skill එක හදාගත්තොත් ජීවිතේම මල්

ලෝක තරුණ නිපුණතා දිනය ජූලි 15
ජූලි 15, 2024

 

වයස අවුරුදු හයේදී විතර ආරම්භ කරන පාසල් අධ්‍යාපනය නොකඩවා අවුරුදු 13කුත්, එතැනින් පස්සෙ උසස් අධ්‍යාපන කටයුතු තව අවුරුදු තුන හතරකුත් කළාට පස්සෙ ආයේ හති අරින්නවත් කාලයක් නැතුව ඊළඟට රස්සාවල් හොයන්න එපැයි.

නිකම්ද කියන්නෙ ජීවිතේ කියන්නෙ රේස් එකක් කියලා. අර අවුරුදු හයේදී දුවන්න පටන් ගත්තම ආයේ මැරෙනකම්ම දුවන්න තමයි තියෙන්නෙ. ඉතින් මේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම අහවර කළාට පස්සෙ රැකියාවක් හොයන එකයි එතැනින් පටන් අරන් ආයෙ දිවිල්ල පටන් ගන්න එකයි කරන්නේ. හැබැයි මේ දිවිල්ල හරි විදිහටම ස්කිල්ස් එක්ක කරගෙන යනවානම් ජීවිතේ දිනුම්. හැම අභියෝගයක්ම භාරගෙන ජීවිතෙත් දිනනවා කියන්නේ එතැනින් එහාට තවත් දෙයක් තියෙනවද?

ඒ විදිහට ජීවිතය ගැන හිතන්න, තමන්ගේ ස්කිල්ස් හඳුනාගන්න, ඒ තුළින් ඉදිරියට යන්න වෙන් වුණ දිනයක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද?
කැලැන්ඩරයේ දින ටික දිහා බැලුවොත් හැම දවසකටම මොකක්ම හරි විශේෂත්වයක් එකතු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ දවසට වෙන් වුණු මොකක් හරිම තේමාවක් තියෙනවා. හැබැයි ගොඩ දෙනෙක් වැලන්ටයින්, කාන්තා දිනය, ළමා දිනය වගේ දින ගැන දැනගෙන හිටියත් අනෙක් ඒවා මොනවද කියලාවත් දන්නේ නැහැ.

එහෙම වැඩි දෙනෙක් නොදන්නා දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ජූලි 15 වැනිදා නම් කරලා තියෙන්නේ world youth skills day! කියලා. එහෙමත් නැත්නම් ලෝක තරුණ නිපුණතා දිනය විදිහට. මේ දිනය මේ විදිහට නම් කරලා තියෙන්නේ තරුණ තරුණියන්ගේ රැකියා, ව්‍යවසායකත්ව සඳහා කුසලතාවලින් සන්නද්ධ කිරීමේ උපායමාර්ගික වැදගත්කම මෙන්ම ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ තිරසර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහායි. ලොව පුරා සිටින තරුණ පුද්ගලයින් මුහුණ දෙන බාධක පිළිබඳ අවබෝධය වැඩි කිරීමට සහ ඔවුන්ගේ හැකියාවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහායි මෙම තරුණ දිනය සමරනු ලබන්නේ.
මේ ජාත්‍යන්තර තරුණ දිනයේ වැදගත්කම පවතින්නේ ලෝකයේ අත්තිවාරම ලෙස තාරුණ්‍යය ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පිළිගැනීම තුළය.
ඔවුන්ගේ ජවය, අනුවර්තනය වීමේ හැකියාව සහ නොසැලෙන කැපවීම ගෝලීය වශයෙන් හෝ ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ වුවද නිර්මාණාත්මක පරිවර්තනයන් උසිගැන්වීමේ හැකියාව තිබෙනවා.
2014 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම දිනයේදී ලෝකය පුරාම බොහෝ වැඩසටහන් සංවිධානය කරයි.

2024 ලෝක තරුණ නිපුණතා දිනයේ තේමාව සාමය සහ සංවර්ධනය සඳහා තරුණ කුසලතා යන්නයි. එහිදී සාමය ගොඩනැඟීමේ සහ ගැටුම් නිරාකරණය කිරීමේ ප්‍රයත්නයන්හිදී යෞවනයන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරයි.

