවේ රන් එළිය නොවෙදෝ

නිදාගං කොළු පැටියො නොදොඩා
හැමදාම පායනා හඳ ඔය
බලන් හාවත් ඇතිය කොහෙ හරි
සක් දෙවියො නොවැ උන්දැ ඇන්දේ

වලා දොර පියනකට සැඟැවී
චන්ද්‍ර ද්වාරය සිනහ සඟවා
සිහින සිත්තරයක් මවා යස
එවී මඳ නල රොදක දවටා
ඒ සිහිල් මඳ නලෙන් නැළැවී
පුංචි කොළුවා වැටී නින්දට
සිහිනයෙන් සඳ දොරෙන් නික්මී
පියෑඹී හිනැහෙමින් ඈතට

මුදිතා ලක්මිණි වැන්දබෝනා
 

****************

නුඹ සහ මම
 


මම
වන්නියේ
ග්‍රීස්මය

නුඹ
නිසා
නිවෙන

නුඹ
නුවර
සීතල

සැමදා
ග්‍රීස්මය
සොයා
ඇවිළෙන

නදූෂ මදුරංග

***************

දිසාපාමොක්



දුනු ශිල්ප කඩු ශිල්ප
හරඹ කරමින්
පංතියේ

මඟ වැනුම් වන වැනුම්
ගීත ගයමින් විරාමේ
සියල්ලම මතකයට පමණක්
ඉතිරි කරමින් ජීවිතේ

කලිසමද සුදු කමිසයද
මුල්ලට වෙලා
කෙළිදෙළෙන් සිටි කාලයට
තිත් ඉරි තබා

මීටරේ දුර සහස් දුරකට
විහිදමින් සිය පත සලා
දිසාපාමොක් වඩියි අහසින්
ඔන්ලයින්
දඬුමොනරයෙන්

එම්.ඒ. මළිදු දෙනෙත්
***************

අසම්බන්ධිත අන්ත

හුදෙකලා නිම නොකළ නිවහනක
තනි ගෑස් කුකරයක කහ නැති හොද්දක්
බුබුළු දමමින් නටයි

හීන් වැහි පොදක් තරමක් සැර මඳ නලක එතී
පියන් නැති කවුළුවෙන් පැන
ගෑස් කුකරයේ ගිනි දැල් එහෙ මෙහෙ කරයි

කුඩා රයිස් කුකරයක වැඩි වතුර ගොජ දමමින්
බත් කැඳ පෙරී ගනව තිබූ කර වට
පෙර ලකුණු අලුත් කරයි

තුන් කාලේ ලිහිල් කලිසමක් හැඳි
උඩු කය නිරුවත් මැදි වියේ පිරිමි රුවක්
අත් හිරමණයකින් පොල් අඩලයක් ගායි

කිලෝ මීටර සිය ගණනක් එපිට
සතුටු නිවහනක කිංකිණි සිනාවක්
රැව් නඟන හඬ ඇසෙයි

මැටි ඇතිලියක කර ගඳක් ඒ සිනා පලවා හැර
වෙහෙසකර දවසක අග සැදී තිබූ
රැයේ කිස උදුරා ගනියි

චම්පා කුමාරි දිසානායක

**************

අසන් මිනිසුනේ
 



අඳුරේ සැඟවෙන්නට අර අඳින
සියල්ලන්ටමය මෙය
අපේක්ෂාවන් සිඳ ගත්
බිඳුණු ඔබට වේය මෙය

සියලු දරුවනි, යෞවනයිනි
පලා නොයනු මැන බියෙන්
වික්ෂිප්තව
කඳුළු තුළ ගිලෙන්නට
හඬමින් නිදන්නට,
නොසිතනු මැන
කඩතොළු අතර සැඟවෙන
සැමට සිහිකළ යුතුය
ජීවිතය යළි ගොඩනැඟිය හැකිය
ගොඩනැඟිය යුතුය එය

යුතුමකමක් ඇත ඉ‍ටුකරලන්නට
විශේෂිතය ඔබ, සුන්දරය,
සුකුමාලය
නොතැකේය ඔබ
කවරෙක්ද වග

ගැහැනියක හෝ පිරිමියකු
වර්ගය, ආගම හෝ කුලය
කිසිවක් නොසැලකේ
ඔබ පමණක්මය

පිළිපන් ඔබ, ඔබේ මඟට
මිල කළ නොහැක, ඔබේ අරුමය
මැණිකකි; නිධානයකි; ඔබ
කිසිවකු හා සම නොවන
චරිතයක්මය ඔබ

Ella J. Phillips
පරිවර්තනය
සමන් හේරත්

*****************

කෙටි කතාව

තුරු හා පත්

 

ඔහුට ඇයගේ ඉකිබිඳුම ඇහුණේ දවස් ගාණක නිහැඬියාවකට පස්සේ.

“ඔයාට තේරෙනවද වෙනසක්? අපේ අවසානය ළං වෙන බව”ඔහු අහගෙන හිටියා. “පරිසරය සීතල වෙලා, අඳුරු වෙනවා. අපිට වෙන් වෙන්න කාලය ඇවිත්.”

ඇය කියන්නේ සරත් සෘතුව ගැන බව ඔහුට තේරුණේ එතකොටයි.

“මම ඔයාව සීතලෙන් වැස්සෙන් ආරක්ෂා කළා. ඔයාව හිරු රැස්වලින් බේරගන්න ඔයාව වහගෙන මම පිළිස්සුණා. මට මැරෙන්න දුක නෑ. ඒත් මම නැතුව ඔයා ආරක්ෂා වෙන්නේ කොහොමද?”