අද ලෝකය අභියෝග රාශියකට මුහුණ දී සිටින අතර ඒවායින් බොහොමයක් තරුණ තරුණියන්ට බලපායි. අධ්‍යාපනයට සහ ස්ථාවරත්වයට බාධා කරන ප්‍රචණ්ඩ ගැටුම්, සෘණාත්මක බව පෝෂණය කරන ධ්‍රැවීකරණය වූ සබැඳි පරිසරයක් සහ අඛණ්ඩ ආර්ථික අසමානතාවය අවස්ථා සීමා කරයි. මෙම ගැටලු තනි පුද්ගල අනාගතයට පමණක් නොව සමාජවල සමස්ත ස්ථාවරත්වයට ද තර්ජනයක් වේ. සාමයේ සංස්කෘතියක් පෝෂණය කිරීම, වගකිවයුතු ගෝලීය පුරවැසියන් පෝෂණය කිරීම සහ සැමට වඩා සාධාරණ, ඇතුළත් සහ තිරසර අනාගතයක් ගොඩනැඟීම සඳහා තිරසර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කුසලතා වලින් තරුණයින් සන්නද්ධ කිරීම ඉතා වැදගත් වේ.

ලෝක තරුණ නිපුණතා දිනයේ දී, සාමයේ නියෝජිතයන් ලෙස තරුණ තරුණියන්ගේ හැකියාවන් හඳුනාගෙන අභියෝගවලට මුහුණ දීමට සහ සාමකාමී, සමෘද්ධිමත් සහ තිරසර අනාගතයකට දායක වීමට ඔවුන්ට කුසලතා සහ අවස්ථාවන් ලබා දීමට කැප වෙයි.

මෙවර තේමාව යටතේ නිපුණත්වය තුළදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් කටයුතු කිරීම, හරිත රැකියා වැනි අනාගත රැකියා අවස්ථා සඳහා කාන්තා සහ ගැහැනු ළමුන්ගේ වැඩි සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම, තාක්ෂණික පුහුණුවෙන් ඔබ්බට ගොස් රාමුවෙන් පිට හැකියාවන් හඳුනාගැනීම වැනි කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා. තරුණ නිපුණත්වය වර්ධනය කරගන්න කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.

මුලින්ම කරන්න ඕනේ පුංචිම තැනකින් පටන් ගන්න එක.
රස්සාවක් කිව්වම හුඟක් අයට මුලින්ම මතක් වෙන්නෙ කැරකෙන සැප පුටුවක වාඩිවෙලා කරන රස්සාවල්. ඔය උසස් අධ්‍යාපනය ලබපු දරුවෝ හුඟ දෙනෙක් ජොබ්වලට ඇප්ලයි කරනකොට කරන ලොකුම වරද මේකයි. ඉගෙන ගැනීම කියන්නෙ රස්සාවකට අවශ්‍ය මූලික සුදුසුකමක් තමයි. හැබැයි රැකියාවකදී අධ්‍යාපන සහතික එක්කම වසර ගාණක පළපුරුද්දත් එකවගේම වැදගත්. මොකද පොතේ පතේ ඉගෙන ගන්න දේවල්වලට වඩා හුඟක් වෙනස් ප්‍රායෝගිකව වැඩ කරන එක. ඒ නිසා ජොබ් එකක් හොයන්න පටන් ගත්ත ගමන්ම ලොකු ලොකු රැකියාවන්වලට අයදුම් කරන්න එපා. පොඩිම තැන ඉඳලා පටන් ගන්න. ඒ කියන්නෙ Internship වගේ තැනකින්. ලොකු පඩි නම් නැහැ. පොඩි දීමනාවන් තමයි ගෙවන්නෙ. හැබැයි ලැබෙන පළපුරුද්ද ඉතා ඉහළයි. 