ඔහු උත්තර දුන්නේ නෑ. ඇය හිතුවේ දුක වැඩිකමට ඔහු නිහඬව ඉන්නවා කියලා.ඇත්තමට ඔහු බොහෝ වෙලාවට හිටියේ නිහඬව. ඇය තමයි තොරතෝංචියක් නැතුව 'සර සර' ගගා කතා කළේ.

ඔහු තුර. ඇය ඔහු වසාගෙන හිටපු පත්‍ර කලාපය. කාලයක් බොහොම ජවයෙන් කොළ පැහැ වෙලා හිටපු ඇය දැන් මහලු වෙලා. කොළ පාට රතු පාටට හැරිලා.

ටිකෙන් ටික සීතල හා අඳුර වැඩි වුණා. ඇය ඔහුව තදින් අල්ලගන්න උත්සාහ කළත් ඇගේ ග්‍රහණය දුර්වල වෙන බව ඔහුට තේරුණා. ටිකින් ටික කොළ එකින් එක හැළෙද්දී ඇගේ කතාව තවත් දුර්වල වුණා.දවසක් උදේ ඇය අන්තිම වචන ටික කිව්වා.

“මේ අපේ ප්‍රේමයේ අන්තිම දවස. මම වෙන් වුණත් ඔයාව දාලා යන්නේ නෑ. මම ඔයාගේ වටේ බිම වැතිරිලා ඉන්නම්. කවදාවත් ඈතට නොයා. මෙතනම මාව පස් වුණාම පොළොව ඇතුළෙන් ඔයාගේ මුල්වලට මාව දැනේවි.”

අවසාන කොළය හැළිලා ඔහුව නිරුවත් වුණේ ඒ මොහොතේ.

ඔහු අතු විහිදලා ඇඟමැලි කැඩුවා. ඇය වර්ණවත් පලසක් වගේ ඔහු වටේ වැතිරිලා. කාලෙකින් සීතල දැනුණු නිසා ඔහුට අලස ගතියක් දැනුණා.

“මෝඩි, ඇය හිතන්නේ ගහකට කොළ නැතුව ඉන්න බෑ කියලා. අපිට සීතල අව්ව වැස්ස හොඳට හුරුයි. ඇය ඉද්දි පොඩි උණුසුමක් තිබුණා තමයි. ඒත් මේ නිදහස” ඔහු අහස දිහා කෙළින් බලලා හොදින් හුස්ම ගත්තා. අතු එහා මෙහා වැනුවා.

ඇගේ නොනවතින 'සර සරය'යි, අවසාන කාලයේ සුළඟ හමන ගානේ ඇහුණු ඉකිබිඳුමයි නැතුව ඔහුට ලොකු සහනයක් දැනුණා.

“ඇත්තමට ඇය කොච්චර මෝඩද? ඇය හිතන්නේ මේ අපි දෙන්නගෙම අවසානය කියලා. සරත් සෘතුවේ පත්‍රවල අවසානය ළඟා වුණාට මම තව කොච්චර කල් ජීවත් වෙනවද? අනික මගේ වටේ වැතිරිලා සදාකාලිකව ඉන්නේ කොහොමද ඇය? මෙච්චර තදින් හුළඟ හමද්දි “

සීත සෘතුව ළඟා වෙද්දි ටිකක් පරිසරය කටුක වුණාට හැඩි-දැඩි ගහකට ඒක දරන්න අමාරු නෑ. ඊට පස්සේ වසන්තය එන්නේ අලුත් නැවුම් පත්‍ර කලාපයක් දෝතින් අරගෙන. අලුත් ප්‍රේමයක් එක්ක. ඊළඟ වසන්තයේ තවත් ප්‍රේමයක්. ජීවිතේ කොච්චර සරලද? සුන්දරද?

පත්‍රවලට ප්‍රේමය කියන්නේ මුළු ජීවිතයම වුණාට ගහකට පත්‍ර කියන්නේ ජීවිතයේ ගෙවුණු බොහොම කෙටි කාල පරිච්ඡේදයක් විතරයි.

ඇය ආයෙත් ඔහුගේ මුල් වැලඳගෙන අඬන්න හදන බව ඔහුට තේරුණා. ඔහු හිත කරදරයෙන් වටපිට බලද්දි ඈත ගස් හෙළවෙන හැටි දැක්කේ. ඔහුට හිනා ගියා. ඒ බොහොම සෙල්ලක්කාර, මනමාල හිනාවක්.

පුංචි දෙපෙත්තක් කාලෙ ඉඳලා ඔහුගේ ඉරියව් හොඳින් දන්න හුළඟට ඔහුගේ හිනාවෙන් ඔහුට අවශ්‍ය මොනවද කියලා තේරුණා. හුළඟත් ඇස්වලින් ඉඟි මරලා මහා හයියෙන් ඇවිත් ඇයව ඔහුගේ ළඟින් ඈත් කරලා ඒ මේ අත ඈතට විසුරවලා දැම්මා. ඇගේ විලාපය තවත් තත්පර ගණනාවක් ඇහිලා නිහඬ වුණා.

“මම හැමදාමත් ඔයාට ආදරෙයි. අපි කවදාහරි ආයෙ හමුවෙමු.”

ඔහු සැර අව්ව දිහා බලලා ආයෙත් හිනා වුණා.

ඒ කලින් වතාවටත් වඩා බොහොම සැහැල්ලු සෙල්ලක්කාර හිනාවක්.

 



පවිත්‍රා අභයවර්ධන