ඊළඟට ලැබුණ මොකක්හරි පුංචිම රැකියාවේ වුණත් ඉන්න ගමන් පුළුවන් තරම් අත්දැකීම් එකතු කරගන්න ඕනෙ. මොකද මෙතන ඉඳල ඉස්සරහට අයදුම් කරන හැම රැකියාවකදීම අහන්නෙ කලින් ජොබ් එකේ කරපු දේවල්, ඉගෙනගත්ත දේවල් මොනවද කියලයි. ඉතින් හිතමුකෝ Internship එකකටයි මුල්ම රැකියාවකට ගියේ කියල. ඇත්තටම ආයතනයක මොනම දෙපාර්තමේන්තුවක වුණත් Intern කෙනෙකුට ඔළුව උස්සගන්න බැරි තරම් වැඩ කන්දරාවක් එකපාර ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ලැබෙන වැඩක් කරලා ඉවරවුණහම තියෙන හැම විවේක වෙලාවකම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න. ආයතනයේ තියෙන Policies එහෙම හොයාගෙන කියවන්න, පරණ සේවකයින් ළඟට ගිහිල්ල ඔවුන් වැඩ කරන හැටි බලාගෙන ඉන්න, දැනගන්න ඕනෙ දේවල් අහල දැනගන්න. හැබැයි ටිකක් පරිස්සමට චාටුවෙන්. එයාලගේ ජොබ් එකට විදින්න එනව වගේ නරක අදහසක් දැනෙන්නත් බැරි නැහැනේ. 
 
ඒ වගේම අපේ හොඳ ආකල්ප තව තවත් දියුණු කරගන්න ඕනේ. අපි ජොබ් එකක් හරි කණ්ඩායම් ක්‍රියාකාරකම් හරි කරනවා කියමුකෝ. එතකොට වැඩ කරන්න වෙන්නේ කණ්ඩායමක් එක්ක. ඉතින් කණ්ඩායම් හැඟීම, යහපත් නායකත්ව ලක්ෂණ, බෙදාහදා ගැනීම වගේ ගුණාංග නැත්තම් ඉස්සරහට යන්න හරිම අමාරුයි. ඔය ඉස්සර කාලෙ වගේ ලොක්කට ගොට්ට අල්ලලා ගොඩයන අවස්ථා අද කාලේ රස්සාවල්වල හරිම අඩුයි. ඒ නිසා හැකිතරම් අන් අය එක්ක සුහදව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන්න, ඉවසන්න, බලාගෙන ඉන්න පුරුදු වෙන්න. රණ්ඩු කරලා, සද්දේ දාල එකට වැඩ කරන්න අමාරුයි. 
 
එතකොට අවස්ථාවන් මිස් කරගත්තොත් ඒ අවස්ථා අපිට කවදාවත්ම නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා අවස්ථාවන් හඹා යන්න.
පුහුණු වෙන කෙනෙක් විදිහට එක රස්සාවකට බැඳුණහම ආයේ හොට බිම ඇනිලා විශ්‍රාම යනකම්ම ඒ රස්සාවම කරගෙන ඉන්න ඕනෙ කිව්වෙ ඉස්සර. දැන් කාලෙ වෙනස්. උපරිම එක රස්සාවක අවුරුදු 3 – 5 අතර කාලයක් හිටියම හොඳටෝම ඇති. ස්ථිර රැකියාවක් නම් gratuity එක ගැන හිතල අවුරුදු 5ක් ඉන්න එක වාසියි. කොහොම වුණත් අලුත් අලුත් අවස්ථාවන් නිතර නිතර හොයාගෙන යන්න ඕනෙ. එකම තැන ඉඳලා උසස්වීම් ලබාගන්නවාට වඩා වේගයෙන් අලුත් රැකියාවන් හරහා වෘත්තීය ජීවිතේ උසස්වීම් ලබාගන්න පුළුවන්. 
 
ඊළඟට පෞරුෂය සහ වෘත්තීමය බව රැකෙන විදිහට වැඩ කරන්න ඕනේ. හැබැයි මෙහෙම වැඩ කරනවා කියන්නේ රොබෝ කෙනෙක් වගේ වැඩම විතරක් කරන එක ගැන නෙවෙයි. තමන්ට හැකියාව තියෙන, හරි පාත් එක හොයාගෙන ඒකට මහන්සිවෙන ගමන් ජීවිතය විඳින්නත් ඕනේ. සොබාදහමත් එක්ක ජීවත් වෙන්න ඕනේ. විනෝද ගමනක් යන්න ඕනේ. අලුත් අලුත් දේවල් හොයන්න ඕනේ. මේ විදිහේ ගමනක් ගියොත් ඔයා සාර්ථකයි.